කෙහෙළිය, රමිත් ඇතුළු තිදෙනාට ඇප: නාමික සේවකයින් 15කගේ වැටුප් සහ දීමනා ගත් හැටි අධිකරණයේදී හෙළිවෙයි

    • Author, බීබීසී සිංහල

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූනි 03) නියම කළේ ය.

ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් 15 දෙනෙකු නාමිකව ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදු කළ බවට සැකපිට ඉදිරිපත් වූ පැමිණිලි තුනකට අදාළව ය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම නියෝගය නිකුත් කළා ය.

ඒ අනුව සැකකරුවන් රුපියල් 50000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා ය.

සැකකරුවන්ගේ ඇපකරුවන් ඔවුන්ගේ සමීපතම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් විය.

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකාර රමිත් රඹුක්වැල්ලගේ ආදර්ශ අත්සන් විමර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඒවා ලබා දෙන ලෙස ඔහු වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රමිත් රඹුක්වැල්ලට හෙට දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට එම ආදර්ශ අත්සන් ලබා දෙන ලෙස නියම කළා ය.

නාමික සේවකයින් 15කගේ වැටුප් හා අතිකාල දීමනා ගත් හැටි

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කළ පුද්ගලයින්ට හිමි වැටුප් දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම සඳහා අත්සන් තබා ඇත්තේ සැකකාර රමිත් රඹුක්වැල්ල බවත් ඒ අනුව ඔහුගෙන් ආදර්ශ අත්සන් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් සඳහන් කළේ ය.

ඊට අමතරව, නඩුවේ තුන් වන සැකකරු වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක නමැත්තාගේ ගිණුමට මෙම මුදල් බැර වී ඇති අතර ඒවා කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් පරිහරණය කරනු ලැබ තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් නිලධාරීවරයා සඳහන් කළේ ය.

හිමිකරුවෙකු නැති ATM කාඩ් එකක්

සැකකරුගේ මහනුවර ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික බැංකුවක මෙම ගිණුමට අදාළ ඒ.ටී.එම්. කාඩ්පත කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය පරිහරණය කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු දැනුම් දුන්නේ ය.

එහෙත්, අමාලි රඹුක්වැල්ල නමැති දියණිය කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් අතර අදාළ ඒ.ටී.එම්. කාඩ්පත තමන් භාවිත නොකළ බව ඇය විප්‍රකාශ කර ඇතැයි ද විමර්ශනය නිලධාරියා සඳහන් කළේ ය.

ඒ අනුව, එම ඒ.ටී.එම්. කාඩ්පත භාවිත කළේ කවුරුන් ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බවත්, ඒ සඳහා දුරකතන කුලුනු වාර්තා ලබාගෙන විමර්ශන මෙහෙයවන බවත් අල්ලස් කොමිස් විමර්ශනය නිලධාරියා පැවසීය.

මෙම විමර්ශනයට අදාළව හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන සමීර සෝමවීර නමැත්තාගේ ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත්, ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇති බවත්, සඳහන් කළ විමර්ශන නිලධාරියා එම පුද්ගලයා සිංහලයේ අන්තිම රජු වන නරේන්ද්‍රසිංහ රජ සමයට අයත් "සඳගල" නමැති පුරාවස්තුව සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකපිට චෝදනා එල්ල වී තිබෙන අයෙකු බවත් දැනුම් දුන්නේ ය.

විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින හෙයින් මෙම අවස්ථාවේ විමර්ශනවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එම විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල සහ රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වන කෙහෙළිය රඹුක්වැල්ල දින 28ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පැවසීය.

දැනට පවතින සාක්ෂිවලට බලපෑම් කිරීමට තම සේවාදායකයාට හැකියාව නොමැති බවත්, ඒ අනුව සැකකරුවන් ඕනෑ ම කොන්දේසියක් මත ඇප මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළ සැකකාර නිශාන්ත බණ්ඩාර බස්නායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස ද අධිකරණයේදී සඳහන් කළේ, ඉදිරියේදී සටහන් කර ගැනීමට නියමිත සාක්ෂිවලට තම සේවාදායකයාට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති හෙයින් ඔහු ඕනෑ ම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස නියෝග කළා ය.

ඔවුන්ට එරෙහි පැමිණිලි තුන පිළිබඳව යළි විභාග කිරීම ඔක්තෝබර් මස 10 වන දා සිදු කිරීමට ද නියම කළා ය.