'මම ජනෙල් හෝදන්න පටන් ගත්තේ, මං දැන් අපරාධ ස්ථාන පිරිසිදු කරනවා'

    • Author, Charlie Buckland
    • Role, BBC Wales

අවවාදයයි: මෙම කතාවේ සමහර අයට පීඩා විය හැකි ශරීර තරල, මරණය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ විස්තර අඩංගු වේ

ඒක ඉක්මනින් කම්පනයට පත්වෙන අයට කරන්න පුළුවන් රැකියාවක් නෙවෙයි.

ප්‍රවීණත්වය ලැබූ පිරිසිදු කරන්නෙකු වන බෙන් ගයිල්ස්, කාන්දුවීම්, කැපීම් සහ පිපිරීම් ඇතුළුව අපරාධ ස්ථානවලින් සියලු වර්ගවල පැල්ලම් ඉවත් කිරීමේ නිපුණතාව සම්පූර්ණ කර ගැනීමට වසර 25ක් ගත කර ඇත.

49 හැවිරිදි වියේ පසුවන බෙන්, බටහිර වේල්සයේ කුඩා නගරයක ජනෙල් පිරිසිදු කිරීම ආරම්භ කරන විට, මළ සිරුරක් හෝ මළපහ වලින් පිරුණු නාන තටාකයක් පිරිසිදු කිරීම සඳහා ඔහුට ඉහළ ගාස්තුවක් ලැබිය හැකි බව අහම්බෙන් දැන ගැනීමෙන් පසු, එය ඔහුට පවුම් මිලියන ගණනක ව්‍යාපාරයකට මඟ පාදනු ඇතැයි ඔහු කිසි විටෙකත් අනුමාන නොකළේය.

"බාත් ටබ් එක උඩටම අසූචි පුරවලා, වැසිකිලියත් අසූචි වලින් පිරිලා, කුස්සිය පිළිකුල් සහගතයි, පොළව හැමතැනම මැක්කෝ," ඔහු පැවසුවේය.

ඉතිං, ඒ සියල්ල ආරම්භ වූයේ කෙසේද?

ඔහුගේ සේවාදායකයෙකු වසර 10 ක් තිස්සේ හිස්ව තිබූ නිවසක් පිරිසිදු කර දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින විට බෙන්, සෙරෙඩිජියන් හි කාඩිගන් හි ජනෙල් පිරිසිදු කරමින් සිටියේය.

පොලියෙස්ටර් මුහුණු ආවරණයකට නොවැඩි සුළු ආරක්ෂාවක් සමග සියල්ල පිරිසිදු කිරීම ආරම්භ කෙරුණි.

දොර විවෘත කිරීම පිළිබඳ පවසමින් බෙන් විස්තර කළේ එය ඉතා දරුණු දුර්ගන්ධයකට හේතු වූ බව සහ ඔහුට උදව් කරමින් සිටි පුද්ගලයෙකු මුව ආවරණය තුළම වමනය කළ බවයි.

''අපිට ඔහුගේ මුව ආවරණය ඉවත් කරන්න සිද්ධ වුණා. සියල්ල පොළව මත විසිරී ගියා. ඉතිං එතකොට අපිට වුණේ එතන තිබ්බ දේවල් එක්ක ඔහු වමනය කළ ඒවත් පිරිසිදු කරන්න'' බෙන් විහිළුවට මෙන් පැවසුවේය.

බෙන් සිය සේවාදායකයාට පවුම් 2,000 ක ඉන්වොයිස් පතක් නිකුත් කළේය, "කවුරුත් කිසිම ප්‍රශ්නයක් කළේ නැහැ", එවිට ඔහුට වැටහුණේ ඔහු රන් ආකරයකට තට්ටු කළ බවයි.

"අපි හිතුවා 'මේකෙන් අපිට මෙච්චර සල්ලි හොයන්න පුළුවන් වුණා නම්, අපිට පිරිසිදු කරන්න පුළුවන් නරකම දේ මොකක්ද කියලා?' අවසානයේ අපි දැන් ඕනම දෙයක් පිරිසිදු කරනවා."

ඔවුන්ගේ පළමු රැකියාව වූයේ පැරණි ගොවිපල නිවසක මිය ගොස් මාස දෙකක් ගත වන තුරු සොයා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයෙකි.

ඔහුගේ සිරුර කාපට් හරහා, ලීවලින් තැනූ පොළව හරහා කොන්ක්‍රීට් දක්වාම දිරාපත් වී තිබිණි

''අපි දොර ඇරපු ගමන් නිල මැස්සෝ රංචුවක් අපිව පසුකරගෙන පියාඹලා ගියා, අපිට කිසිම අදහසක් තිබ්බෙ නෑ, උන් මොන වගේ විෂබීජ ගේනවා ඇතිද කියන එක ගැන, අපිට සිදුවුණේ සති අටක් විතර පරණ ශරීර තරලය කොන්ක්‍රීට් මතින් ඉවත් කර ගැනීමට උත්සහ කරන එක.''

