ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ කුමන අවස්ථාවකද?

    • Author, සම්පත් දිසානායක
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකා ඉතිහාසය ගත්විට ජනාධිපතිවරයෙකු විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර අත්තේ විසඳා ගත නොහැකි අර්බුදයකට මැදිවූ අවස්ථාවකය.

පාර්ලිමේන්තු බහුතරය නොමැති වීම හෝ එක් පක්ෂයකින් ජනාධිපතිවරයෙකු පත්වීම සහ විරුද්ධ පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය පැවතීම වැනි අවස්ථාද ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌නවවැනි පාර්ලි‌මේන්තුව පිහිටුවා 2023 පෙබරවාරි 20 වැනිදාට වසර දෙකහමාරක් සම්පූර්ණවිය.

ඒ අනුව දැන් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමේ බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිව ඇත.

මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අවසන් වරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ 2020 මාර්තු 02 වැනිදාය.

එහෙත් පැවති කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සැලසුම් කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ අතර පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු මස දක්වා කල්දැමිණි.

ඒ අනුව 2020 අ‌ගෝස්තු 05 වැනිදා අවසන්වරට මෙරට මහා මැතිවරණයක් පැවැත්වුණු අතර එම මැතිවරණයෙන් අනතුරුව 2020 අ‌ගෝස්තු 20 දින නව වැනි පාර්ලිමේන්තුව පළමුවරට රැස්විය.

ජනපති පාර්ලිමේන්තුව විසුරුවයිද?

2023 පාළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහාමැතිවරණයක් පවත්වයිද යන්න සැක සහිත කාරණයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර පැවසුවේ මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් නොකරනු ඇති බවය. “විසුරුවා හරින්නේ නැහැ. පැවැත්මක් නැහැනේ, විසුරුවා හැරියහොත්”

මෙය ජනාධිපතිවරයා රටේම බලය තමන් යටතට ගන්නා අවස්ථාවක් බවද ඇය පෙන්වා දුන්නාය.

කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රායෝගික අවස්ථාවක් ලෙස ඇත්තේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමයේ බවද ඇය කියා සිටියාය. “චන්ද්‍රිකා එක පක්ෂයක රනිල් වික්‍රමසිංහ එක පක්ෂයක. එවෙලාවේ අමාත්‍යංශ පවරාගෙන ඒක කළා. ඒ බලතල යටතේ.” විශාකා සුරියබණ්ඩාර සඳහන් කළාය.

“සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන් අයවැය පරාජයක් වුණොත්, හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවුරුදු දෙක හමාරකින් පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා අලුත් සංශෝධනයේ කියලා තියෙනවා. හැබැයි කිසිම තැනක මේ අවස්ථා මොනවද කියලා කියලා නැහැ. එතකොට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඕනෑම අවස්ථාවක, තමන්ට හැඟෙනවා නම් මේ වෙලාව විසුරුවා හරින්න ඕනේ කියලා අනිවාර්යෙන් එයාට පුලුවන් ඒක කරන්න.”

ඇය පෙන්වා දුන්නේ, “විධායකය ඉතාම බලවත්ම අවස්ථාවක තියෙන්නේ මේ වෙලාවේ. විධායකයට ඕනෑම අවස්ථාවක පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ජනාධිපතිවරයාට අකමැති කියලා හිතෙන මොනවා හරි දෙයක් ආවොත් ඔහුට පුලුවන් ඊට පහුවෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය පෙන්වා දුන්නාය.

“මේ වෙලාව හඳ රාහු ගිල ගන්නවා වගේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය ගිලගන්නා අවස්ථාවක් තියෙන්නේ, අනිවාර්යයෙන් විධායකය කියන විදිහට ව්‍යවස්ථාදායකය හැසිරෙන්න ඕනේ. කන්ට්‍රෝල් නැහැ කියලා හිතුනොත් ජනාධිපතිට පුලුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න.”

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය සඳහන් කළේ “මම හිතනවා බොහොම අන්‍යොන්‍ය අවබෝධයකින් මේගොල්ලෝ මේ අවුරුදු දෙකහාමාර යනවා කියලා."

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අසාර්ථක උත්සාහය

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2018 වසරේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැරූ උත්සාහය මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අසාර්ථක උත්සාහයක් ලෙස සැලකෙයි.

2018 වසරේදී යහපාලන ආණ්ඩු සමය තුළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටි සමයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසමිතුරු කණ්ඩායමක් සමග එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ ආණ්ඩුව පෙරලා දමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බවට පත් කරනු ලැබීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වන බවට එවකට කතානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමු කළ අතර සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර විසින් කතානායකවරයා වෙත ලිපිය යොමු කර පැයක් යන්නට පෙර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන ලදි.

ඒ වන විට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර ඔහු තනතුරින් ඉවත් කිරීමට අවශ්‍ය නිසි පියවරක් අනුගමනය කර තිබුණේ නැත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන බවට ලිපියක් යොමු කළේ එදිනමය.

එයට ප්‍රතිචාර දැක්වූ රනිල් වික්‍රමසිංහ දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු නිසා තවමත් තමන් අගමැතිවරයා බවය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට අගමැතිවරයෙක් ඉවත් කළ නොහැකි බව ඔහු අවධාරණය කරනු ලැබීය.

