ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාත්‍යන්තර පාසල් නියාමනය නොකිරීමෙන් 'දරුවන්ට ගැටලු රැසක්'; නියාමනය කිරීමට කළ යුත්තේ කුමක්ද?
"දරුවො පාසලට ඇතුළත් කරද්දි කිව්වෙ නෑ, සාමාන්‍ය පෙළට සෞන්දර්ය විෂයන් ඉගෙන ගන්න ගුරුවරු දෙන්නෙ නෑ කියලා. ඒත් 9 ශ්‍රේණියට යද්දි කියනවා, සෞන්දර්ය විෂය නැතුව ඒ වෙනුවට ඉංග්‍රීසි සාහිත්‍යය අනිවාර්යයෙන් කරන්න කියලා. මේක ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නෙවෙයි ද?," ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් කිහිප දෙනෙකුගේ ම දෙමාපියෝ එලෙස චෝදනා කරති.
මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී පෙනී ගියේ, සෞන්දර්ය විෂයන් සඳහා දේශීය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන් වෙනුවෙන් ගුරුවරුන් බඳවා නොගෙන, සියලු දරුවන්ට ඉංග්‍රීසි සාහිත්‍යය විෂය පමණක් ලබා දීමට ඇතැම් ජාත්‍යන්තර පාසල් කටයුතු කර ඇති බව ය.
කෙසේ වෙතත්, යම් ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට ඉංග්‍රීසි සාහිත්‍යය හැර වෙනත් සෞන්දර්ය විෂයක් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව එම විෂය ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය හැකි බව එම පාසල්වල පරිපාලන අංශ පවසයි.
එහෙත්, පෞද්ගලිකව සෞන්දර්ය විෂයක් ඉගෙන ගැනීමේදී, ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වන කාල පරිච්ඡේදවලදී දරුවාට නිකරුණේ කාලය ගත කිරීමට සිදුවීම, වාර විභාගවලදී පන්ති ලකුණු සාමාන්‍යය ගණනය කිරීමේදී එවැනි දරුවන් අසාධාරණයට ලක්වීම ආදී ගැටලු ගණනාවක් පවතින බව දෙමාපියෝ පෙන්වා දෙති.
ඉහත සඳහන් කළේ, ජාත්‍යන්තර පාසල්වල දරුවන් මුහුණ දෙන එක් ගැටලුවක් පමණි. ශ්‍රී ලංකාවේ ම දරුවන් පිරිසක් වන, එමෙන් ම අධ්‍යාපනය වෙනුවෙන් රටට බරක් නොවන එවැනි ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් මුහුණ දෙන ගැටලු රැසක් තිබේ.
එම ගැටලු අතර, වසරක් පාසා අධික ලෙස පාසල් ගාස්තු ඉහළ දැමීම විශේෂ ය.
ජාතික විගණන කාර්යාලයේ නිරීක්ෂණ
2020 වසරේදී ජාතික විගණන කාර්යාලය 'රජයේ නොවන පාසල් සම්බන්ධයෙන් වන නියාමන ක්‍රියාවලිය' නමින් වාර්තාවක් නිකුත් කළේ ය.
එහිදී, ඔවුන් කළ නිරීක්ෂණ අනුව ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ ආයතනයක් නොමැති වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පෙනී ගොස් තිබේ.
එම වාර්තාව මගින් ජාත්‍යන්තර පාසල්වල ගැටලු රැසක් අනාවරණය කර ඇති අතර, ඒ අතරින්, ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ ගැටලු, ගාස්තු අය කිරීමේ විෂමතා, විෂය නිර්දේශය ආවරණය නොකිරීම විශේෂ ය.
ජාත්‍යන්තර පාසල් බිහි වූයේ ඇයි?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් සංකල්පය බිහි වූයේ, මෙරට ජීවත් වන විදේශිකයන්ගේ දරුවන්ට විදේශ විභාග සඳහා අධ්‍යාපනය ලබා දීම වෙනුවෙනි.
එහෙත්, පසුකාලීනව සිය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමට කැමති මූල්‍යමය හැකියාවක් සහිත දෙමාපියෝ සිය දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කිරීමට පෙළඹුණහ.
මේ වන විට, එම තත්ත්වය වෙනස් වී ඇති අතර, සිය දරුවන්ට සුදුසු පාසලක් අහිමි වීම, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම, කොළඹ ආදී ප්‍රධාන නගර කේන්ද්‍රකරගත් ප්‍රමුඛ පෙළේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට ඇති අකැමැත්ත ආදී විවිධ හේතු මත සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින් බොහෝ දෙනෙකුගේ දරුවෝ ද ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබති.
