ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආසියානු කුසලානය: අවසන් මහ තරගයට පෙර ඉන්දියාවට අමිහිරි පරාජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පෙර පැවති සුපිරි සිව් දෙනාගේ වටයේ අවසන් තරගයෙන් ඉන්දියාව පරාජය කරමින් ලකුණු 6 ක ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම (සැප්තැම්බර් මස 15 වැනිදා) සමත් විය.
තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීය.
බංගලාදේශ කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියකදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගයක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2012 වසරෙන් පසුවය.
එමෙන්ම බංගලාදේශ සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් එක්දින තරග 4 අතුරින් තරග තුනක ජයග්‍රහණය බංගලාදේශ කණ්ඩායම තමන් සතුකර ගැනීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.
ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වයි
මෙම තරගයට දෙපිලේම ප්‍රමුඛ ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වා තිබුණි.
විශේෂයෙන් ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා, කුල්දිප් යාදෙව්, හර්දික් පාන්ඩ්යා සහ මොහොමඩ් සිරාජ් ඒ අතර වූහ.
බංගලාදේශ කණ්ඩායමේ මුෂ්ෆිකර් රහීම්, ටස්කින් අහමඩ්, හසන් මහමුද්, මොහොමඩ් නයීම් ද මෙම තරගයේදී විවේක ගන්වා තිබූහ.
බංගලාදේශ ඉනිමේ ආරම්භය
පෙර තරගවලදී මෙන්ම මෙම තරගයේදී ද බංගලාදේශ කාණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ වූ ලිටන් දාස් ලකුණු නොලබා දැවි ගිය අතර ටන්සිඩ් හසන් ලකුණු 13 කට දැවී ගියේය.
අනමුල් හක් ලකුණු 4 කට සහ මෙහෙදි හසන් මීරාස් ලකුණු 13 කට දැවී ගියහ.
බංගලාදේශයට ජීවයක් ගෙන ආ නායකත්වයේ ඉනිම
බංගලාදේශ ඉනිමේ ලකුණු පුවරුව පන්දුවාර 14 කදී ලකුණු 59 කට කඩුලු 4ක් ලෙස සටහන් වූ මොහොතේ පිටියට එක්වූ නායක ශකිබ් අල් හසන් සමග එක්වූ තව්හිද් හිර්දෝයි සිය කණ්ඩායම වෙනුවෙන් අගනා සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.
එහිදී නායක ශකිබ් සහ හිර්දොයි විසින් ඉන්දීය පන්දු යවන්නන් ක්‍රමයෙන් පාලනය කරමින් කඩා වැටීමට ලක්වූ බංගලාදේශ ඉනිම නැවත ගොඩ නගනු ලැබුවේ පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 101ක් රැස් කරමිනි.
පන්දු 85 කදී හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් 6ක් සමග ලකුණු 80ක් රැස් කර ගෙන සිටි ශකිබ් අල් හසන්ගේ කඩුල්ල දවා ගැනීමට ශාර්දුල් ඨාකුර් සමත් විය.
ඉන් පසුව ශම්මි හුසේන්ගේ කඩුල්ල දවා ගැනීමට මොහොමඩ් සාමි සමත් වීමත් සමග බංගලාදේශ ඉනිම දැක්වුණේ පන්දු වාර 34.1 කදී ලකුණු 161 කට කඩුලු 6ක් ලෙසයි.
වගකීම කරමතට ගත් පසුපෙළ පිතිකරුවන්
ඉන්දීය පන්දු යවන්නන්ගේ බල ඇණිය එල්ල කළ ප්‍රබල තර්ජනය හමුවේ බංගලාදේශ ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරණයට පාඩම් උගන්වමින් පසු පෙළ පිතිකරුවන් සිය කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යෑමට සමත් විය.
තව්හිද් හිර්දොයි පන්දු 81 කදී ලකුණු 54ක්, නසුම් අහම්ඩ් පන්දු 45 කදී ලකුණු 44ක්, මෙහෙදී හසන් නොදැවී පන්දු 23 කදී ලකුණු 29ක් සහ ටන්සිම් හසන් සාකිබ් නොදැවී පන්දු 8 කදී ලකුණු 14ක් රැස් කිරීමට සමත් වූහ.
ඒ අනුව බංගලාදේශ කණ්ඩායම විසින් නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කරන ලදි.
