රොක් සංගීතයේ 'prince of darkness' ඔසී ඔස්බෝන්ගේ ආන්දෝලනාත්මක ජීවිතය

වයස අවුරුදු 76දී සිය දිවි සැරිය නිමා කළ ඔසී ඔස්බෝන් 'හෙවි මෙටල්' ලෙස ප්‍රසිද්ධියට පත් සංගීත ශානරය නිර්මාණයට දායක වූවා පමණක් නොව ආන්දෝලනාත්මක රොක් තරුවක් වීමේ ප්‍රතිරූපය බවට ද පත්විය.

ඔසීගේ සංගීත කණ්ඩායම වන 'බ්ලැක් සැබත්', හෙවි මෙටල් සංගීතයේ පුරෝගාමියා වෙමින් සංගීතයේ නොමැකෙන සලකුණක් තැබූ අතර ඔවුන් අනුගමනය කළ සෙසු කලාකරුවන් රැසකට මග කියූ කණ්ඩායමක් ලෙස ප්‍රශංසාවට ද පාත්‍ර විය.

තීව්‍ර ගායන විලාසය සහ "prince of darkness" යන කීර්ති නාමය සමගින්, ඔසී සිය සංගීත කණ්ඩායම ගෝලීය ජනප්‍රියත්වයේ හිනි පෙත්තට ම ගෙන යාමට නායකත්වය දුන් නමුත් පසුව මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර භාවිතය උග්‍ර වීම හේතුවෙන් ඔහු කණ්ඩායමෙන් ඉවත් කෙරිණි.

එසේ වුව ද සංගීත කණ්ඩායම සමග නැවත එක්වීමට පෙර ඔහු සාර්ථක කේවළ ගායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ගොඩනගා ගත් අතර තම අක්‍රමවත් ගෘහස්ථ ජීවිතය ප්‍රදර්ශනය කළ ජනප්‍රිය රූපවාහිනී රියැලිටි වැඩසටහනක තරුවක් බවට ද පත්විය.

ඔහු 1948 දෙසැම්බර් 3 වන දින බර්මින්හැම්හි ඇස්ටන් ප්‍රදේශයේ ජෝන් මයිකල් ඔස්බෝන් ලෙස උපත ලැබීය. ඔහුගේ පියා ජැක් මෙවලම් සාදන්නෙකු වූ අතර, මව ලිලියන් මෝටර් රථ උපාංග සාදන ලූකස් කර්මාන්ත ශාලාවේ සේවය කළා ය.

ප්‍රාථමික පාසලේදී ඔසී යන අන්වර්ථ නාමය ඔහුට පට බැඳුණු අතර එය ඔහුගේ ජීවිතය පුරා ම රැඳිණි.

අන්වර්ථ නාමය ලබා දීම හැරුණු විට, කුඩා ඔස්බෝන්ට පාසල අමිහිරි අත්දැකීමක් විය. ඔහු ඩිස්ලෙක්සියා රෝගයෙන් පෙළුණු අතර දැන් එය අවධානය අඩුවීමේ සහ ක්‍රියාකාරීත්වය අධික වීමේ ආබාධය (ADHD) ලෙස හඳුන්වනු ලැබේ.

ඔහු වයස අවුරුදු 15දී පාසලෙන් ඉවත් වූ අතර ගව ඝාතකාගාරයක යම් කාලයක් වැඩ කිරීම ඇතුළුව, දියුණුවක් අත් කර ගත නොහැකි රැකියා ගණනාවක ම නිරත විය. ගව ඝාතකාගාරයේ රැකියාවේ නිරත වූ කාලය පබ්වලදී බීර වීදුරුවලට ගවයින්ගේ ඇස් දමා පිළිගැන්වීම වැනි ඉතා අප්‍රසන්න විහිළු කිරීමට ඔහුට මග විවර කළේ ය.

ඔහු අපරාධ කිරීමට පවා යොමු වූ අතර එමගින් ද ඔහුට සාර්ථක වීමට නොහැකි විය. වරක් නිවසක් බිඳීමට ගොස් රූපවාහිනියක් ඔහු මතට වැටී අකරතැබ්බයකට මුහුණ පෑ අතර ඇඳුම් සාප්පුවක් කොල්ලකා බර්මින්හැම්හි වින්ස්ටන් ග්‍රීන් බන්ධනාගාරයේ සති හයක් ගත කළේ ය.

නැවත එක් වීම

ඔහුගේ ගැලවුම්කරු වූයේ සංගීතයයි: පැරණි රේඩියෝවකින් කඩින් කඩ ඇසුණු බීට්ල්ස් සංගීත කාණ්ඩායමේ 'She Loves You' ගීතය ඔසීගේ ජීවිතය වෙනත් මානයකට ගෙන ගියේ ය.

"ඒක සතුටේ සහ බලාපොරොත්තුවේ ඇදහිය නොහැකි පුපුරා යාමක්," ඔහු පසු කලෙක ලේඛක බ්‍රයන් ඇප්ලියාඩ් වෙත පැවසීය. "මම සිහින මැව්වා - පෝල් මැකාර්ට්නි මගේ සහෝදරියව විවාහ කර ගත්තා නම් හොඳ නැද්ද?"

ඔහු තම පියා මයික්‍රෆෝනයක් සහ ඇම්ප්ලිෆයරයක් මිල දී ගැනීමට පොළඹවා ගත් අතර, මිතුරෙකු වන ටෙරී 'ගීසර්' බට්ලර් සමග එක්ව, 'Rare Breed' නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේ ය. එය පැවතියේ ප්‍රසංග දෙකක් දක්වා පමණි.

මෙම යුගලය ගිටාර් වාදක ටෝනි අයෝමි සහ ඩ්‍රම්ස් වාදක බිල් වෝඩ් සමගින් පසුව Earth ලෙස පසුව නම් කරන ලද Polka Tulk Blues නම් බ්ලූස් සංගීත කණ්ඩායමක කොටසක් බවට පත් වූහ.

ඔවුන් විසින් හඳුන්වනු ලබන පරිදි "scary music" නිර්මාණය කිරීමට අදහස් කළ මෙම සංගීත කණ්ඩායම පුහුණුවීම්වලට නිරත වූයේ සිනමා ශාලාවක් ඉදිරිපිට තිබුණු කාමරයක ය. ඒ, 1963 ත්‍රාසජනක චිත්‍රපටයක් වූ "Black Sabbath" තිරගත වූ සිනමා ශාලාව ඉදිරිපිට ය. එය සංගීත කණ්ඩායමේ නමට උපත ලබා දුන් අතර සිය පළමු ජනප්‍රිය ගීතය නිර්මාණය කිරීමට ද පසුබිම සැකසුවේ ය.

"මම ඒ වගේ සංගීතයක් නිර්මාණය කළේ නැහැ," ඔසි පසුව සිහිපත් කළේ ය. "මම ඒ ගීතය, 'බ්ලැක් සැබත්' දිහා ආපහු හැරිලා බලනකොට, මට හිතෙනවා, මට ඒ වගේ තනුවක් ගැන හිතන්න පටන් ගත්තේ කොහොම ද කියලා?"

විශිෂ්ට නිර්මාණයක්

ඔස්බෝන් සහ බට්ලර් විසින් රචනා කරන ලද මෙම ගීතය, 1970දී එළිදැක්වුණු සිය මංගල ඇල්බමයේ ආරම්භක ගීතය වූ අතර, සංගීත විචාරකයින්ගේ දැඩි විවේචන මධ්‍යයේ වුව ද, එය එක්සත් රාජධානියේ ගීත දර්ශකවල අටවන ස්ථානයටත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ 23 වන ස්ථානයටත් පත්විය.

Paranoid, Master of Reality සහ Volume 4 ඇතුළු වැඩියෙන් ම අලෙවි වූ ඇල්බම මාලාවක් සමගින් ඔවුහු තවදුරටත් සාර්ථකත්වයට පත් වූහ. ඒ සෑම ඇල්බමයක ම පිටපත් මිලියනයකට වඩා අලෙවි විය.

1973දී සංගීත කණ්ඩායම 'Sabbath Bloody Sabbath' නිකුත් කරන විට, විචාරකයින් පවා ඔවුන් ප්‍රශංසා කිරීම අරඹා තිබිණි.

එක් විචාරකයෙකු එය "විශිෂ්ට සංගීත කෘතියක්" ලෙස විස්තර කළ අතර, සංගීත කණ්ඩායමේ හැකියාවන් තව තවත් දියුණු වී ඇතැයි තමා සිතන බව පැවසීය.

1975 'Sabotage' ඇල්බමය ද විචාරක පැසසුමට ලක් වූ නමුත් මේ කාලය වන විට සංගීත කණ්ඩායම කඩා වැටීම ඇරඹී තිබූ අතර 'බ්ලැක් සැබත්' තම සාර්ථකත්වය අහිමි කර ගනිමින් සිටියේ ය.

ඔස්බෝන් ඒ වන විටත් ඔහුගේ ජීවිතය ආධිපත්‍යය දැරූ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම අරඹා තිබිණි. ඔහු විශ්වාසයක් තැබිය නොහැකි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර එය 'බ්ලැක් සැබත්' සෙසු සාමාජිකයින්ගේ සිත් තැවුලට හේතු විය.

ඔහුගේ ඇබ්බැහිවීම්, ප්‍රේම සම්බන්ධතා සහ නිරන්තර සංචාර බිරිඳ තෙල්මා සහ ඔවුන්ගේ දරු දෙදෙනා සමග පැවති සම්බන්ධතාව ද අනතුරේ හෙළමින් පවුල් ජීවිතය ද පීඩාකාරී බවට පත් කළේ ය. පසුව මෙම යුවළ වෙන් වූහ.

අසාධාරණය

ඔස්බෝන් සැමවිට ම සංගීත කණ්ඩායමේ විකටයා ලෙස හැසිරෙමින් ඔහුගේ ගැටලු වසාගෙන සිටිය ද, ඒ වන විටත් ඔහුගේ එම හැසිරීම 'සැබත්' සංගීත කණ්ඩායමේ දියුණුවට බරපතළ ලෙස බාධා කරමින් සිටියේ ය.

අයෝමි සමග ඔහුගේ සම්බන්ධතාව කිසි දා සුමට නොවූ අතර, මෙම ගිටාර් වාදකයා සංගීත කණ්ඩායම පාලනය කිරීමට උත්සහ කරන බවට ඔහු තුළ වූ සිතුවිල්ල ඔසී ඔහු සමග අමනාපයකට තුඩු දුන්නේ ය.

1978දී ඔහු Blizzard of Ozz නම් ඒක පුද්ගල ව්‍යාපෘතියක් සඳහා මාස තුනක් වැඩ කළ නමුත්, Never Say Die ඇල්බමය පටිගත කිරීම සඳහා ඔහු සැබත් වෙත නැවත පැමිණියේ ය.

අසාර්ථක සංචාරයකින් පසු, ඔස්බෝන් ඔහුගේ අනිසි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සැබත්හි අනෙකුත් සාමාජිකයින් විසින් කණ්ඩායමෙන් නෙරපා හරින ලද අතර, ඔහු වෙනුවට රොනී ජේම්ස් ඩියෝ කණ්ඩායමට බඳවා ගැනිණි.

පසුව ඔස්බෝන් කියා සිටියේ තමා කණ්ඩායමෙන් නෙරපීම අසාධාරණ බවත්, "අපි හැමෝම එක හා සමානව නරක" බව ත් ය.

ගැටලුව වූයේ මුළු සංගීත කණ්ඩායම ම භාවිත කළ විවිධාකාරයේ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍යවල බලපෑම හසුරුවා ගැනීමට තරම් ඔසී දක්ෂ නොවීම ය.

ඔහු බ්ලැක් සැබත්හි කළමනාකරු ඩොන් ආර්ඩන්ගේ දියණිය වන ෂැරන් ආර්ඩන්ගේ සහය ඇතිව ඔහුගේ 'Blizzard of Ozz' ව්‍යාපෘතියට නැවත පණ දුන්නේ ය. මෙම යුවළ පසුව විවාහ වී දරුවන් තිදෙනෙකු බිහි කළහ. ඔවුන් පිළිවෙලින් ඒමී, කෙලී සහ ජැක් නම් වූහ.

ඇය ඔහුට බීමත්කම සහ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට උපකාර කිරීමට ද උත්සහ කළා ය. ඔහු තම ඇබ්බැහිවීම්වලින් මිදුණු බවක් පෙනෙන්නට තිබූ කාල පරිච්ඡේද තිබුණු නමුත් ඔහු නැවත නැවතත් ඒවා භාවිත කිරීමට පෙළඹිණි.

Bark at the Moon

"ෂැරොන් නොසිටියා නම්, මම මැරිලා ගොඩක් කල්" ඔහු පසු කලෙක ඇප්ලියාඩ් වෙත පැවසීය.

මතභේද කිසි දා අවසන් නොවිණි. වඩාත් ම කුප්‍රකට සිදුවීම වූයේ 1982දී අයෝවාහි වේදිකාව මතදී ජීවමාන වවුලෙකුගේ හිස සපා කෑමයි. ඔහු මෙම සංචාරයේදී ප්‍රේක්ෂකයින් වෙත අමු මස් විසි කරමින් සිටි අතර, එමගින් රසිකයන් පෙරළා වේදිකාවට දේවල් විසි කිරීමට පෙළඹිණි. ඔහු කියා සිටියේ, වවුලාව සපා කෑමට පෙර එය ව්‍යාජ එකක් යැයි සිතූ බව ය.

නමුත් වසරකට පෙර ගීත නිෂ්පාදන සමාගමක් සමග පැවති හමුවකදී සපා කෑ පරෙවියන් දෙදෙනාගේ හිස් සම්බන්ධයෙන් ඔහු එම නිදහසට කරුණ ම භාවිත කිරීමට උත්සහ නොකළේ ය.

ඔහුගේ අනෙකුත් පිළිකුල්සහගත සහ කම්පනසහගත හැසිරීම් අතරට ෂැරොන්ගේ ඇඳුමක් ඇඳ ටෙක්සාස්හි ඇලමෝ යුද්ධ ස්මාරකය මත මුත්‍රා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම; ජර්මානු සංචාරයක් අතරතුර සංචාරයක යෙදී සිටියදී බීමතින් හා අශෝභන ලෙස හැසිරීම නිසා ඩැකාවු සිර කඳවුරෙන් එළියට දැමීම; මත්ද්‍රව්‍ය භාවිත කර සිටියදී බ්ලැක් සැබත්හි ඩ්‍රම්ස් වාදකයා දෙසට ගිනි අවියක් දිගු කිරීම; මංතීරු 12ක අධිවේගී මාර්ගයේ මධ්‍යයේ සිහි නැතිව සිට පසුව අවදි වීම; සහ නාන කබායක් සහ රබර් සපත්තු පැළඳ ඔහුගේ කුකුළු කූඩුවේ සිටි කුකුළන් තුවක්කුවක්, කඩුවක් සහ පෙට්‍රල් යොදා ගෙන සමූලඝාතනය කිරීම ඇතුළත් විය.

