බැඳුම්කර ගනුදෙනුවලට වසර 10යි: අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට රැගෙන ආ හැකි ද?

2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එම වසරේ පෙබරවාරි මස 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර වෙන්දේසියක් පවත්වන ලදී.

එම වෙන්දේසියේදී එවක මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් අදාළ බැඳුම්කර තොගය මිලදී ගන්නා ලදී.

රුපියල් බිලියන 10 ක පමණ වටිනාකමකින් යුත් බැඳුම්කර ප්‍රමාණයක් අදාළ සමාගම විසින් මිලදී ගැනීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවට විවිධ පාර්ශව චෝදනා නඟා තිබිණි.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් බෑණාට වෙන්දේසියේදී ඉදිරිපත් වන මිල ගණන් පිළිබඳ රහස්‍ය තොරතුරු කලින් ලබාදීම නිසා එම බැඳුම්කර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මිලදී ගැනීමට හැකිවූ බවටත් චෝදනා එල්ල වී තිබිණි.

පසුව මේ පිළිබඳව සොයා බැලීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරනු ලැබීය.

එම කොමිෂන් සභාව විසින් පවත්වන ලද විමර්ශනවලදී යහපාලන රජය සමයේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර මිලදී ගැනීමේ සිද්ධි තුනක් පිළිබඳව කරුණු වාර්තා කර තිබිණි.

එම කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අන්තර්ගත කරුණු සහ සෙසු විමර්ශන දත්ත උපයෝගී කරගනිමින් මේ වන විට අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබේ.

එම නඩුවල වත්මන් තත්ත්වය පිළිබඳව කළ සොයා බැලීමක් මේ.

පළමු බැඳුම්කර ගනුදෙනුව

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහා බැංකුව පවත්වන ලද රුපියල් බිලියන 10.058 ක් වටිනා බැඳුම්කර වෙන්දේසිය තුළින් රජයට රුපියල් මිලියන 688.76 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පවරනු ලැබීය.

යහපාලන රජයේ අවසන් කාලසීමාවේ මෙම නඩුව පවරනු ලැබූ අතර එහි විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් , ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ලේ, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරන ලදී.

පොදු දේපළ පනත සහ විනිමය හා සුරැකුම් පනත යටතේ විත්තිකරුවන්ට චෝදනා එල්ල කරනු අතර එහි සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 115 දෙනෙකු නම් කෙරුණි.

ඊට අමතරව ලේඛන ලක්ෂ 10ක් පමණ නඩුව සමග සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුවේ විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාර දෙනු ලැබුව ද අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්ධිය පුංචි හේවා යන විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය පැවැත්වීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර තිබිණි.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට පලා ගොස් ඇති බවත් අජාන් ගාර්දිය පුංචිහේවා නමැති විත්තිකරු මැලේසියාවට ගොස් තිබෙන බව ත් නඩු විභාගයේදී අනාවරණය විය.

මෙම නඩු විභාගය ආරම්භ වීමෙන් පසුව අර්ජූන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් මෙම අධි චෝදනා පත්‍රය විභාග කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවට තර්ක කළහ.

පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව ඔවුන් එම චෝදනා වලින් නිදහස් කරන ලෙසත් විත්තියේ නීතිඥවරු සිය මූලික විරෝධතා වලින් කරුණු දක්වා සිටියහ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගන්නා බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කරන ලදි.

එහෙත් මෙම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා පෙත්සම් මේ වන විටත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

ආන්දෝලනාත්මක දෙවන බැඳුම්කර සිද්ධිය...

2016 වසරේ මාර්තු මස 29 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 35 කට ආසන්න බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ නඩුවක් ගොනු කළේය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවි කරුණානායක කරණනායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු දස දෙනෙකු නම් කර තිබිණි.

නඩුවේ විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව අදාළ චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් විත්තිය විසින් මූලික විරෝධතා මතු කරන ලදී.

විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔවුන් ඉන් නිදහස් කරන ලෙසත් එම මූලික විරෝධතාවලින් ඉල්ලා තිබිණි.

එම මූලික විරෝධතා පිළිබඳ විභාගයක් පැවැත් වූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කළේය.

එම තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ නීතිපතිවරයා ඊට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර සිටියේ ය.

එම අභියාචනා පිළිබඳ විභාගය මේ වන විටත් සිදුවෙමින් පවතී.

ආන්දෝලනාත්මක තුන්වන බැඳුම්කර ගනුදෙනුව

2016 වසරේ මාර්තු මස 31 වන දා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් බැඳුම්කර වෙන්දේසියක් සිදු කිරීමේදී රුපියල් බිලියන 15 කට ආසන්න බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී ම නීතිපතිවරයා විසින් තවත් නඩුවක් ගොනු කරන ලදී.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු නව දෙනෙකු එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කරනු ලැබිණි.

අදාළ නඩුවේ විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එම චෝදනා පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරු මූලික විරෝධතා මතු කළහ.

එම මූලික විරෝධතා වලින් ද සඳහන් කර තිබුණේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති චෝදනා පවරා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති හෙයින් ඔවුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස යි.

දීර්ඝ කරුණු දැක්වීම් වලින් අනතුරුව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පොදු දේපළ පනත යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දු කළහ.

ඉන් අනතුරුව නීතිපතිවරයා මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කළ අතර එය මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

රවී කරුණනායකට එරෙහි බැඳුම්කර චෝදනා අහෝසි කිරීම

2016 වසරේ මාර්තු මස 29 වැනිදා සහ 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 50 කට ආසන්න බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යයි චෝදනා කරමින් තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව ත් ඒ අනුව එම තීරණය බල රහිත කරන ලෙසත් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය රවී කරුණානායකට එරෙහිව අදාළ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව තීන්දු කළේය.

ඒ අනුව නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක්ද නිකුත් කරන ලදී.

රවී කරුණානායකට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.

එම ඇපෑල මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසීමට ලක්වෙමින් පවතී.

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි ද?

මහ බැංකු බැඳුම්කර නඩුවල සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නා බව ජාතික ජනබලවේගය පසුගිය මැතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවල දී ප්‍රකාශ කර සිටියේ ය.

එහෙත් සිංගප්පුරු ජාතිකයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් උදර්පණ නීතිය අනුව මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් මේවන විට උද්ගත වී තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වන්නේ කවදා ද?

මෙහිදී බීබීසී සිංහල, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී විමසා සිටියේ, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, බැඳුම්කර වංචාව සම්බන්ධ පරීක්ෂණ නව අදියරකට ගෙනවිත් ඇති බව ය.

"ඔහු සිංගප්පුරු පුරවැසියෙක්. ඔහු සම්බන්ධයෙන් වෙන ම නීතියක් යටතේ කටයුතු කරන්න වෙන්නේ"

බීබීසීය අමාත්‍යවරයාගෙන් නැවත විමසා සිටියේ, ඔහු මෙරටට රැගෙන ඒමට හැකි ද යන්න පිළිබඳව ය.

"අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නීතියේ තියෙන කාරණයක්." ඔහූ පැවසීය.