පාස්කු ප්‍රහාර නඩුව:හේමසිරි සහ පුජිත් නිදහස් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි.

Former secretary to the Ministry of Defence, Hemasiri Fernando (centre R), and former police chief Pujith Jayasundara

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මාර්තු 13 වැනිදා) දින නියම කළේය.

පාස්කු ඉරුදින ජාතික තවුහීද් ජමාත් සංවිධානය විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය , අභියාචනා විභාගය දින හතරක් තුළ අවසන් කරන බව අද නියෝග කළේය.

ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම් ජුලි මස 4, 5 , 11,12 යන දිනවල විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අදාළ අභියාචනා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

අදාළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා පෙත්සම්වල පිටු පහක් අස්ථානගත වී ඇති බව දන්වා සිටියේය.

එබැවින් ප්‍රධාන නඩු ගොනුව හා සංසන්දනය කර අස්ථානගත වූ පිටු යළි සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව නඩුවට අදාළ ලිඛිත දේශන මැයි මස 31 වන දාට පෙර ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එතැන් පටන් සති තුනක් තුළ වගඋත්තරකරුවන්ගේ ලිඛිත දේශන ගොනු කරන ලෙසත් නියෝග කරනු ලැබීය.

ඉන් පසුව නඩු විභාගය සඳහා අධිකරණය විසින් දින නියම කරනු ලැබීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 855 කින් සමන්විත අධිචෝදනා පත්‍ර දෙකක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කරන කර තිබුණි.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වින්දිතයින්ගේ පවුල්වල ප්‍රමුඛතම ඉල්ලීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වින්දිතයින්ගේ පවුල්වල ප්‍රමුඛතම ඉල්ලීමයි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 පෙබරවාරි 18 වනදා අදාළ විත්තිකරුවන් දෙදෙනා විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

එම තීන්දුව නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැති නඩු විභාගයේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදී තිබුණි.

එහිදී සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සාක්ෂි දෙමින් සඳහන් කර තිබුණේ ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවක් මෙහෙය වීමට සූදානම් වන බවට විදේශීය ඔත්තු සේවයකින් තමන්ට 2019 වසරේ අප්‍රේල් මස 4 වන දා තොරතුරක් ලැබුණද එය බුද්ධි තොරතුරු වශයෙන් තහවුරු කර ගැනීමට අපොහොසත් වූ බවයි.

එම තොරතුර තමා එවක පොලිස්පති පූජිත් ජයසුන්දර, එවක ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයට දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කර තිබුණි.