වසරක් පසා අනුස්මරණය කිරීමෙන් පමණක් ඝාතනය වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුවෙයිද?

රිචර්ඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස්, තාරකී සිවරාම්, ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ගේ ඝාතන මෙරට ඉතිහාසයට එක්වු කළු පැල්ලම් ය. වින්දිත පවුල්වලට අඳුරු මතකයන් ය. 

ඔවුන්ගේ සුවිශේෂී සමාජ මෙහෙවර වෙනුවෙන් වසරක් පාසා අනුස්මරණ උත්සව පැවැත්වුණත්, එම කුරිරු ඝාතනවලට වගකිවයුත්තන්ට දඬුවම් ලැබෙන්නේ කවදා ද, වින්දිතයින්ට යුක්තිය ඉෂ්ට වන්නේ කවදාදැ යි යන්න සැමටම ඇති ප්‍රශ්නාර්ථයකි. 

එවන් පසුබිමක, ජනවාරි 18 වැනිදා කොළඹ දී අනුස්මරණ උත්සවයක් පැවැත්වුණේ, ඝාතනයට ලක්වූ, පැහැරගැනීමට ලක්වූ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන් සැමරීම සඳහා ය.

'අමතක නොකරමු' යන මැයෙන් උත්සවය සංවිධාන කර තිබුණේ 'අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ' සංවිධානය යි. 

හිටපු කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය මනූෂ නානායක්කාර, රවී කරුණානායක, සන්ධ්‍යා එක්නැළිගොඩ, ලාල් වික්‍රමතුංග, නිර්මලා අල්විස් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අනුස්මරණ උත්සවය පැවැත්විණි.

යුක්තිය ඉෂ්ටවන්නේ කවදා ද?

අයිතීන් ⁣උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ නියෝජ්‍ය සභාපති ජනුර් කිචිලාන් අවධාරණය කළේ, "හැම ඝාතනයක් පිටුපස්සෙම නායකයෙක් ඉන්නවා දේශපාලනයේ පැවතිච්ච රජයන්වල, නායකත්වය ගත්තු හැම කෙනෙක්ම දැනුවත්ව තමා මේ සියලු ඝාතන සිද්ධ වුණේ කියලා මම වගකීමෙන්, බය නැතිව කියනවා. මගේ පස්සෙනුත් එයි සමහර විට. ඒක ගැටලුවක් නැහැ," යනුවෙනි. 

"මරබිය කියන එක හැමෝටම දැනෙනවා. සමහරු හිතුවා වටේ හමුදාව, පොලිසිය හිටපුවාම මර බිය දැනෙන්නේ අපි අණ දීලා ගහන අයට විතර යි කියලා. නැහැ, මරබිය දැණුනා මේ අහිංසක මිනිස්සු ඝාතනය කරන්න අණ දීපු අයට. මැයි 9 නෙමෙයි, ජුනි 9 නෙමෙයි, ජූලි 9 වැනිදා. එක්කෙනෙක් මතුවුණේ මාලදිවයිනෙන්. අනිත් එක්කෙනා මතුවුණේ ත්‍රිකුණාමලයේ බංකරයකින්. හැමෝටම තියෙනවා මරබය, අපිටත් තියෙනවා. ඒක ඒ අයට දැණුනා. ස්වභාවධර්මයා විසින් දඬුවම් දෙනවා අධිකරණය නිහඬ නම්," ඔහු පැවසීය. 

ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස සලකා ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශන යළි ආරම්භ කරන ලෙස ය. 

අයිතීන් උදෙසා මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්, නීතිඥ දුලාන් දසනායක පැවසුවේ ඝාතනයට ලක්වූ කිසිදු මාධ්‍යවේදියෙකුට යුක්තිය ඉටුවී නොමැති බව ය.

මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදන්වීම්, පැහැරගැනීම් සහ පහරදීම් සම්බන්ධයෙන් කවදා හෝ ශ්‍රී ලංකාවේ යුක්තිය ඉටු නොවූබව ඔහු පෙන්වා දුන්නේ ය. 

යුක්තිය ප්‍රමාදවීම කියන්නේ යුක්තිය ප්‍රතික්ෂේපවීමක් කියන කාරණය ලංකාව ඔප්පුකර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. 

ඔහු පෙන්වා දුන්නේ මාධ්‍යවේදීන් පමණක් නොව සිවිල් ක්‍රියාකාරිකයින්, මානව හිමිකම් ආරක්ෂකයින්, සාමාන්‍ය ජනයා යන සියලු දෙනාටම යුක්තිය ඉටුවීම ප්‍රමාද වී ඇතිබව ය. ඒ නිසා යුකිතිය ප්‍රතික්ෂේප වී ඇති බව ය.

දේශීයව සහ විදේශීය වශයෙනුත් යුක්තිය ඉටුකිරීම සඳහා දැවැන්ත බලපෑමක් කර ඇති බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. 

අද වනතුරු කිසිම ආණ්ඩුවකින් එය ඉෂ්ටවී නොමැති බව ඔහු කියා සිටියේ ය.

මාධ්‍යවේදියෙකු ලෙස මෙම අනුස්මරණ උත්සවයට එක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර, "මේ ඝාතන පරීක්ෂණ හැම එකක්ම එක තැනකට ඇවිල්ලා නතරවුණා, හැම පරීක්ෂණයක්ම එක තැනකින් නතර වුණා. සමහර වෙලාවට හමුදාවේ පොත එළියට ගන්න ගියපු තැන්වලින් නතර වුණා. යම් යම් වාර්තා ගන්න තිබුණු තැන්වලින් නතරවුණා,"යි පෙන්වා දුන්නේ ය. 

"ප්‍රමාදවී හෝ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය යි.එතනින් මඟහැරීමට ඉඩක් නැහැ," අමාත්‍යවරයා පැවසීය. 

මාධ්‍යයේ වගකීම පිළිබඳ පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ, "භීතිකාවන් සහ වීරයෝ හැදුවේ මාධ්‍ය" බව යි. 

මාධ්‍ය නිදහස නොමැති රටක් තිබේ නම්, එම රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකි බව හිටපු කතානායක කරූ ජයසූරිය අවධාරණය කළේ ය. 

"අපට මතකයි මේ මාධ්‍යවේදීන් අමුඅමුවේ මරාදාපු විදිහ. මේක මේ විදිහට යට ගහන්න දෙන්න බැහැ," කරූ ජයසූරිය අවධාරණය කළේ ය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සභාපති ලාල් වික්‍රමතුංග කියා සිටියේ මෙවැනි දේ නැවත නොවිය යුතු බව ය. 

රටක් ලෙස වෙනත් රටවල් සමග එකඟතාවයෙන් කටයුතු කළ හැක්කේ, සාක්ෂි පවතින නඩු පිළිගත් අධිකරණයකින් සාධාරණ නඩු විභාගයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමෙන් පමණක් බව ද ඔහු සඳහන් කළේ ය. 

"වින්දිතයින් සිහිපත් කරන අතර අපාරාධ කරපු අයට දඬුවම් නොදුන්නොත් සමාජයේ ඉදිරියටත් මේවා වෙනවා කියන එක කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්."

"ලසන්තගේ නඩුව ගැන මට කියන්න පුළුවන්. උසාවියට 'බී' වාර්තාවකින් වාර්තාකරලා තියෙන විදිහට කවුද කරේ කියලා දන්වලා තියෙනවා. කරපු අයගෙන් දෙන්නෙක් පිටරට යැව්වා රජයෙන් පඩි ගෙවලා."

ඝාතනයට ලක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ වන නිර්මලා අල්විස්, "වගකිවයුත්තෝ මහ පුටුවල ඉඳලා රට මෙහෙයවන, රට කරවන ඉතාමත් ප්‍රබල මිනිස්සු තමා මේවට වගකියයුත්තෝ,"යි පැවසුවා ය.

"මෙහෙයවන්නේ කවුරුවත්, මරන්නෙ කවුරුවත්," ඇය පෙන්වා දුන්නා ය.

දේශීය යාන්ත්‍රණයකින් යුක්තිය අපේක්ෂා කළ හැකි ද? 

පැහැරගෙන ගොස් ඇතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මෙම මාධ්‍යවේදීන් සමාජයෙන් උදුරාගත්තේ ඇයිදැ යි විමසා සිටියා ය. 

"ඇයි මේ මාධ්‍යවේදීන් අපෙන් උදුරා ගන්නේ? ඒ අය රාජ්‍යයේ තියෙන අපරාධ ලෝකයට හෙළි කරලා, ඒ අපරාධ වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය වගකීම ඉටු කරලා. එලෙස තමන්ගේ වගකීම ඉටුකරපු මාධ්‍යවේදීන්ට රාජ්‍යය කළ යුත්තේ ඔවුන් සුරක්ෂිත කිරීම නොවේ ද? "

"කිසියම් හෝ නායකත්වයකට පත්වන දේශපාලන යාන්ත්‍රණයක් කිසිම කෙනෙකුට තමන්ගේ බලයට අභියෝග කරන්නට හෝ, තමන්ගේ හොරකම්වලට ඇඟිල්ල දිගු කරන්න බැරිවන විදිහට, මේ රටේ ජනතාව හොරකම් ගැන සත්‍ය දැන ගතයුතු නැහැ කියන අන්න ඒ හේතුව මත තමා මේ දේශපාලන යාන්ත්‍රණය විසින් - පඩි ලබන අවිගත් කණ්ඩායම් වෙන්න පුළුවන් - මේවා යොදාගෙන මේ මාධ්‍යවේදීන් නිහඬ කරන්නේ." 

"රාජ්‍යයක වගකීම තමා අපරාධ නඩු ගොනුකරලා දඬුවම් දෙන එක. ඇයි මේ මාධ්‍යවේදීන් වෙනුවෙන් ඇයි අපරාධ නඩු ගොනුවෙන්න නැත්තේ? ඒ අපරාධකරුවන් වෙන්නෙත් මේ රාජ්‍යයේ දේශපාලන බලය ඇති පිරිස් නිසා. ඒ අපරාධ මෙහෙයවන්නේ ඒ අය නිසා."

"සිහිපත් කිරීමෙන් විතරක් මේ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. එතනින් එහාට යා යුතු සමාජ වගකීමක් තියෙනවා."

"අධිකරණ යාන්ත්‍රණය ශක්තිමත් වෙන්න නම් අපි විසින්ම යුක්තිය හඹා යාහැකි යාන්ත්‍රණයක් හොයාගන්න ඕනේ. 

"මේ රටේ උතුරේ, දකුණේ වින්දිතයින් වන අපි දේශීය යාන්ත්‍රණවල් එක්ක ඇති වෙන්න හෙම්බත්වෙලා තියෙන්නේ. 

"ඒ අය යෝජනා කරන, ගේන්න යන සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට වින්දිතයින්ට පිළිගත හැකි අන්තර්ජාතික නිරීක්ෂණයක් පමණක් නොවෙයි, තීන්දු ගත හැකි අන්තර්ජාතිකව වගකිව හැකි පුද්ගලයින් සම්බන්ධ නොවනවා නම් මෙතෙක් තිබුණු යාන්ත්‍රණයන් සේම ඒ යාන්ත්‍රණයත් වින්දිතයින් රවටන්න හරි, අන්තර්ජාතික ප්‍රජාව රවටන්න හරි, දැනට තියෙන යාන්ත්‍රණයන් වගේම වෙයි," ඇය පෙන්වා දුන්නා ය.

භාෂණයේ නිදහසත් උල්ලංඝනය වෙලා ද?

නීතිඥ දුලාන් දසනායක වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මෙරට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස දැවැන්ත ලෙස උල්ලංඝනය වී ඇති බව ය. 

එම නිදහස සූක්ෂම ලෙස උල්ලංඝනය කරන නෛතික බාධා ගණනාවක් ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය. 

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තුන් වැනි වගන්තිය යටතේ එම නිදහස උල්ලංඝනය කර ඇති බව ඔහු පැවසීය. 

දැනට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අමරසිංහ එම පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට ඇති සීමා පරීක්ෂා කරන්නේ කෙසේදැ යි ඔහු ප්‍රශ්න ක⁣ළේ ය. 

ඔහු විමසා සිටියේ කෘතියක් රචනා කිරීම හේතුවෙන් ශක්තික සත්කුමාර් අත්අඩංගුවට ගැනීමේ දී කිසිම පරීක්ෂාවක් කළා ද යන්න පිළිබඳව ය. 

"මිනිසුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් දැනට දඬුවමක් විදිහට යි ක්‍රියාත්මක වෙන්නේ, සැකකරුවෙකු විදිහට නෙමේ. මහාධිකරණෙයන් තමා ඇප ගන්න ඕනේ," දුලාන් දසනායක පෙන්වා දුන්නේ ය. 

ICCPR පනතට එක්කළ යුතු එක්සත් ජාතීන්ගේසංවිධානය නිකුත් කර ඇති නිර්ණායකය හයක් පිළිබඳව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"බේරුවල, දර්ගා නගරය සහ මිනුවන්ගොඩ සම්බන්ධයෙන් ඇතැම් ප්‍රකාශවලින් ⁣වෛරය පැතිරීම් සිදුවුණා. කවුරුත් අත්අඩංගුවට ගත්තාද?"

නීතිය එකිනෙකාට වෙනස්කොට සැලකීම පිළිබඳ ද ඔහු ප්‍රශ්නකළේ ය.

"අයි.සී.සී.පී. ආර් පනත යටෙත් අත්අඩංගුවට ගන්න තිබ්බා. ගත්තද?

"අදාළ අණ පනත් මඟින් කර තිබෙන්නේ විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම. ශක්තික සත්කුමාර්ව අත්අඩංගුවට ගැනීමේ දී එහෙම හානි පරීක්ෂා කළාද?

එම නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති නීතිය පනතේ තුන් වන වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතුය බව ද දුලාන් දසනායක පැවසීය. 

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමාවෙමින් යනබව ද, මෙම පනත හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ප්‍රවෘත්ති සාකච්ඡාවකට හෝ සහභාගි නොවන බවද ඔහු පෙන්වා දුන්නේ ය.