ඒ සියල්ල ඔසී තවත් ප්‍රසිද්ධියට පත් කළ නමුත්සත්‍යවශයෙන් මඔහුගේ හැසිරීම් බොහොමයක් එතරම් ප්‍රසන්න හෝ ආකර්ෂණීය නොවීය. ඔහු විනාශකාරී පුද්ගලයෙක් වූ අතර, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය ඔහුට ජෙකල් සහ හයිඩ් පෞරුෂයක් ලබා දුන්නේ ය.

1989දී, ඔහු සිර මැදිරියකදී අවදි වූ අතර එහිදී ඔහුට පැවසූවේ, ෂැරොන්ගේ ගෙළ සිර කිරීම සම්බන්ධයෙන් මිනීමැරීමට තැත් කිරීමේ සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ය. ඔහුට ඒ ගැන කිසිවක් මතක නොතිබිණි. පසුව ඇය චෝදනා ඉවත් කර ගත්තා ය.

මේ අතර, ඔහුගේ පළමු ඒක පුද්ගල ඇල්බමය අතිශය සාර්ථක වූ අතර ඉන් පසු නිකුත් වුණු Diary of a Madman සහ Bark at the Moon ද වැඩියෙන් ම අලෙවි වූ ඇල්බම අතර විය.

ඔහු 1980 සහ 90 දශක පුරා පුළුල් ලෙස සංචාරවල යෙදුණු අතර, සියලු ම මෙටල් ශානරවලට අයත් සංගීත කණ්ඩායම් සහභාගී වූ ප්‍රධාන වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාර මාලාවක් වන Ozzfest වෙතින් දැවැන්ත වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත්තේ ය.

ඔස්බෝන් බොහෝ සංගීත සංදර්ශනවල ප්‍රධානියා බවට පත් වූ අතර ඇතැම් අවස්ථාවලදී ඔහුගේ බ්ලැක් සැබත් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් පවා ඔහුට වේදිකාවේදී හමුවිය.

ඉන්පසු 2002දී, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් නව ආකාරයකින් ප්‍රසිද්ධියට පත් වූයේ අහඹුවකින් මෙන් අසැබි වදන්වලින් පිරුණු (නමුත් ආදරණිය) අවුල්සහගත ගෘහ ජීවිතය රියැලිටි වැඩසටහනක් ඔස්සේ හෙළිදරව් වීමත් සමග ය.

බාධක මැදින් ඉදිරියට

ඔස්බෝන් භාවිත කළ අසභ්‍ය වචන ඉවත් කරන ලෙස එක්සත් ජනපද විකාශකයන් දැඩි වාරණයක් පනවා තිබුණ ද, එය දැවැන්ත සාර්ථකත්වයක් ලැබීය. නමුත් වැඩසටහන එක්සත් රාජධානියේ විකාශය වන විට ඒවා ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නොවිණි.

ඒ සමග ම, ඔස්බෝන් පටිගත කිරීම් අඛණ්ඩව කරගෙන ගියේ ය. නමුත් 2003දී ඔහුට විවේකයක් ගැනීමට සිදු වූයේ, ඔහු ක්වොඩ් බයික් එකකින් වැටී බරපතළ තුවාල ලැබීමත් සමග ය.

ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී, ඔහුගේ දියණිය කෙලී සමග යුගල ගීයක් ලෙස ගායනා කළ 'බ්ලැක් සැබත්' කණ්ඩායමේ 'Changes' ගීතය ඔහු පළමු වරට එක්සත් රාජධානියේ කේවල ගීත දර්ශකවල ඉහළට ම ගෙන ගියේ ය.

