ප්‍රභූන්ට මෙන් ඔබටත් ජනාධිපති අරමුදලින් ආධාර ලබා ගන්න පුළුවන් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් මැති ඇමැතිවරුන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ලැයිස්තුවක් පාර්ලිමේන්තුවේදී හෙළි කිරිමත් සමග ජනාධිපති අරමුදල අවභාවිත කිරිම ගැන කතා බහක් සමාජය තුළ නිර්මාණය වී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් දෙසැම්බර් 17 වැනි දා ජනාධිපති අරමුදල හරහා ලක්ෂ ගණනින් මුදල් ලබා ගත්තා යැයි කියන වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ජනාධිපති අරමුදල යනු කුමක් ද? ඉන් අරමුදල් ලබා ගත හැකි අය කවුරුන් ද යන්න බීබීසී සිංහල සේවය සොයා බැලුවේය.
ජනාධිපති අරමුදල කියන්නේ මොකක් ද?
හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ධූර කාලය තුළ පරිත්‍යාගශීලීන්ගේ මුල්‍යමය දායකත්වයෙන් රු.237,120 ක මූලික ප්‍රාග්ධනයකින් ජනාධිපති අරමුදල ආරම්භ කර කිබේ.
එම අරමුදල 1978 අංක 7 දරන පනතින් මෙරට පාර්ලිමේන්තුවේ සම්මත වු ආයතනයක් ලෙස පිහිටුවා ඇත.
මෙය ජනාධිපතිවරයාගේ අරමුදල නමින් හඳුන්වනු ලබන අතර එය කළමනාකරණය කරමින් පනතේ විධිවිධානයන්ට අනුව ක්‍රියාකිරීමේ බලය, ධූරය දරන ජනාධිපතිවරයා හට පැවරේ.
රජයේ විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව ජනාධිපති අරමුදලේ ගිණුම් විගණනය කරනු ලබයි.
ජනාධිපති අරමුදල් මූල්‍යාධාර ලබා දෙන්නේ කාට ද?
දරිද්‍රතාවයට සහන සැලසීම, අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම, ආගම් නංවාලීම සඳහා දායකත්වය ලබා දීම, ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයන් කිරීම සහ ජනාධිපතිවරයාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා කාර්යයන් ඉටුකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ මුදල් යොදාගනු ලබයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ මහජන පරිත්‍යාග හරහා ජනාධිපති අරමුදල පවත්වාගෙන යනු ලබයි.
මෙම අරමුදලේ ක්‍රියාකාරකම් ලෙස විවිධ රෝග සඳහා වෛද්‍යාධාර, ජනතාවගේ ජීවනෝපාය නංවාලීම සඳහා දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන් සඳහා, මහපොළ ශිෂ්‍යාධාර අරමුදලට දායකත්වය ලබා දීම, අ.පො.ස(උ.පෙළ) විශිෂ්ඨ ලෙස සමත් වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, අ.පො.ස (සා.පෙළ) විශිෂ්ඨ ලෙස සමත් වූ අඩු ආදායම්ලාභී දරුවන් සඳහා උසස්පෙළ හැදෑරීමට ශිෂ්‍යාධාර ලබා දීමට, ආගමික ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රදාන ලබා දීමටත්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන පෙරහැර සහ වෙනත් සංස්කෘතික කටයුතු සඳහා ආධාර කිරිමට මෙන්ම පුද්ගලයන් වෙත ප්‍රතිලාභ සැලසීම සඳහා ජනාධිපති අරමුදල නමින් රාජ්‍ය බැංකුවල හා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම් මෙන්ම ජනාධිපතිවරයාගේ සහ මණ්ඩලයේ අභිමතය පරිදි ලබා දෙන ප්‍රතිලාභ හැඳින්විය හැකි ය.
කොන්දේසි හා නියමයන් මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලාංකික පුරවැසියන් හට පමණක් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමට අයැදුම් කළ හැකි අතර ඊට අදාළ කොන්දේසි හා නියමන් කිහිපයක් ඇත.
සැත්කම හෝ ප්‍රතිකාරය සිදුකර රෝහලෙන් පිට වු දින සිට දින 60ක් ඇතුළත අයැදුම්පත ඉදිරිපත් කිරීම (සති අන්ත හා රජයේ නිවාඩු දිනයන් ද ඇතුළුව), රෝගියා,කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ මාසික ආදායම් සීමාව රු. 200,000/- නොඉක්මවීම, රෝගියා, කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයෙක් ආදායම් බදු නොගෙවීම, සැත්කම හෝ ප්‍රතිකාරය සඳහා වැයවන මුළු වියදමෙන් 50%ක මුදලක් වෙනත් කවර හෝ ආයතනයකින් ලබා ගැනීමට සුදුසුකම් ලබා නොතිබීම (රක්ෂණාවරණයකින්/වෛද්‍යාධාර ක්‍රමයකින්/සුභසාධන ක්‍රමයකින්), ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ලැබීම, සැත්කම/ප්‍රතිකාරය සඳහා යන වියදම දරාගැනීමට ප්‍රමාණවත් මුල්‍ය සම්පත් රෝගියාගේ පවුල සතු නොවීම, අදාළ සැත්කම/ප්‍රතිකාරය ජනාධිපති අරමුදලේ අනුමත රෝහලකින් සිදුකරවා ගෙන තිබීම, ජනාධිපති අරමුදලේ අනුමත මුල්‍යාධාර ලබාදෙන රෝගයක් වීම, ජනාධිපති අරමුදලේ අනුමත උපරිම මූල්‍යාධාරය ලබා නොතිබීම මෙන්ම අයදුම්පතේ අසත්‍ය තොරතුරු නොසැපයීම කොන්දේසි හා නියමයන් ලෙස ජනාධිපති අරමුදලේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
තව ද ජනාධිපති අරමුදල අනුමත කරන ලද රෝහල් ජනාධිපති අරමුදලේ වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආධාර ලබා දෙන ප්‍රතිකාර සහ සැත්කම් මොනවා ද?
හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් හෝ රුධිර කාන්දුකරණය, මොළයේ සැත්කම්, පිළිකා ප්‍රතිකාර, ඇට මිදුළු බද්ධ කිරීම, උකුල් /දණහිස්/උරහිස් සහ වැලමිට සන්ධි බද්ධ කිරීම්, කර්ණ සංඛ බද්ධ කිරීමේ සැත්කම, කොඳු ඇට පෙළ විකෘති වීම, කොඳු ඇට පෙළ තෙරපුම සඳහා, කෘත්‍රිම පාද/අත් මිල දී ගැනීම සඳහා, තැලසීමියා රෝගීන්ට (ආසේවන පොම්පය මිල දී ගැනීමට), අක්මා බද්ධ කිරීම, අක්ෂි සැත්කම් (විදේශීය රෝහල් සඳහා), අක්මාව තුළ හටගන්නා පිළිකා තත්ත්වය මර්දනය කිරීම සඳහා ප්‍රතිකාර, පෙනහළු අකර්මන්‍යතා සඳහා ස්වසන උපකරණ ලබා දීම සඳහා ජනාධිපති අරමුදලින් ප්‍රධාන වශයෙන් ආධාර ලබා දෙන සැත්කම් හා ප්‍රතිකාර ලෙස දක්වා තිබේ.
2024 වසරේ මූලාධාර දී ඇති ප්‍රමාණය කොපමණ ද?
2024 ජනවාරි පළමු වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ජනාධිපති අරමුදලින් ලබා දී ඇති මූල්‍යාධාර පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.
ඒ අනුව දරිද්‍රතාවයට සහන සැලසීමේ අරමුණින් ඛාණ්ඩ දෙකක් යටතේ ආධාර ලබා දී ඇත.
හඳුනාගත් විවිධ රෝග සඳහා වෛද්‍යාධාර ලෙස රෝගීන් 2802 කුට මෙමකාල සීමාවේ දී රුපියල් 583,130,217.97 ක් ආධාර කර තිබේ.
පවුල් ඒකක 28කට රුපියල් 2,515,535ක මූල්‍යාධාර ලබා දී ඇත්තේ දාරිද්‍රදාව තුරන් කර ජීවනෝපාය උසස් කර ගැනිමේ අරමුණින් ය.
අධ්‍යාපනය සහ ඥානය වර්ධනය වෙනුවෙන් ඉහත කාල සීමාවේ දී ලබා දී ඇති ශිෂ්‍යත්වයන් පහත දැක්වේ.
මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් 1,342,991,195ක් ලබා දී ඇත.
2024 වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් 3000කට එක් අයෙකුට රුපියල් 6,000 බැගින් රුපියල් 166,497,000 ක මුදලක් සහ 2025 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුන් 6000කට එක් අයෙකුට රුපියල් 6,000 බැගින් රුපියල් 323,532,000ක මුදලක් ලබා දී ඇත්තේ එම සිසුන් සමාන පෙළ විභගයේ දී දක්වන ලද කුසලතා මත විශේෂ ශිෂ්‍යත්ව ලෙසයි.
1 වසර සිට 11 දක්වා ඉගෙනුම ලබන දිවයිනේ අධ්‍යාපන කලාප 100ක් අතරින් තෝරාගත් දරුවන් 78,000 කට රුපියල් 3,000 බැගින් රුපියල් 1, 517825,700ක ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත.
දිවයිනේ සියලුම පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන ආවරණය වන පරිදි තෝරාගත් පිරිවෙන් ප්‍රාචීන විභාග සහ උසස් පෙළ හදාරන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 333 දෙනෙකු සඳහා රුපියල් 6,000 බැගින් හා පිරිවෙන් සමාන්‍ය පෙළ, අපොස සමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සිල් මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2210 දෙනෙකු සඳහා රුපියල් 3,000 බැගින් ලබා දී ඇති මුළු මුදල 33,972,000 කි.