සාර්ථක නොවූ ඉන්දීය නායකයා
ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට පෙර තරගවලදී මෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මෙම තරගයේදී නොහැකි විය.
සිය මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩා කළ බංගලාදේශ වේග පන්දු ක්‍රීඩක ටන්සිම් හසන් සකිබ්, ඉන්දීය නායක රෝහිත් ෂර්මා ලකුණු ලබා ගැනීමට පෙර නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.
ඉන් පසුව ටන්සිම් හසන් විසින් තිලක් වර්මා ලකුණු 5 කට දවා ගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායම අසරණ කරමිනි.
ඉන් පසුව පිටියට එක්වූ කේ.එල්. රාහුල් සහ ශුබ්මන් ගිල් ඉන්දීය ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කට ලකුණු 57ක් එක් කිරීමට සමත් වූහ.
දඟ පන්දුවට යටවු ඉන්දීය ඉනිම
බංගලාදේශ නායක ශකිබ් අල් හසන් ප්‍රමුඛ දඟ පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කළේ ඔවුන්ව දැඩි ග්‍රහණයකට නතු කර ගනිමිනි.
කේ.එල්. රාහුල් ලකුණු 19 කට සහ ඉෂාන් කිෂන් ලකුණු 5 කට දැවී යාමෙන් පසු ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 23.3 කදී ලකුණු 94 කට කඩුලු 04ක් ලෙසයි.
ශුබ්මන් ගිල් ගේ අනගි ඉනිම
අනෙක් අන්තයේ පිතිකරුවන් එකිනෙකා දැවී යන විට සිය කඩුල්ල ආරක්ෂා කර ගත් ශුබ්මන් ගිල් සුර්යකුමාර් යාදෙව් සමග එක්ව ඉන්දීය පිලේ පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් රැස් කිරීමට සමත් විය.
ඔවුන් දෙදෙනා ගේ සබඳතාවය බිඳ හෙලමින් ශකිබ් අල් හසන් විසින් ලකුණු 26ක් රැස් කර සිටි සුර්යකුමාර් යාදෙව් ගේ කඩුල්ල දවා ගත්තේය.
ඉන් පසුව පිටියට පිවිසි රවින්ද්‍ර ජඩේජා ලකුණු 7 කට දැවී ගියේය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ ශුබ්මන් ගිල් සිය එක්දින තරග දිවියේ පස්වන ශතකය රැස් කිරීමට සමත් වුයේ පන්දු 117ක් තුළදීය.
හයේ පහරවල් 5ක් සහ හතරේ පහරවල් 8ක් සමගින් පන්දු 133 කදී ලකුණු 121ක් රැස් කර ගෙන සිටි ශුබ්මන් ගිල් ගේ කඩුල්ල දවා ගැනීමට මෙහෙදී හසන් සමත් විය.
ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දු වාර 43.4 කට ලකුණු 209 කට කඩුලු 07ක් ලෙසයි.
උණුසුම් වූ අවසානය
ශුබ්මන් ගිල්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසී ශ්රාදූල් ඨාකුර් සහ අක්සාර් පටෙල් ක්‍රමයෙන් තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු සීමාව සමීපය කරා ඉන්දීය කණ්ඩායම රැගෙන ඒමට කටයුතු කළේ ය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට අවසන් පන්දු වාර 3 තුළදී ජයග්‍රහණය සඳහා ලකුණු 31ක් අවශ්‍යව තිබුණි.
පන්දු 34 කදී ලකුණු 42ක් රැස් කරමින් අක්සාර් පටෙල් ඉන්දීය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට ගෙන ඒමට සමත් විය.
කෙසේවෙතත් 49 පන්දු වාරය ක්‍රියාත්මක කළ මුස්ටාෆිසුර් රෙහෙමාන් විසින් ශ්රාදූල් ඨාකුර් සහ අක්සාර් පටෙල් ගේ කඩුලු දෙක දවා ගනු ලැබීය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට සිය පන්දුවාර 49.5 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 259ක් පමණි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින බැවින් මෙම තරගය තරගාවලියේ තීරණාත්මක තරගයක් නොවීය.
2023 ආසියානු කුසාලනයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහ තරගය හෙට පස්වරු 3ට කොළඹදී පැවැත්වීමට නියමිතය.