කෲඩියා සිලනිකා:ආන්දෝලනාත්මක ගස ජාතික රතු දත්ත පොතෙන් ඉවත් වෙයි ද?

ශ්‍රී ලංකාවට ආවේණික, දැඩි ලෙස වඳ විමේ තර්ජනයට මුහුණ දී තිබෙන ගම්පහ, දාරළුවේ තිබු කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය කපා ඉවත් කිරිමත් සමඟ එම ශාකය ගැන සමජයේ කතා බහක් ඇති වි තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජුලි 11 වැනිදා පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ගම්පහ, දාරළුවේ තිබු පණු කරඳ ගස ගලවා ඉවත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව බවයි.

“අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කෙසේ හෝ නිමා කරගන්න උත්සාහ දරන අවස්ථාවේදී මේ සඳහා මම පුලුල් අධ්‍යනයක් කරලා බැලුවාම මට වාර්තා ලබා දුන්නා ව්‍යපෘතිය අවට අවුරුදු 40ට වඩා වැඩි පණු කරඳ ගස් 15ක් තියෙනවා, උස අඩි 12, 15 යි අතර ගස් 25 ක් තියෙනවා, අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ ගස් බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එක්කරගෙන යන්න පුලුවන්.”

“ගස් 200 ක් මේ එක ගහ වෙනුවට නැවත වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේ කරුණු ටික මං කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ඒක විශාල ජාතික අපරාධයක්, බොරුවක්, මිත්‍යාවක් රට පුරා පතුරවලා ඇති කරලා තියෙන කඩාකප්පල්කාරි ක්‍රියාවක්. මේකේ මෙච්චර ගස් ප්‍රමාණයක් දැනට ඒ අවට තියෙනවා උද්භිත විද්‍යාඥයෝ කියනවා ඕන තරම් ප්‍රමාණයක් හදලා දෙන්න පුලුවන් කියලා. ඒ නිසා මේ ගස කැපීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දෙන්න කියලා මම කැබිනට් මණ්ඩලයට කිව්වා.” යි අති දුර්ලභ ගස කපා දැමීම ගැන ඇමැතිවරයා කියා සිටියේය.

ගස ඉවත් නොකර අධිවේගි මාර්ග සැලසුම වෙනස් කර ඉදිකිරිමට ගියහොත් තවත් රුපියල් බිලියන 15 ක මුදලක් වැය වන බවට ගණන් බලා ඇති බව ද බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

කැබිනට් තීන්දුවකින් රටේ නීතිය හෑල්ලුවට ලක් කිරිමක්

දැඩි ලෙස වඳ විමේ තර්ජනයට මුහුණ දී ඇති කෲඩියා සිලනිකා ශාකය කැබිනට් තීන්දුවකින් ඉවත් කිරීම රටේ නීතිය හෑල්ලුවකට ලක් කිරිමක් බව පරිසරවේදී සජීව චාමිකර සඳහන් කළේය.

“මේ වගේ එකකට ගන්න ඕන ක්‍රියා මාර්ග තියෙද්දි ඇයි මේ බලහත්කාරය පාවිච්චි කරන්නේ. එතකොට මේ විදියට තමයි අපේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ, ස්වාභාවික සම්පත්වලට ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයට. මෙහෙම වෙනකොට රටක මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ පුරවැසියට. කොහොමද පුරවැසි අයිතිය පිළිබඳ සුරක්ෂිතතාවයක් තියෙනවා කියන තත්ත්වයක් ඇති වෙන්නේ.” යි ඔහු කියා සිටියේය.

ගස ඉවත් නොකර අධිවේගි මාර්ග සැලැස්ම වෙනස් කිරිමට යන වියදම සම්බන්ධව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසු ගණන් හිලව් අසත්‍ය බව පරිසරවේදී සජීව චාමිකර සඳහන් කළේය.