'ව්‍යවස්ථා අර්බුදය' හා 'ව්‍යවස්ථා කුමන්ත්‍රණය' ආදී ලෙස හැඳින්වු මෙම ප්‍රයත්නය දින 52ක් පුරා ඇදී ගියේය.

2018 ඔක්තෝබර් 26 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකරමින්, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයත් සමග ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය විය

තවදුරටත් රටේ නීත්‍යානුකූල අගමැතිවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 නොවැම්බර් 09 වන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

එහෙත් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කරනු ලැබීය.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අසාර්ථක උත්සාහයක් ලෙස සැලකෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අවස්ථා මොනවාද?

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ වසර හතරහමාරක් පිරුණු පසුව බව දැක්විණි.

20 වැනි සංශෝධනයෙන් එය වසර දෙකහාමාර දක්වා අඩු කෙරුණු අතර 21 වැනි සංශෝධනයෙන් එම කාලසීමාව වෙනසකට ලක් නොවීය.

මෙරට ඉතිහාසය ගත්විට නිල කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සාර්ථක අවස්ථා දක්නට ලැබෙන්නේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන කාලය තුළය.

1978 සැප්තැම්බර් 7 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග ‌දෙවන ජාතික රාජ්‍ය සභාව ‌වෙනුවට ප්‍රථම පාර්ලි‌මේන්තුව පිහිටවනු ලැබිණ.

මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර් ජයවර්ධනගේ පාලන සමය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ සිව්වන සං‌‌ශෝධනය මගින් ප්‍රථම පාර්ලි‌මේන්තු‌වේ කාල සීමාව 1989 අ‌ගෝස්තු 4 දින දක්වා දීර්ඝ කරනු ලැබිණ.

ඒ, 1982 දෙසැම්බර් 22 පවත්වන ලද ජනමත විචාරණයෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා පළමු පාර්ලිමේන්තුවේ නිල කාලසීමාව අවුරුදු 10 මාස 3 දින 13කි.

පළමු පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වූයේ ආර්. ‌ප්‍රේමදාසය.

මෙරට දෙවන පාර්ලි‌මේන්තුව 1989 මාර්තු 09 ආරම්භ වු අතර එහි කාලසීමාව අවුරුදු 5 මාස 3 දින 15 කි.

1994 ජුනි 24 වැනිදා දෙවැනි පාර්ලිමේන්තුව විසුරවා හරිනු ලබන්නේ එවකට ජනාධිපති ඩී.බී විජේතුංග විසිනි.

අනතුරුව පැහැදිලි ජනවරමකින් බලයට පත්වන්නේ මෙරට පළමු ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය.

2000 වසරේ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් බහුතර බලයක් හිමිකර ගැනීමට පොදුජන පෙරමුණට නොහැකි වීම තුළ වසර 2001 දී තවත් මහ මැතිවරණයකට මුහුණදීමට චන්ද්‍රිකා බණ්ඩාරනායකට සිදුවිය

එහෙත් 2001 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජය ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි.

ඒ අනුව ප්‍රතිවිරුද්ධ පක්‍ෂයක ආණ්ඩුවක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඇයට සිදුවිය.

ආරම්භයේදී ව්‍යවස්ථාවෙන්ම තමන්ට හිමි ආරක්‍ෂක අමාත්‍ය ධුරය පවා ඇය තම ප්‍රතිපාක්‍ෂික ආණ්ඩුවට ස්වකැමැත්තෙන්ම පවරා දෙමින් සහයෝගයෙන් කටයුතු කළාය.

එහෙත් එල්.ටී.ටී.ඊ ය සමග සාම සාකච්ඡා බිඳ වැටී නොසන්සුන් තත්ත්වයක් උද්ගත වෙමින් තිබියදී ඇය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමග පැවති මත ගැටුම උත්සන්න විය.

එම පසුබිම තුළ ආරක්‍ෂක අමාත්‍යංශය, අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශය සහ ජනසන්නිවේදන සහ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය භාරව සිටි අමාත්‍යවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර එම අමාත්‍යංශ තමන් යටතට පවරා ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ක්‍රියා කළාය.

2003 නොවැම්බර් මස 5 වැනිදා අමාත්‍යාංශ 3 ක් තමන් වෙත පවරා ගෙන තම පක්‍ෂයේ ඇමැතිවරුන් දෙදෙනකු එම අමාත්‍යංශ දෙකකට පත්කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක එහි තවත් පියවරක් ඉදිරියට තබමින් 2004 පෙබරවාරි 23 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එක්සත් ජාතික පක්ෂයට බහුතරය පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.

ජනාධිපතිවරයෙකු විසින් අමාත්‍යංශ පවරා ගැනීම සහ පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමේ දුර්ලභ සිද්ධියක් ලෙස මෙය සැලකෙයි.

පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමේ තවත් සුවිශේෂී සිද්ධියක් වන්නේ 2015 ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන 2015 ජුනි 26 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් පියවරය.

ඒ, මහබැංකු බැඳුම්කර වංචාව ගැන සෙවූ ඩිව් ගුණසේකරගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුවේ වාර්තාව එළි දැක්වීමට නියමිතව තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ එහිදී දැඩි කතා බහට ලක්විය.