1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනත යටතේ, පෞද්ගලික පාසල් පිහිටුවීම තහනම් කර තිබේ.
කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර පාසල් පෞද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කර පවත්වාගෙන යයි.
ජාත්‍යන්තර පාසල් නියාමනය කළ නොහැකි ද?
ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර නොමැති හෙයින් ඒවා නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට හැකියාවක් නැතැයි පැවසේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් අධ්‍යාපන පනතට අනුව නීතිවිරෝධී ආයතන බව ය.
"අපි කියන්නේ ජාත්‍යන්තර පාසල් අහෝසි කළ යුතු යි කියලා. පනත අනුව ඒවා නීතිවිරෝධී ආයතන. ඒ නිසා ඒවා නියාමනය කරල ඒවාට නීතිමය පිළිගැනීමක් ලබා දෙනවාට අපි විරුද්ධ යි," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.
එහෙත්, ලර්න්ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ පවසන්නේ, ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන්නේ ද, ශ්‍රී ලංකාවේ ම දරුවන් පිරිසක් බව ය.
එහෙයින්, එම දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීමට අනිවාර්යයෙන් ම නියාමන ආයතනයක් තිබිය යුතු බව ඇය අවධාරණය කළා ය.
"සමාගම් විදිහට පටන් ගත්තත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නේ අපේ ම රටේ දරුවන්. විවිධ හේතු නිසා දෙමාපියන් ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළත් කරල තියෙනවා. ඒ නිසා ඒ දරුවන් අත් හරින්න අපට බෑ. අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර පාසල් නියාමනය කළ යුතු යි."
2018දී ශ්‍රී ලංකාවේ ප්‍රථමයාට සිදුවූ 'අසාධාරණය'
2018 වසරේදී උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය හිමි කර ගත්තේ, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ සෙනාදී දම්‍යා ද අල්විස් සිසුවිය යි.
කෙසේ වෙතත්, ඇයට පළමු ස්ථානය ලබා දීම අසාධාරණ බවට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි බන්දුල ගුණවර්ධන ඇතුළු විපක්ෂයේ පිරිසක් චෝදනා කළහ.
එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ, අකිල විරාජ් කාරියවසම් බීබීසී සිංහල සේවයට පැවසුවේ, ජාත්‍යන්තර පාසල්වල සිසු සිසුවියන් සහ රජයේ පාසල් සිසුන් එක්ව නොසලකන ලෙසට තමන්ට බලපෑම් එල්ල වූ බව ය.
"ජාත්‍යන්තර පාසල් දරුවනුත් ශ්‍රී ලංකාවේ දරුවන් ලෙස තමයි මම සැලකුවේ. ඒ නිසා තමයි ජාත්‍යන්තර පාසලක සිසුවියක් ලංකාවේ පළමු වෙනි තැනට ආවේ. ඊට අමතරව මම උත්සහ කළා, සුරක්ෂා සිසු රක්ෂණය ජාත්‍යන්තර පාසල් සිසුන්ටත් දෙන්න. ජාත්‍යන්තර පාසල් නියාමනය කරන්නත් මම පියවර ගනිමින් හිටියා. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩක් ලැබුණේ නැහැ," හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.
ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමට කළ යුත්තේ කුමක් ද?
1980 දශකයේ සිට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශව නියෝජනය කරන නිලධාරී කමිටුවක් පත් කෙරිණි.
2013 වසරේ අගෝස්තු මස 28 වන දා කෙරුණු සාකච්ඡාවක් අනුව ඉදිරිපත් කෙරුණු නිර්දේශ අතර 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වැනි වගන්තිය සංශෝධනය කර ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කිරීමත්, එම පාසල් නියාමනයට වෙන ම ආයතනයක් පිහිටුවීමත් ඇතුළත් විය.
මේ අතර, ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කර නොමැති වීම හේතුවෙන්, එම පාසල් දරුවන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යංශයට පැමිණිලි කළ ද, ඒවාට විසඳුම් දීමට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් වී නැති බව ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් 2020 වසරේ නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ.
"මෙතනදි කරන්න තියෙන්නේ සුළු දෙයක්. 1961 අංක 8 දරන පනතේ 25 වන වගන්තය සංශෝධනය කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක කළොත් මේ රටේ අධ්‍යාපනය ඉතා ම යහපත් මාර්ගයකට අවතීර්ණ වේවි," ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නා ය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරියගෙන් ශුභවාදී ප්‍රතිචාරයක්
ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ශුභවාදී ප්‍රතිචාරයක් දැක්වීය.
ඇය පැවසුවේ, ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව ය.
"අපි ඒකට ක්‍රමවේදයක් සකස් කරමින් ඉන්නවා. ඒ අනුව, ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා."