ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ශ්‍රී ලංකා රේගුව මූලික අයිතිවාසිකම් කඩ කරලා': දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ පොත් නිදහස් කරන්න මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්‍රී ලංකා රේගුව විසින් දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති කිහිපයක් රඳවා ගනු ලැබීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.
ඒ අනුව, එම කෘති නිදහස් කරන ලෙස එම කොමිෂන් සභාව රේගුවට නියෝග කර ඇත.
මෙම ලේඛකයා විසින් රචිත කෘති 5ක පිටපත් 360ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ අතර, එලෙස ගෙන ඒමේදී එම පිටපත් පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රේගුව සිය භාරයට ගත්තේ ය.
රඳවා ගත් ග්‍රන්ථ මොනවා ද?
පසුව ශ්‍රී ලංකා කලා මණ්ඩලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය සහ, ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව, මෙම කෘතිවලින් දෙකක් හැර, රඳවා ගෙන ඇති කෘති තොගයේ ඇති අනෙකුත් කෘති නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත්තේ ය.
එම නිර්දේශ මත පදනම්ව, 'එලුත්තල් යුද්ධම් සෙයිගරේන්' සහ 'ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්' යන කෘති දෙකේ රේගු ආඥා පනතේ (235 වන පරිච්ඡේදය) B උපලේඛනය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන්ට තුඩු දෙන කරුණු අඩංගු බව සොයාගෙන ඇති බැවින් ඒවා නිදහස් කළ නොහැකි යැයි ශ්‍රී ලංකා රේගුව මීට පෙර නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, එසේ කෘති දෙකක් රඳවා ගැනීම හරහා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින් එරෙහිව ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කළ අතර එම පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව රඳවා ගෙන ඇති කෘති නිදහස් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නියෝග කර ඇත.
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආරක්ෂ අමාත්‍යංශ ලේකම්වරයා සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
'රාජ්‍ය ආයතන කිහිපය පූර්ව විනිශ්චයකින් හා සැකයෙන් යුතුව කටයුතු කළ බව පැහැදිලි යි'
මෙම සිදුවීම් සිදු වූ අනුපිළිවෙල සහ වගඋත්තරකරුවන් විසින් සපයන ලද පැහැදිලි කිරීම් හරහා පැමිණිලිකරුගේ පොත් රඳවා තබා ගැනීමට ඒවායේ භාෂාව වන දෙමළ භාෂාව තීරණාත්මක වූ බව පෙනී යන බවත් කොමිසම ඒ පිලිබඳ දැඩි සැලකිල්ලෙන් සිටින බව කොමිසම පවසයි.
"මෙම පොත් සොයාගත් රාජ්‍ය ආයතන කිහිපය ඒවා සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයකින් හා සැකයෙන් යුතුව කටයුතු කළ බව පැහැදිලි වන අතර, වෙනත් භාෂාවක පොත් සම්බන්ධයෙන් එලෙස ම කටයුතු නොකිරීමට ඉඩ තිබිණි. මෙම පූර්ව විනිශ්චය සහ සැකය ක්‍රියා කරන්නේ බෙදුම්වාදය නැවත මතුවීම සම්බන්ධයෙන් රාජ්‍යය තුළ ගැඹුරින් කා වැදී ඇති භීතිකාවන් මගින් ය," එම කොමිසමේ නිවේදනයේ සඳහන් වේ.
යමක සන්දර්භය සහ සියුම් වෙනස්කම් තේරුම් ගැනීම සඳහා රාජ්‍ය ආයතන තුළ ප්‍රමාණවත් මට්ටමක දෙමළ භාෂා නිපුණතාවක් ඇති බව සහතික කිරීමට සමස්තයක් ලෙස රාජ්‍ය අසමත් වී තිබීම ද මේ තත්ත්වය ඇති කිරීමට දායක වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පෙන්වා දී තිබේ.
තව ද, අදාළ පොත් දෙක මාස හයකට වැඩි කාලයක් රඳවා තබාගෙන ඇති බවත්, ඒ කාලය තුළ ඒවායේ අඩංගු ඕනෑ ම කරුණක් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන්ට හේතු විය හැකි දැයි යන්න තීරණය කිරීමට විධිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කර නොමැති බවත් කොමිසම නිකුත් කරන ලද නිර්දේශ වාර්තාවේ සඳහන් වේ.
නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ නීතියේ සමාන ආරක්ෂාව
මෙම තත්ත්වය තුළ පළමු වගඋත්තරකරු විසින් පැමිණිලිකරුගේ අනෙකුත් මූලික අයිතිවාසිකම් කිහිපයක් ද උල්ලංඝනය කර ඇති බව නිගමනය කරන මානව හිමිකම් කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් "සියලු ම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත," යැයි සඳහන් කරන බවත්, 12(2) වගන්තියෙන් "කිසි ම පුරවැසියෙක් භාෂාව පදනම් කරගෙන වෙනස්කමකට භාජනය නො විය යුතු," බව ද සඳහන් කරන බවත් අවධාරණය කරයි.
ඒ අනුව, පළමු වගඋත්තරකරු විසින් පැමිණිලිකරුගේ 'ඉප්පෝතුම් ඉන්ගේ ඉරන්ඩු තෙසන්ගල්තාන්' සහ 'එල්ලුත්තාල් නාන් යුත්තම් සෙයිකිරේන්' යන පොත් දෙක විධිමත් විමර්ශන ක්‍රියාවලියකින් තොරව අඛණ්ඩව රඳවා තබා ගැනීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානාත්මතාවයට ඇති අයිතිය සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය උල්ලංඝණය කර ඇති බව කොමිසම නිගමනය කර තිබේ.
භාෂාව පදනම් කරගෙන වෙනස්කමකට ලක් නොවීමේ අයිතිය
පැමිණිලිකරුගේ "ඉප්පෝතුම් ඉන්ගේ ඉරන්ඩු තෙසන්ගල්තාන්" සහ "එල්ලුත්තාල් නාන් යුත්තම් සෙයිකිරේන්" යන පොත් දෙක අඛණ්ඩව රඳවා තබා ගැනීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තිය මගින් සහතික කර ඇති භාෂාව පදනම් කරගෙන වෙනස්කමකට ලක් නොවීමේ අයිතිය ද උල්ලංඝනය කර ඇත," යැයි කොමිසම සඳහන් කරයි.
පැමිණිලිකරුගේ එම කෘති දෙක අඛණ්ඩව රඳවා තබාගැනීම තුළින්, තමන්ගේ සංස්කෘතිය භුක්ති විඳීමට සහ ප්‍රවර්ධනය කිරීමට සහ තමන්ගේ භාෂාව භාවිත කිරීමට ඇති ඇති මූලික අයිතිය පළමු වගඋත්තරකරු විසින් උල්ලංඝණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිගමනය වී තිබේ.
භාෂාමය සුළුතරයට ඇති ආරක්ෂාව
එමෙන් ම, ශ්‍රී ලංකාව අත්සන් කර ඇති සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 27 වන වගන්තිය හරහා සුළුතර ප්‍රජාවට ලබා දී ඇති අයිතිවාසිකම් ගැන ද කොමිෂන් සභාව විසින් පෙන්වා දී ඇත.
"වාර්ගික, ආගමික හෝ භාෂාමය සුළුතර (ප්‍රජාවන්) සිටින රාජ්‍යයන්හි, ඔවුන්ගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමග එකතුව තමන්ගේ සංස්කෘතිය භුක්ති විඳීමට, තමන්ගේ ආගම ප්‍රකාශ කිරීමට සහ පිළිපැදීමට, හෝ තමන්ගේ භාෂාව භාවිත කිරීමට එවැනි සුළුතරයන්ට අයත් පුද්ගලයින්ට ඇති අයිතිය ප්‍රතික්ෂේප නොකළ යුතු ය," යැයි නිර්දේශ ඇතුළත් වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතා කරන ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(f) වගන්තිය සහ ICCPRහි 27 වැනි වගන්තිය යන දෙකෙහි ම ආරක්ෂාව භුක්ති විඳින භාෂාමය සුළුතරයක් බවට සැකයක් නොමැති බව යි.
'රඳවා ගෙන ඇති කෘති වහා ම නිදහස් කරන්න'
ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති රඳවා ගැනීම හරහා මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කර ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ අනුව, නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a), 12(1), 12(2) සහ 14(1)(f) වගන්ති මගින් සහතික කර ඇති පැමිණිලිකරුගේ මූලික අයිතිවාසිකම් වන ප්‍රකාශනයේ නිදහස, සමානාත්මතාවට සහ වෙනස්කමකට භාජනය නොවීමේ අයිතිය, තමාගේ සංස්කෘතිය භුක්ති විඳීමට සහ ප්‍රවර්ධනය කිරීමට සහ තමාගේම භාෂාව භාවිත කිරීමට ඇති නිදහස පළමු වගඋත්තරකරු උල්ලංඝණය කර ඇති බව කොමිසම අවධාරණය කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් පනතේ 15(3)(c) සහ (4) වගන්ති අනුව, කොමිසම නිර්දේශ කළේ, පැමිණිලිකරු විසින් රචිත 'ඉප්පෝතුම් ඉන්ගේ ඉරන්ඩු තෙසන්ගල්තාන්' සහ 'එල්ලුත්තාල් නාන් යුත්තම් සෙයිකිරේන්' යන පොත් දෙකෙහි සියලු ම පිටපත් පළමු වගඋත්තරකරුට වහා ම නිදහස් කරන ලෙස යි.
මෙම නිර්දේශය ලැබීමෙන් අනතුරුව, 2026 දෙසැම්බර් මස 2 වන දින හෝ ඊට පෙර මෙම නිර්දේශවලට අනුකූලව ක්‍රියා කිරීම පිළිබඳ වාර්තාවක් කොමිසම වෙත යොමු කරන ලෙස එම නියෝගවල වැඩිදුරටත් දැක්වේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය නිර්දේශ ඇතුළත් වාර්තාවේ පිටපත්, මුදල් අමාත්‍යවරයා වෙත, ආරක්ෂක අමාත්‍යවරයා වෙත සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත ද යොමු කර ඇත.