පාස්කු ඉරිදා ප්‍රහාරය: විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයේදී කිව්වේ කුමක්ද?

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පක්ෂග්‍රාහී, තහවුරු නොකළ තොරතුරු භාවිතය කණගාටුවට කරුණක් - රජය

ඡායාරූප මූලාශ්‍රය, Ministry of foreign affairs

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්යෙන් පුළුල් හා පූර්ණ විමර්ශනයක් පවත්වා ඇතැයි, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අමතමින් පැවසුවාය.

සැසිවාරය අමතමින් (සැප්තැම්බර් 13 වැනිදා) ඇය මේබව කියා සිටියේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෙන් ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.

ශ්‍රී ලංකා තානාපතිවරියා කියා සිටියේ ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඔවුන්ගේ විශ්ලේෂණයේදී පක්ෂග්‍රාහී මූලාශ්‍රවලින් වැරදි සහ තහවුරු නොකළ තොරතුරු භාවිතා කිරීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බවය.

ශ්‍රී ලංකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දිගින් දිගටම දන්වා ඇති පරිදි, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ජනාධිපති විමර්ශන කොමිසමකින් ඇතුළුව පුළුල් හා පූර්ණ විමර්ශනයක් සිදු කර ඇති අතර, එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ඇය පැවසුවාය.

රජයේ බලධාරීන් කරන ලද පරීක්ෂණ සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, එක්සත් ජනපදයේ FBI සහ INTERPOL ඇතුළු ජාත්‍යන්තර වෘත්තීය ආයතනවල සහාය ලැබුණු බවද හිමාලි අරුණතිලක සඳහන් කළාය.

2023 අප්‍රේල් වන විට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 79 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පක්ෂග්‍රාහී, තහවුරු නොකළ තොරතුරු භාවිතය කණගාටුවට කරුණක් - රජය

ඡායාරූප මූලාශ්‍රය, Ministry of foreign affairs

ශ්‍රී ලංකා තානාපතිවරිය පෙන්වා දුන්නේ, 2023 ජනවාරි 12 වැනි දින ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ප්‍රහාර එල්ල වන අවස්ථාවේ ධුරයේ සිටි ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, ආරක්ෂක ලේකම් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමවල තීන්දුව ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මීට අමතරව, මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් පසුව මතු වූ ගැටළු විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇති අතර අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයිද තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සහයෙන් ස්වාධීන විමර්ශනයක් ඇරඹීමට නිර්දේශ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පසු විපරම්, ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් අරඹන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට නැවත වරක් නිර්දේශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසි වාරයේ ආරම්භක සැසිය අමතමින් නියෝජ්‍ය මහ කොමසාරිස් නඩා අල් නෂිෆ් (සැප්තැම්බර් 11 වැනිදා) මේ බව අනාවරණය කළාය.

ඇය කියා සිටියේ මානව හිමිකම් කඩකිරීම් මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි සිද්ධි සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙස, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව රජයට නිර්දේශ කර සිටින බවය.

ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වගවීම කේන්ද්‍රීය වන බවද ඇය පැවසුවාය.

අතීත මානව හිමකම් උල්ලංඝන සිදුවීම් පිළිගෙන විශ්වාසනීය වගවීමේ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ වගකීමක් බවත්, වගවීම ඉදිරියට ගෙන යාමේදී මානව හිමිකම් කවුන්සිලයට සහ සාමාජික රටවලට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පැවසුවාය.

නියෝජ්‍ය මහ කොමසාරිස් නඩා අල් නෂිෆ්

ඡායාරූප මූලාශ්‍රය, OHCHR

ආර්ථික අර්බුදයෙන් මානව හිම්කම්වලට වන බලපෑම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් චර්ක් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ආර්ථික අර්බුදය සහ ගෝලීය ආර්ථිකය මත ඇතිවූ පුළුල් ආතතීන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය පවත්වා ගෙන යාමේ හැකියාවට දිගින් දිගටම බලපෑ අතර එය විශාල සහ තියුණු ලෙස වැඩිවන දුප්පත් ජනතාවට විනාශ කාරී බලපෑමක් ඇති කළ බවය.

අර්බුදය හේතුවෙන් 2021 සහ 2022 වසරවල දිලිඳු ප්‍රතිශය 13% සිට 25% දක්වා දෙගුණ වී ඇතැයි, ලෝක බැංකු ඇස්තමේන්තු උපුටා දක්වමින් මහකොමසාරිස්වරයාගේ වාර්තාව අනාවරණය කළේය.

ඊට අලුතින් එක්ව ඇති පිරිස මිලියන 2.5කි.

2023 වසරේදී දිලිඳු ප්‍රතිශතය 27.4 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළද එය 25% ඉක්මවනු ඇතැයි වාර්තාවේ දැක්වෙයි.

එහි සඳහන් වන්නේ ආහාර අනාරක්ෂිත බව මානව හිමිකම් භූක්තිවිදීමට ප්‍රධාන බාධාවක් බවය.

සෞඛ්‍යයට ඇති අයිතියටද ආහාර අනාරක්ෂිතභාවය බලපෑ බව මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන්ය.

ළමුන්ගේ අධ්‍යාපනය බිඳ වැටිමේ අවදානම ද ඉහල ගොස් ඇති පෙන්වා දෙන වාර්තාව අනාවරණය කර සිටින්නේ සාමාන්‍යයෙන් ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් විමේ අවදානම ඉහළ ගොස් ඇති බවය.

කාන්තාවන්ට රැකියා අහිමි විමෙන් සමාජ ආරක්ෂණය අඩු විමේ අවදානමට ලක් විය හැකි බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා

ඡායාරූප මූලාශ්‍රය, OHCHR

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තවමත් වගවීම පිළිබඳ අඩු ලුහුඬුකම් ඇති බවය.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තවමත් වගවීම පිළිබඳ අඩු ලුහුඬුකම් ඇති බවය.

“යුද අපරාධ වේවා, වඩාත් මෑත කාලීන මානව හිමිකම් උල්ලංඝන, දූෂණ හෝ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ වගවීමේ අඩුලුහුඬුකම් තිබෙනවා. රට ඉදිරියට ගෙන යාමට නම් එය ආමන්ත්‍රණය කළ යුතු” යැයි මහ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

“මානව හිමිකම් කඩකිරීම්වලට ගොදුරුවූවන් සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ එවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතික කිරීමට ගනු ලබන පියවර පිලිබඳ දිගටම බලා සිටිනවා” යැයි මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ සදහන් වේ.

ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය අවසන් වී වසර 14ක් ගතවී ඇතත්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල දස දහස් ගණනක් සත්‍යය, යුක්තිය සහ විසඳුම් සෙවීමේ වේදනාව අත්විඳිමින් සිටින බවය.

සත්‍ය හා සංහිඳියා කොමිසමට වින්දිතයන්ද එකතු කරගන්නා ලෙස ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය, වින්දිතයින් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන් විසින් විශ්වාස කළ යුතු බවත්, එය සත්‍ය තොරතුරු විමසීම තුළින් ආරම්භ වන බවත් පවසන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා "එය සිදු විය යුත්තේ වින්දිතයින්ට පළිගැනීම්වලට බිය නොවී කටයුතු කිරීමට නිදහස ඇති පරිසරයක පමණක් නොව, ඔවුන්ගේ අර්ථවත් සහභාගීත්වයට ඉඩ සලසන තත්වයන් තුළ" යැයි සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

“සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නැහැ. වගවීම සඳහා පැහැදිලි කැපවීමක් මෙන්ම දීර්ඝ කාලීන වෙනසක් ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අභිලාෂයක් ද තිබිය යුතුය, ”චර්ක් පැවසීය.

විකාශන අධිකාරී පනත

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරී පනත පිළිබදව ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් අවදානය යොමු කර ඇත.

විකාශන නියාමන අධිකාරී පනතේ ස්වාධීනත්වය පිළිබදව ගැටලු මතුකරන බව වාර්තාවේ සදහන්ය.

එම පනත මගින් ස්ථාපනය කිරීමට යෝජිත කොමිසමට රජයේ නියෝජිතයින් පස් දෙනෙකු පමණක් පත් කිරීම නිසා එහි ස්වාධීනත්වයක් නොමැති බවද එම වාර්තාවෙන් අවධාරණය කර ඇත.

විකාශන නියාමන අධිකාරී පනත හරහා ප්‍රකාශනයේ නිදහසට ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, මෙය ත්‍රස්තවාදය වැළැක්විමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත මෙන් ජනතාව මර්දනයට යොදා ගනිවි දැයි සැක මතු කර තිබේ.

ත්‍රස්තවාදය යන්න හැඳින්වීම හරහා භාෂණයේ නිදහසට බාධා එල්ල කිරිමේ හැකියාව තවමත් එම පනතේ සඳහන් බවද මහ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.