''ඒක ඇත්තටම ඒකට ඇලිලා තිබුණා, අපිට කිසිම අදහසක් තිබුණේ නෑ''

''මට මතකයි අපි අපේ නාසයේ අග වික්ස් ආලේප කර ගත්තා, එක් කොල්ලෙක් හිටියා එයාට කැස්ස, දොඩම් ලෙලි දෙකක් ඔහුගේ මාස්ක් එකෙන් එළියට ආවා. ගඳ එන එක වළක්වා ගන්න උත්සහ කිරීමට ඔහු දොඩම් ලෙලි එයට දාගෙන තිබ්බා''

අවවාදයයි: පහත රූපයේ සාගර ජීවීන්ගේ ශරීර අඩංගු වේ.

ක්ෂේත්‍රයේ මුල්ම කෙනෙකු වන බෙන්, 2000 වසරේ දී ඔහුගේ මූලික ජෛව උපද්‍රව පිරිසිදු කිරීමේ බලපත්‍රය ලබා ගත්තේය.

ඔහුගේ සැබෑ රැකියාව කෙබඳු වේද යන්න එහි නොතිබූ බැවින් එය හාස්‍යජනක බව ඔහු විස්තර කළේය.

දැන් වසර 25 කට පසුවත්, ඔහුගේ සමාගම තවමත් කිසිදු කාර්යයක් ප්‍රතික්ෂේප කර නැත - ටොන් 20 ක තල්මසෙකුගේ මළසිරුර ඉවත් කිරීමේ සිට ලේ වැගිරීම් සහ හුස්ම හිරවීම නිසා සිදුවූ මරණ දක්වා බෙන් ඒ සියල්ල දැක තිබේ.

නමුත් බෙන් සිදු කරන්නේ කුමක්දැයි සොයාගත් විට මිනිසුන්ගේ මනසේ ඇති ගැටළුව වන්නේ ගඳ ඉවසන්නේ කෙසේද යන්නයි.

එකම කාලපරිච්ඡේදයක් තුළ දිරාපත්වී තිබුණ ද, ශරීරයේ ගන්ධය පුද්ගලයෙකුගේ ශරීරයේ මේදය අනුව වෙනස් වන බව ඔහු පැවසුවේය.

"රාත්තල් 70 ක පමණ බරින් යුතු වැඩිහිටි කාන්තාවක්, ඔබට ඒවගේ නිවසට යන්න පුළුවන් කිසිම ගදක් දැනෙන්නේ නැහැ.

''අනතුරුව ඔබට හමුවනවා රාත්තල් 280 ක පමණ බරින් යුත් පිරිමි පුද්ගලයෙකු හෝ කාන්තාවක් එවැනිම කාලයක් තුළ අතහැර දමා තිබූ, ඔබට දොර අසලදීම ගඳ දැන ගන්න පුළුවන්''

ගොවී පවුලක හැදී වැඩුණු බෙන්, දුෂ්කරතාවයන්ට මුහුණදීම සඳහා හෝ කුසයේදීම මියගිය බැටලු පැටවෙකු බිහිවන අවස්ථාවකදී පවා තම පියාට උදව් කිරීමට ආගන්තුකයෙකු නොවීය.

වයස අවුරුදු 16 දී පාසලෙන් ඉවත් වූ ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා උනන්දුවක් නොදැක්වූ අතර මධ්‍යම වේල්සයේ ජීවත්වීමට අවශ්‍ය වීම නිසා ජනෙල් පිරිසිදු කිරීම ආරම්භ කළේය.

මරණයට සම්බන්ධ දේ සමග ගනුදෙනු කිරීමට ඔහුගේ අනපේක්ෂිත නැඹුරුවෙන් අනතුරුව, ඔහු "භයානක දෙයක් දැක්කා, මං පවුම් සලකුණ දැක්කා".

මාසයකට රැකියා දෙකක් හෝ තුනක් ලෙස ආරම්භ වූ ස්ථානය දැන් සතියකට රැකියා 50 ත් 100 ත් අතර සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති අතර අපරාධ ස්ථානයක් පිරිසිදු කිරීමට අවශ්‍ය වූ විට පොලිසිය ඔහුගේ සමාගමට කැඳවීමක් කරයි.

පිරිසිදු කරන්නන් රැසක් බොහෝ ද්‍රාවක සහ විෂබීජ නාශක සමග කටයුතු කරන අතරතුර සාමාන්‍ය කාපට් පැල්ලම් සඳහා බෙන් රෙදි සෝදන කුඩු හෝ දියර සහ උණුසුම් ජලය භාවිතා කිරීම යන මූලික කරුණු මත විශ්වාසය තබා කටයුතු කරයි.

"එය දමන්න, ඉන්පසු පැල්ලම රවුම් ලෙස අතුල්ලන්න වීදුරුවක් භාවිතා කරන්න. වීදුරුවේ පතුල ඔබේ අතේ තබාගෙන විවෘත පැත්ත කාපට් මත තබා ගන්න," බෙන් පැවසීය.

"භ්‍රමණය වන චලිතය මගින් වීදුරුව තුළට පැල්ලම එනවා, ඊට පස්සේ විදුරුව පිරිසිදු කර දැමිය හැකියි."

බෙන් පුද්ගලයින් 3,500 ක් පමණ පුද්ගලයින් පුහුණු කර ඇති නමුත් එය සෑම කෙනෙකුටම සිදු කළ හැකි රැකියාවක් නොවන බව පිළිගනී. ඇතැම් සිදුවීම් ඉතා ඉක්මනින් හැර දා යා නොහැකි අතර ඇතැම් සිදුවීම් වසර ගණනාවක් තිස්සේ ඔහුගේ මතකයේ රැඳී තිබේ.

එක් සිදුවීමකදී පුද්ගලයෙක් ඔහුගේ බිරිඳට දැඩි ලෙස පහර දී ඇයව ඔවුන්ගේ නිවසේ අතහැර දමා ගොස් තිබූ අතර දින 03 කට පසුව ජීවතුන් අතර සිටියදී අසල්වැසියන් ඇයැව සොයා ගෙන රෝහලට ගෙන යන අතරමගදී මිය ගියාය.

''මගේ ජීවිත කාලය තුළදී මෙතරම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් මං දැක නැහැ'' ඔහු පැවසුවය

සෑම තැනකම ලේ ගලන ඉතාම භයානක දර්ශනයක් ඔහු දුටුවේය.

''බොහෝ හේතු නිසා මට ඒක ඉතාම ඛේදජනක සිද්ධියක් වුණ. මට මේ කාන්තාව ගැන හරිම කණගාටු හිතුනා''

''මේ දෙන්නම බොහොම වැදගත් වෘත්තීමය පුද්ගලයන්, කවුරුහරි එහෙම හැසි‍රිලා කෙනෙක්ගේ ජීවිතය නැති කළේ ඇයි කියලා මේ සිදුවීමේදී මං තාම දන්නේ නැහැ.''

''ඒක හරිම නරක දෙයක් නිසා මට මගේ මනස ඒවගේ මානසිකත්වයකට යන්න දෙන්න බැහැ''

නිවසේ ඇති කළ සුනඛයෙකු බිළිඳෙක් මරා දැමූවිට ඇති වන භයානක අවස්ථාවකට බෙන් මුහුණ දී තිබේ "අපි එක කාමරයක පිරිසිදු කරමින් සිටින අතරතුර අපට ඊළඟ කාමරයේ ඉකිබිඳිමින් අඬන හඬ ඇසෙනවා".

"සමහර වෙලාවට වැඩේට හිත යොමු කරලා වැඩේ කරගන්න වෙනවා, ඒක මගේ රස්සාව කියලා දැනගෙන, ඒක කරලා ඊට පස්සේ යන්න වෙනවා"

මං ඒක අමතක කරලා අහකට දාන්න උත්සාහ කරනවා"

ඒ සඳහා ඔහුගේ ක්‍රම අතරට වෙරළ දිගේ ඇවිදින්න යාම, ගොල්ෆ් ක්‍රීඩා කිරීම හෝ ඔහුගේ කඳුකර එළදෙනුන් රැකබලා ගැනීම ඇතුළත් වේ.

"The Life of a Crime Scene Cleaner" නම් ඔහුගේ ස්වයං චරිතාපදානය රචනා කරන විට පමණක් බෙන් තමන් ඇසින් දුටු දෑ පිළිබඳ හැඟීම් විවෘත කළේය.

"ඒක හරියට සියලු හැඟීම් මතුපිටට ආවා වගේ දෙයක්. මම එය චිකිත්සාව ලෙස හඳුන්වන්නේ නැහැ, මොකද මම හොඳින් ඉන්නවා කියලා මට කියන්න බැහැ, නමුත් මම ඒක පිට කළා " ඔහු පිළිගත්තේය.

"සෑම කතාවකටම මගේ මතකයේ මාතෘකා තිබුණා, මම හැම සිද්ධියක් ගැනම ලියන්න පටන් ගත්තහම, මං අඬන්න පටන් ගන්නවා"

තම රැකියාව නිසා ඇති වූ චිත්තවේගීය කැලඹීම් මධ්‍යයේ තමාට සහයෝගය දැක්වීම ගැන බෙන් තම පවුලට ගෞරවය පුද කරයි.

"රැකියාවේ කුමක් සිද්ධ වුණත් මං දැනගෙන හිටියා මං ගෙදර ආවහම මම ආදරය කරන සහ මට ආදරය කරන මිනිස්සුන්ගෙන් පිරුණු සුන්දර ස්ථානයක් තියෙනවා කියලා''