'බ්ලැක් සැබත්' 2005දී නැවත එක් වූ අතර, පසු වසරවලදී ඩ්‍රම්ස් වාදක බිල් වෝඩ් එහි නොමැති විය. එමෙන් ම 2013 වසරේදී එක්සත් රාජධානියේ ගීත ඇල්බම දර්ශකවල අංක එකට ඔවුන් නැවත පැමිණියේ Paranoid අංක එකට පැමිණ වසර 43කට පසුව ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ලැබුණු සංචාරයේදී අලුත් ජවසම්පන්න වූ ඔසී කෙනෙකු නිරීක්ෂණය විය: ඔහු සෑම වචනයක් ම පැහැදිලිව සහ සෑම ස්වරයක් ම නිවැරදිව ගැයුවේ පැරණි සංගීත කණ්ඩායම වේදිකාවේ මතු කරමින් එහි පෙරමුණ ගනිමිනි.

2018දී, ඔහු මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය අත්හැර දැමූ බවත්, ඔහුගේසංචරණ ජීවන රටාව පාලනය කරන බව ත් කියා සිටියේ ය.

"මට දැන් මුණුබුරන් ඉන්නවා, මට වයස අවුරුදු 70ක්, කොහේ හරි හෝටල් කාමරයක මැරිලා ඉන්නවා දකින්න මම කැමති නැහැ," ඔහු එම වසරේ Ozzfest ප්‍රවර්ධනය කරමින් මාධ්‍යවේදියෙකු වෙත පැවසීය.

කෙසේ වෙතත්, ඔහුට වෙනත් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු විය. ඔහුගේ අත්වල පැවති වෙවුලන ස්වභාවය ඔහු තම ජීවිත කාලය පුරා භාවිත කළ මත්ද්‍රව්‍යවල ප්‍රතිඵලයක් වූ බව මුලදී උපකල්පනය කෙරිණි. නමුත් 2007දී ඔහුට පාකින්සෝනියානු සින්ඩ්‍රෝමය නම් රෝගී තත්ත්වය වැළඳී ඇතැයි හඳුනා ගන්නා ලද අතර පසුව 2019දී පාකින්සන් රෝගය වැළඳිණි.

එම වසරේ ම රාත්‍රියේ සිදු වූ ඇද වැටීමකින් ඔහුගේ කොඳු ඇට පෙළට හානි සිදු වූ අතර, එය ක්වොඩ්-බයික් අනතුරෙන් ඔහුට සිදු වූ හානිය තවත් උග්‍ර කළේ ය. නැවත නැවත කරන ලද සැත්කම්වලින් සීමිත සුවයක් ලැබිණි.

නමුත් ඔහු සුපුරුදු ප්‍රේක්ෂක මතකයේ රැඳී සිටින ලෙස මහජන අවධානයෙන් ඈත් වීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය.

ඔහු, ෂැරන් සහ ඔහුගේ පැරණි 'බ්ලැක් සැබත්' සංගීත කණ්ඩායමේ සගයන් සති දෙකකට පමණ පෙර විලා පාර්ක් පාපන්දු ක්‍රීඩාංගණයේ සමුගැනීමේ ප්‍රසංගයක් සංවිධානය කළහ.

Metallica, Guns N' Roses සහ Aerosmithහි ස්ටීවන් ටයිලර් ඇතුළු සෙසු රොක් තරු රැසක් ඔහුට සහ සැබත් සිදු කළ බලපෑමට උපහාර දැක්වීමට සහ ඉදිරිපත් කිරීමට පෙළ ගැසිණි.

සංචරණ ගැටලු නිසා ඔස්බෝන් වාඩි වී ඉදිරිපත් කිරීම කළ නමුත්, ඔහුගේ පැරණි මායාකාරී ජවය නැවත ලබා ගැනීමට සමත් විය. එකල මෙන්, අත්පුඩි ගසමින්, දෑත් වනමින් ජවසම්පන්න ලෙස වේදිකාව ගායනයේ යෙදුණේ ය.

"මගේ ජීවිතයෙන් මම අත්කර ගත් දේ ගැන මම ආඩම්බර වෙනවා," ඔහු වරක් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "ඔයා ලෝකේ හොඳ ම ලේඛකයා වුණත් මගේ ජීවිත කතාව ලියන්න ඔයාට බැරි වෙනවා."