ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය වරින් වර වෙනස් වෙන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම පිළිබඳව යළි කතා බහක් ඇති වූයේ, ජන. 29 කොළඹ නගරයේ අහස අඳුරු පැහැ වළාවකින් පිරී ඇති අයුරු දැක්වුණු ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග ය.
එම තත්ත්වය බොහෝ දෙනෙකු තුළ මෙරට වායු ගුණාත්මකභාවය පිළිබඳව කනස්සල්ලක් ඇති කිරීමට ද හේතු විය.
ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කළේ, ජන. 29 දිනයේ මෙරට බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පැවති බව ය.
නමුත් වවුනියාව, කෑගල්ල, නුවර එළිය, රත්නපුර, ඇඹිලිපිටිය, බදුල්ල, ත්‍රිකුණාමලය, මුලතිව් හා මොනරාගල යන නගරවල එම තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක පැවති බව එම සංවිධානය පැවසීය.
එහි පාරිසරික අධ්‍යයන සහ සේවා අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මේ දිනවල දකුණු ආසියාවේ රටවල වායු දූෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බව ත් එම ප්‍රදේශවල සිට සුළං ධාරා පැමිණීමේදී ශ්‍රී ලංකාවට ද ඉන් බලපෑමක් සිදුවන බව ය.
ඊසාන දිග මෝසම් කාලය තුළ විටින් විට එම තත්ත්වය ඇති විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය ජන. 29 සහ ඊට පෙර පැවති තත්ත්වය සමග සංසන්දනය කර බලමු
වෙනස නිරීක්ෂණය කිරීමට රූපය මැද ඇති බොත්තම එක් පසෙකට ගෙන යන්න.
වෙනස නිරීක්ෂණය කිරීමට රූපය මැද ඇති බොත්තම එක් පසෙකට ගෙන යන්න.
ඉදිරිය කොහොම ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මාර්තු - අප්‍රේල් කාලය වන විට මෙම තත්ත්වය පහත යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, ඒ වන විට අන්තර් මෝසම සක්‍රිය වන බව ත් ඒත් සමග සුළං ප්‍රවාහය දුර්වල වන බව ත් ය.
"ඊළඟට එන්නේ අන්තර් මෝසම් නේ. අන්තර් මෝසම් කියන්නේ නිශ්චිත රටාවක් නැහැනේ සුළඟේ. මාර්තු - අප්‍රේල් වෙද්දී. සුළං ප්‍රවාහය ගොඩක් දුර්වල වෙනවා. ඒ වගේ කාලවලදී මේක ගොඩක් අඩු වෙනවා," නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේ ය.
පවතින තත්ත්වය පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසීය.
"ඕක දකින්න පුළුවන් වියළි කාලගුණික තත්ත්වයත් එක්ක. මේ දවස්වල ගත්තොත් ඉන්දියාවේ තියෙන්නේ ගොඩාක් වියළි කාලගුණික තත්ත්වයක්. වැස්ස ගොඩක් අඩුයි. එතකොට ඒකත් එක්ක තමයි මේ දූෂිත තත්ත්වයන් සුළඟත් එක්ක වෙනත් දිශාවලට ගමන් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ට්‍රාන්ස්බවුන්ඩරි පොලියුෂන් (Transboundary Pollution) කියලා. ඉන්දියාව ගොඩාක් බයෝ ගෑස් එහෙම පාවිච්චි කරන රටක් නේ. දර දහනය වෙනවා. සුළං රටා වෙනස් වීමත් එක්ක සමහර අංශු අපේ පැත්තට එන්න පුළුවන්."
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් බැවින් එලෙස පැමිණෙන දූෂිත වායු අංශු මෙරට වායුගෝලයේ රැඳී පවතින කාලය අඩු බව ඔහු පෙන්වා දුන්නේ ය.
"අපි කුඩා දිවයිනක් නේ. එතකොට අපේ කලාපයේ ඕවා රැඳිලා තියෙන කාලය ටිකක් අඩුයි. ලොකු භූමි ප්‍රදේශයක නම් ගොඩක් රැඳිලා තියෙනවා සමහර වෙලාවට," ඔහු වැඩිදුරටත් පැවසීය.
වායු ගුණාත්මක තත්ත්වය තීරණය කරන්නේ කොහොම ද?
වායු දූෂණය ඔබේ සෞඛ්‍යයට හානි කරන්නේ කෙසේ ද?
වයෝවෘද්ධ, ගැබිණි, කුඩා දරුවන් වැනි අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් පවතින වායු දූෂණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග පිළිබඳ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න බීබීසී සිංහල සමග මීට පෙර කළ සංවාදයකදී පැවසුවා ය.

එහිදී ඇය පෙන්වා දුන්නේ, වායු දූෂණය හේතුවෙන් පපුවේ මහන්සිය, වියළි කැස්ස, ඇදුම වගේ රෝගී තත්ත්වයන් වගේ ම පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති විය හැකි බව ඇය එහිදී සඳහන් කළා ය.
"වැඩි වශයෙන් මහලු වියේ පසුවන අය, දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන වගේ ම දුම්පානය කරන අයට මේ තත්ත්වය නිසා ඇතිවෙන්න පුළුවන් අවදානම ඉහළයි."

හෘද රෝග තත්ත්වයන් ඇති පිරිස්, ගැබිනි මව්වරුන් සහ කුඩා දරුවන් පවා මේ වායු දුෂණය නිසා අවදානම්සහගත මට්ටමේ සිටින පුද්ගලයින් බව ඇය පෙන්වා දුන්නා ය.
"මේ නිසා වායු දුෂණය වැඩි අවස්ථාවන්වලදී මුව ආවරණ පැළඳීම, එළිමහනේ කටයුතුවල යෙදීම සීමා කරන්න. ඒ වගේ ම හුස්ම ගැනීමේදී ඇතිවිය හැකි සංකූලතාවලදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි," මහාචාර්යවරිය එම සංවිධානයේදී වැඩිදුරටත් පැවසුවා ය.