“ඔය සම්පුර්ණයෙන්ම බොරු ගණන්, ඔය බොරු ගණන් හරහා සමාජය මුලාවට ලක් කරලා තියෙන්නේ. මීටර් ගාණක වෙනස් කරන්න මට මතක විදියට බිලියන 10ක් ද19ක් ද කොහොද යනවා කියනවා එතකොට මුලු අධිවේගී මාර්ගයම හදන්න බිලියන කීයක් යනවාද?, එහෙනම් අධිවේගි මාර්ග හදලා වැඩක් තියෙනවාද?.” යි බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සජීව චාමිකර කියා සිටියේය.

ගලවා ඉවත් කරන ලද ශාකය තිබුන ප්‍රදේශය ආශ්‍රිතව තවත් පණු කරඳ ශාක කිහිපයක් හඳුනාගෙන ඇතැයි කී පරිසරවේදියා එම ශාක කිසිවක් සුරක්ෂිත පරිසර පද්ධතියක නොපවතින බව ද පැවසීය.

“බලහත්කාරය පෑම, ප්‍රජාතන්ත්‍රවාදය සම්පුර්ණයෙන් බිඳ වැට්ටීම මේවා තමයි මේකෙන් මතුවෙන සාධක වෙන්නේ. ඒ සමස්ථය වෙනුවෙන් තමයි අපි මැදිහත්වෙන්නේ නැතුව පණු කරඳ ගහ තනි ගහක් වශයෙන් ආරක්ෂා කර ගැනීමට නෙමෙයි අපි මැදහත් වෙන්නේ.”

වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 42 වැනි වගන්තිය යටතේ ආරක්ශිත යැයි නම් කර ඇති ශාකයකට හානි කිරිම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවැනි ක්‍රියාවක් කරන තැනැත්තෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැක.

ඒ ගස හැර තවත් පණු කරඳ ගස් තියෙන්නේ කොහෙද?

ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තුමේන්තුව පවසන පරිදි කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාක කිහිපයක් මේ වන විට උද්භිත උද්‍යාන කිහිපයක වගා කර ඇත.

ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ස්වාභාවික පරිසරය ආශ්‍රිතව ශාක හඳුනාගැනීමට හැකිව තිබේ.

“පේරාදෙණිය ගාඩ්න් එකේ දැනට පැළ 3ක් හිටවලා තියෙනවා. ගම්පහ හිටවලා තියෙනවා පැළ 10ක්, ගම්පහ ගාඩ්න් එකේ පැළ 30කට වඩා නර්සරි එකේ.“යැයි ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා පෙරේරා බීබීසි සිංහල සේවයට කියා සිටියාය.

ගම්පහ උද්භිත උද්‍යාන දැනට වැඩුණු ගස් 5ක් ඇති බව පැවසු අධ්‍යක්ෂක ජනරාල්වරිය තවදුරටත් පැළ රෝපණය කරන බව ද සඳහන් කළාය.

“කටුනායක, දාරළුවේ, මගලේගොඩ, මීගමුව කදිරාන, උඩුගම්පල, බෙම්මුල්ල මේ හැම තැනම මේ ප්ලාන්ට්ස් අපිට හම්බ වෙලා තියෙනවා.” යි ස්වාභාවික පරිසරයෙන් හමුවු ශාක ගැන ඇය බීබීසි සිංහල සේවයට කියා සිටියාය.

‘කෲඩියා සිලනිකා ශාකය ජාතික රතු දත්ත පොතෙන් ඉවත් වෙනවා’

මෙවැනි තත්වයන් මත කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය ජාතික රතු දත්ත පොතෙන් ඉවත් වේ දැයි බීබීසි සිංහල සේවය විමසු අතර “රතු දත්ත පොත අලුත් කරද්දි මේක අයින් වෙනවා.” යි ඊට පිළිතුරු දෙමින් ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා පෙරේරා සඳහන් කළාය.

2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා ඇති කෲඩියා සිලනිකා ශාක විශේෂය, 2021 වසරේදී පරිසර අමාත්‍යාංශය විසින් සකස් කළ ජාතික රතු දත්ත ලේඛනයට අනුව වඳවී යාමට අත්‍යාසන්න තත්වයේ (Critically Endangered) පසුවන ශාකයක් ලෙස නම් කර තිබේ.

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් 2019 වසරේ දී මෙම ශාකය හමුවු අතර මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර එම ශාකය ඉවත් කිරිමට ගත් උත්සාහය මීට පෙරද මහත් අන්දෝලනයකට තුඩු දුන්නේය.

කෙසේ වෙතත් ජුලි 10 වැනිදා පැමිණි කණ්ඩායමක් මෙම ශාකයේ අතු කඩා දමා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් සම්පුර්ණයෙන් උගුල්ලා රැගෙන ගිය බවට ප්‍රදේශවාසිහූ චෝදනා කරති.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු මඟට

ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබු මෙරටට ආවේණික අති දුර්ලභ පණු කරඳ ගස හඳුනා නොගත් පිරිසක් විසින් ඉවත් කිරීම සම්බන්ධව බීබීසි සිංහල සේවය ගම්පහ වන අඩවි කාර්යාලයෙන් විමසීමක් කරනු ලැබීය.

පණු කරඳ ගස ගලවා ඉවත් කිරිම සම්බන්ධව මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හා ශාකය ඉවත් කිරිම ගැන විමර්ශණයක් සිදු කරන්නැයි ඉල්ලා ගම්පහ වන අඩවි කාර්යාලය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

ගම්පහ, දාරළුව ප්‍රදේශයේ තිබු අතිදුර්ලභ ශ්‍රී ලංකාවට අවේණික කෲඩියා සිලනිකා (Crudia zeylanica) කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කිරීම ගැන අතිරේක දිසා වන නිලධාරි මහී වර්ණප්‍රිය ගම්පහ අධිකරණයට කරුණු වාර්තා කර මෙම නියෝග ලබා ගත් බව ගම්පහ වන අඩවි නිලධාරි ඒ.ජේ පුෂ්පකුමාර බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

මෙම ශාකය පිහිටා ඇති කලාපය වන සංරක්ෂණ කලාපයක් නොවුන ද පණු කරඳ ශාකයේ විශේෂත්වය මත වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊට මැදිහත් වන බව ඔහු සඳහන් කළේය.

"ගහ ඇත්තටම හයිවේ එකට අදාළවනේ තියෙන්නේ. එතකොට ඒක විශේෂ ගහක් විදියට තමයි හඳුනගෙන තිබුනේ. දැනට මේ ප්‍රදේශයේ තවත් ඒ ගස් හම්බ වෙලා තියෙනවා. එතකොට මේක බැකෝ දාලා ගලවලා අරන් ගියේ වෙනත් ස්ථානයක හිටවන්න ද, කොහොමද ගෙනිච්චේ කියාල මට දැනුන් දීමක් නම් නැහැ."

පණු කරඳ ගස විනාශ කර ඉවත් කරන ලද්දේ කවුරු විසින් ද යන්න මේ තාක් අනාවරණ වී නැති අතර විනාශ කරන ලද ගසෙහි මුල ඇතුලු කොටස් අතුරුදහන් වී ඇත.

"බැකෝ එකක් ඇවිල්ලා අතු ටික ඉස්සෙල්ලා කැඩුවා, ඊට පස්සේ ටිකක් ලොකු වාහනයක් ආවා ඒකේ දිග අඬු දෙකක් වගේ තිබුනා, ඒකෙන් මුල ගලෝලා බැකෝ එක ගෙනාපු වාහනයටම දාගෙන ගියා." යැයි සිදුවීම දුටු ප්‍රදේශවාසියකු මාධ්‍යය වෙත පවසා තිබුණි.

පණු කරඳ ශාකය ඉවත් කර අධිවේගී මාර්ගය සෑදීමට උත්සාහ කළ 2021 වසරේ පෙබරවාරි මාසයේ දී එම ගස බේරා ගැනීමේ අරමුණින් ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුන් විසින් ගස සසුන් ගත කිරීමට ද කටයුතු කරනු ලැබීය.

"බෞද්ධයෝ හැටියට කල්පනා කළොත් ශ්‍රී මහා බෝධිය තමයි ඓතිහාසික බෝ ගස, ලංකාවේ හා ලෝකයේ තවත් බෝ ගස් තියෙන්න පුලුවන් හැබැයි අපි ශ්‍රී මහා බෝධිය කොයි වෙලාවකවත් කපලා විනාශ කරන්නේ නැහැනේ. එතකොට මේ ශාකය තමයි 1861 හොයාගෙන මේ දක්වා ආරක්ෂා කරගෙන යන එකම ශාකය හැටියට සලකන්නේ." යැයි ශාකය සසුන් ගත කරමින් එම පෙරමුණේ විධායක සභික පුජ්‍ය තංගල්ලේ සාරද හිමියෝ එවකදී ප්‍රකාශ කළහ.

ගස ඉවත් කිරීමට පැමිණි පිරිස අතර ලාංකිකයන් මෙන්ම විදේශීය ජාතිකයින් ද සිට ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඔවුන් චීන ජාතිකයින් බවයි.

ශාකය ඉවත් කිරිමෙන් අනතුරුව එම ස්ථානයේ පස් දමා වසා ශාකයක් තිබු බවට සොයා ගත නොහැකි ලෙසට වෙනස් කර ඇති බව සිද්ධිය දුටුවන් පවසයි.

රතු දත්ත පොතට ඇතුළත්

කෲඩියා සිලනිකා ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නැතැයි, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වේ.

එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා තිබේ.

වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 42 වගන්තිය යටතේ ආරක්ශිත ශාක විශේෂයක් ලෙස නම් කර තිබෙන පණු කරඳ ශාකය 2021 වසරේදී පරිසර අමාත්‍යාංශය විසින් සකස් කළ ජාතික රතු දත්ත ලේඛනයට අනුව වඳවී යාමට අත්‍යාසන්න තත්වයේ (Critically Endangered) පසුවන ශාකයක් වේ.

ලැබුණ තොරතුරක් මත 2019 වසරේ දී මෙම ශාකය ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ පරිසරවේදියා විසිනි.

2021 වසරේ දී මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීමට පණු කරඳ ශාකය ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගත් උත්සාහය එවක ගම්පහ වන අඩවි නිලධාරිනිය දේවානි ජයතිලක, ප්‍රදේශ වාසීන් හා පරිසරවේදීන්ගේ උත්සාහයෙන් නතර විය.

ඔවුන්ගේ ඉල්ලීම වුයේ මෙම ශාකය ඉවත් නොකර අධිවේගී මාර්ගය ඉදිකරන ලෙසයි.

"මේ ගහ ඉවත් කරන්න එනකොට ඔය විද්‍යාඥයන්ට කියලා තව ගස් හයක් හතක් හොයාගෙන තියෙනවා. නමුත් විද්‍යාත්මකව ගත්තාම ඒ ගහේ තියෙන වඳ විමේ තර්ජිත තත්වයට කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒ නිසා ශාක විශේෂයක් විදියට පණු කරඳ ශාකයේ පැවැත්ම තහවුරු වුණ තත්වයක් ලංකාවේ නැහැ." යි පරිසරවේදී ජගත් ගුණවර්ධන බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

එවැනි තත්ත්වයක දී බෝ වීමේ ශක්තිය ඇති හැම ගසක්ම ඒකාකරව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

අතු කඩා දමා බැකෝ යොදා ගෙන ගස උගුල්ලා ඉවත් කර දැමීම පරිසරවේදියා හඳුන්වනු ලැබුවේ "අවිද්‍යාත්මක, අත්තනෝමතික සහ අනීතික" ක්‍රියාවක් ලෙසයි.

මෙම ගස වෙනත් තැනක රෝපණය කිරීම සම්බන්ධව හෝ ගසට හානියක් නොවන ලෙස මාර්ග ඉදිකිරීම සම්බන්ධව විවිධ සාකච්ඡා, යෝජනා හා අදහස් තිබු බව කී පරිසරවේදී ජගත් ගුණවර්ධන "ඒ එකක්වත් ගැන සවන් දීලා කටයුතු කරන්න මාර්ග සංවර්ධන අධිකරිය සහ මහා මාර්ග අමාත්‍යංශය සුදානම් තිබුනේ නැහැ ඒක අපි දැක්කා." යි බීබීසි සිංහල සේවයට වැඩිදුරටත් කියා සිටියේය.