බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරියකට තහනමක්

    • Author, රූත් කමර්ෆීල්ඩ්
    • Role, ලන්ඩන්
    • Author, ටිෆනී ටර්න්බුල්
    • Role, සිඩ්නි

බුර්කා නමැති මුස්ලිම් ඇඳුම තහනම් කරන ලෙස ඉල්ලා බුර්කාවක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකයෙකුගේ සාමාජිකත්වය සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

පෝලීන් හැන්සන් සඳුදා (නොවැ: 25) සිදු කළ මෙම නිරූපණය සම්බන්ධයෙන් සෙසු සෙනෙට් සභිකයින් හෙළා දැක තිබූ අතර, එක් සභිකයෙකු ඇයට "ජාතිවාදය ප්‍රසිද්ධියේ පෙන්වීමක්" ලෙස චෝදනා කළේ ය.

ආගමන විරෝධී One Nation පක්ෂයේ ක්වීන්ස්ලන්ත සෙනෙට් සභික පෝලීන් හැන්සන්, ප්‍රසිද්ධ ස්ථානවල සම්පූර්ණ මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට උත්සහ කරමින් සිටි අයෙකි. ඇය දිගු කලක් තිස්සේ ඊට විරෝධය දැක්වූවා ය.

මුහුණ සහ ශරීරය ආවරණය කරන බුර්කා ඇඳුම පාර්ලිමේන්තුවේදී ඇඳ සිටි දෙවන අවස්ථාව මෙය වන අතර, සෙනෙට් සභාව ඇගේ පනත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමක් ලෙස ඇය එය ඇඳි බව පැවසුවා ය.

සඳුදා පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී අනෙකුත් නීති සම්පාදකයින් ඊට බාධා කිරීම නිසා, ඉන් මඳ වේලාවකට පසුව, ඇය කළු පැහැති බුර්කාවක් ඇඳගෙන ආපසු පැමිණියා ය.

"මේ ජාතිවාදී සෙනෙට් සභිකයෙක්, පැහැදිලිව ජාතිවාදය ප්‍රදර්ශනය කරනවා," පසුගිය වසරේ ෆෙඩ්රල් අධිකරණය විසින් හැන්සන්ගේ වාර්ගික වෙනස්කම් කිරීමේ ගොදුරක් වූ බවට තහවුරු වූ මුස්ලිම් ග්‍රීන්ස් සෙනෙට් සභික මෙහ්රීන් ෆාරුකි පැවසුවා ය. මෙම තීන්දුව සම්බන්ධයෙන් හැන්සන් අභියාචනයක් ගොනු කර තිබේ.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ස්වාධීන සෙනෙට් සභික ෆාතිමා පේමන් මෙම නිරූපණය "නින්දාසහගත" ලෙස හැඳින්වීය.

සෙනෙට් සභාවේ රජයේ නායිකාව ලෙස සේවය කරන විදේශ අමාත්‍ය පෙනී වොන්ග්, අඟහරුවාදා හැන්සන්ට පාර්ලිමේන්තුව වාරණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේ, ඇය "දශක ගණනාවක් තිස්සේ විරෝධතාවක් ලෙස අගතියක් ප්‍රදර්ශනය කර ඇති" බව පවසමිනි.

ඡන්ද 55ට 5ක් ලෙස සම්මත වූ යෝජනාවේ සඳහන් වන්නේ, හැන්සන්ගේ ක්‍රියාවන් "ආගම පදනම් කරගෙන මිනිසුන්ට අපහාස කිරීමට සහ සමච්චල් කිරීමට අදහස් කර ඇති" බවත් "මුස්ලිම් ආගමික ඔස්ට්‍රේලියානුවන්ට අගෞරවයක් කර ඇති" බවත් ය.

වොන්ග් මීට පෙර තර්ක කළේ, හැන්සන් "ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසු නැත" යනුවෙනි.

ෆේස්බුක්හි සටහනක, හැන්සන් මෙසේ ලිවී ය: "ඔවුන් මා බුර්කාව අඳින එකට අකමැති නම් - ඒක තහනම් කරන්න."

ඇය මීට පෙර 2017 දී පාර්ලිමේන්තුවට බුර්කාවක් පැළඳ පැමිණි අතර, එම අවස්ථාවේදී එම ඇඳුම සම්බන්ධයෙන් ජාතික තහනමක් ඉල්ලා සිටියා ය.

2016 දී, ඔස්ට්‍රේලියානු සෙනෙට් සභාවේදී කළ ඇගේ මංගල කතාව සඳහා හැන්සන් විවේචනයට ලක් වූ අතර, එහිදී ඇය පැවසුවේ, රට "මුස්ලිම්වරුන් විසින් මඩ වගුරක්" බවට පත් කිරීමේ අවදානමක් පවතින බව ය.

එය 1996 දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ කළ ඇගේ මතභේදාත්මක පළමු කතාව ප්‍රතිරාවය කළ අතර, එහිදී ඇය "ආසියානුවන් විසින් රට මඩ වගුරක්" බවට පත් කිරීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීය.