කලින් නියම කළ කාල රාමුවට ම වාහන ආනයනය කරන්න බැරි වෙයි ද?

වාහන ආනයනය සම්බන්ධයෙන් අලුතින් පත්වු රජය සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් නව වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බොහෝ දෙනෙක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වාහන ආනයනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය කුමක්දැයි නව ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ කැබිනට්ටුව තවම ප්‍රකාශයට පත් කොට නැත.

වාහන ආනයනයට ක්‍රමිකව අවසර දීමට පසුගිය ආණ්ඩුව විසින් සැලසුමක් ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව බස් රථ ඇතුළු වාහන ආනයනය 2024 ඔක්තෝම්බර් මස 01 වනදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් ඒ සැලැස්මට අනුව මෙරටට වාහන ආනයනය ආරම්භ කර තිබේ ද යන්න පිළිබඳව නව වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බොහෝ දෙනෙකු නිරන්තරයෙන් විමසමින් තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් බීබීසි සිංහල කළ සොයා බැලීමකි.

නම හෙළි කිරීමට අකමැති වූ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී සිංහල වෙත පැවසුවේ, අදාළ සැලැස්මේ වෙනසක් නොවන බව ය.

ඒ අනුව සැලසුම් කළ පරිදි ම ක්‍රමිකව වාහන ආනයනය සඳහා අවසර හිමිවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය ආයතනයකින් චක්‍රලේඛයක් හෝ නිකුත් වී නැතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ සඳහන් කළේය.

යෝජිත වාහන ආනයන සැලැස්ම කුමක් ද?

පැවති ආර්ථික අර්බුදය නිසා මෙරට ට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මස සිට නවතා තිබූ අතර ක්‍රමානුකුලව ආර්ථිකය ස්ථාවර වීමත් සමග ම වාහන ආනයන තහනම අදියර වශයෙන් ඉවත් කිරීමට ඉකුත් රජය තීරණය කළේය.

වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට සූදානම් වන බවට පසුගිය රජයන් නියෝජනය කළ අමාත්‍යවරුන් වසර කිහිපයක් තිස්සේ කළ විවිධ ධනාත්මක ප්‍රකාශ නව වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ජනතාවට අස්වැසිල්ලක් වුව ද ඒවා හුදු වචනවලට පමණක් සීමා විය.

කලින් නියම කළ කාල රාමුවට ම වාහන ආනයනය කරන්න බැරි වෙයි ද?

Image copyright by Getty Images

රථ වාහන ආනයනය නතර කෙරේ

වාහන ආනයනය කිරීම අදියරෙන් අදියර සිදුකිරීමට අදාළ වාර්තාවක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත

Image copyright by PMD

බස් සහ ලොරි ආනයනය ආරම්භ කිරීමට යෝජිත වු දිනය (මෙතෙක් ආරම්භ කර නැත)

Image copyright by Getty Images

වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය ආරම්භ කිරීමට යෝජිත දිනය

මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනයට අවසර දීමට යෝජිතය

Image copyright by Getty Images

එසේ තිබියදී අදියර කිහිපයක් යටතේ වාහන ආනයන සඳහා වූ ක්‍රමවේදයක් ඉකුත් රජය පසුගිය අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කළේය. එම ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය ලබා දී තිබිණි.

එහිදී තීරණය කර තිබුණේ , පොදු ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය බස් රථ ඇතුළු වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස 01 වනදා සිට නැවත ආරම්භ කිරීමට ය.

වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීම මෙම වසරේ දෙසැම්බර් 01 වනදා සිට ද, පෞද්ගලික පරිහරණය සදහා මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනය 2025 වසරේ පළමු කාර්තුව තුළ ආරම්භ කිරීමට ද එමඟින් සැලසුම් කොට තිබුණි.

වාහන ආනයනකරුවන් කියන්නේ කුමක්ද?

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රාසාද් මානගේ පැවසුවේ, “වාහන ගෙන්වන්න දෙනවා කිව්වට, කිසි ම නිල ප්‍රකාශයක් නෑ, හිටපු අමාත්‍ය කෙනෙකුගේ ප්‍රකාශයක් පමණයි තිබෙන්නේ.” යනුවෙනි.

“සියලු වාහන ආනයන කරන්න කලින් වාහන ආනයන ප්‍රතිපත්තියක් හහදන්න කලින් තීරණය කළා.” ඔහු පැවසීය.

“අද වෙනකොට රාවයක් යනවා. මේ ඔක්තෝබර් 1 වැනිදා ඉදලා, බස් සහ ලොරි ආනයනය කරන්න දෙනවා කියලා. නමුත් තාම එහෙම කිසිම ස්ර්කියුලර් එකක්, එහෙම කිසි ම ලියකියවිල්ලක් රජයේ ආයතනයකින්වත්, ඉම්පෝට් කොන්ට්‍රෝල් එකකින්වත් බැංකුවකට ගිහිල්ලා නැහැ”

ඔහු පැවසුවේ, “මුලින් බස් සහ ලොරි ගෙන්වන්න තමයි සැලැසුම් කළේ.නමුත් එහෙම දෙයක් කරන්න තව ම කිසි ම වැඩපිළිවෙළක් හෝ රජය තීරණයක් අරන් නෑ කියලයි අපිට වාර්තා වෙන්නේ.”

“මේ වාහන ගෙන්වීම ආරම්භ කළත් බස් ලොරි ගෙන්වන්නත් ජනවාරි පෙබරවාරි වේවි.”

‘වාහන ගෙන්වීම ආරම්භ කළත් වාහන මිලේ ලොකු අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ’

වාහන ආනයනය නතර කර ඇති පසුබිම තුළ දැනට වෙළඳපොලේ ඇති භාවිත කළ වාහන ද ඉතා ඉහළ මිල ගණන්වලට මේ වන විට අලෙවි වෙයි.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ, “වාහන ගෙන්වීම ආරම්භ කළත් සියලු කාරණා යටතේ වාහන මිල ලොකු අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ.”යනුවෙනි.