එමෙන් අධ්‍යාපනය වර්ධනය කිරිම සඳහා පවුල් ඒකක 21ක් සහ එක් ආයතනයකට රුපියල් 699,700ක් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති අරමුදලට හැකිව තිබේ.
ආගම් නංවාලීමට දායකත්වය ලබා දීම වෙනුවෙන් ආගමික ආයතන ගොඩනැංවීම හා අළුත්වැඩියාව යටතේ එක් ආයතනයකට රුපියල් 1,000,000 ක් ලබා දී තිබේ.
එමෙන් රුපියල් 1,300,000 ක් ලබා ඇත්තේ පෙරහැර 2ක් පැවැත්වීම වෙනුවෙනි.
ජාතිය වෙනුවෙන් කර ඇති සේවය යටතේ ලබා දෙන ප්‍රදානයන් තුළින් පුද්ගලයින් දෙදෙනෙකු සඳහා රුපියල් 947,300ක් ලබා දී ඇත.
ජනාධිපතිවරයාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කරනු ලබන ප්‍රදානයන් යටතේ මේ වසරේ නොවැම්බර් 30 දක්වා පුද්ගලයින් 116 දෙනෙකුට රුපියල් 17,448,931.15ක ප්‍රදානයන් ලබා දී තිබේ.
දේශපාලනඥයින් ලක්ෂ ගණන් මුදල් ගත්තේ කොහොමද?
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද හෙළිදරව්ව අනුව පසුගිය කාලයේ දේශපාලකයන් වෙනුවෙන් අනුමත මුදල වඩා වැඩි මුදලක් ලබා දී ඇති අතර එසේ මුදල් ලබා දීමට හැකියාවක් පවතී දැයි බීබීසී සිංහල, ජනාධිපති අරමුදලින් ලිඛිතව විමසන ලදී.
එම විමසීමට ජනාධිපති සහකාර ලේකම් පී.එච් කොළඹගේ ගේ අත්සනින් එවා ඇති පිළිතුරෙහි සඳහන් වන්නේ 1978 අංක 7 දරන ජනාධිවරයාගේ අරමුදල පනතෙහි 6 වන වගන්තිය සහ එහි උප වගන්ති මගින් සලසා ඇති ප්‍රතිපාද අනුව ජනාධිපතිවරයාගේ සහ පාලක මණ්ඩලයේ මතය අනුව ජනාධිපති අරමුදලේ මුදල් මූල්‍යාධාර ලෙස ලබා දිය හැකි බවයි.
මහජනතාවට ද අනුමත මුදලට වඩා වැඩි මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී දැයි අප විසින් විමසා සිටි අතර අනුමත රෝගාබාධ වෙනුවෙන් ලබා දෙන නිශ්චිත මූල්‍යාධාර ප්‍රමාණයක් පවතින නමුත් පනතට අනුව විශේෂ අවස්ථාවන් හි ජනාධිපතිවරයාගේ සහ පාලක මණ්ඩලයේ අනුමැතිය අනුව කටයුතු කිරිමේ හැකියාව පවතින බව දන්වා ඇත.
මූල්‍යාධාර ලබා ගන්න ඉල්ලුම් කරන්නේ කොහොම ද?
ජනාධිපති අරමුදලේ වෙබ් අඩවිය මගින්, ජනාධිපති අරමුදල් කාර්යාලයට පැමිණ හෝ ජනාධිපති අරමුදල් කාර්යාලයට ඉල්ලීම් ලිපියක් යොමු කර තැපැල් මගින් අයැදුම් පතක් ලබා ගෙන ජනාධිපති අරමුදලේ මූල්‍යාධාර ලබා ගැනීමට ඉල්ලුම් කිරිමට හැකියාව පවතී.
සැත්කම් හෝ ප්‍රතිකාර සිදු කිරිමට පෙර ද ආධාර ඉල්ලුම් කර හැකි අතර ඒ සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම්පත, ග්‍රාම නිලධාරි නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිත ආදායම් වාර්තාව, නිසි පරිදි සම්පූර්ණ කරන ලද වවුචරය, වෛද්‍ය නිර්දේශයේ මුල් පිටපත, අදාළ රෝහලින් ලබා ගත් ඇස්තමේන්තුව, අදාළ රෝගියා හෝ අයැදුම්කරු විසින් වෛද්‍යාධාර ඉල්ලුම් කර ජනාධිපති අරමුදල වෙත කරනු ලබන ඉල්ලීම සහිත ලිපියක්, ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද මුදල් බැරවිය යුතු බැංකු පොතේ සහ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් සමග ඉල්ලුම් කළ යුතු ය.
සැත්කමට හෝ ප්‍රතිකාරවලට පසුව ආධාර සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඉහත ලේඛනවලට අමතරව රෝහලින් නිකුත් කරන ලද රිසිට්පත් බිල්පත්වල මුල් පිටපත් හා අවසාන බිල්පතෙහි පමණක් ඡායා පිටපතක් සහ සැත්කම සිදු කරන ලද වෛද්‍යවරයා විසින් නිකුත් කරනු ලබන රෝග නිශ්චය වාර්තාවේ පිටපතක් සහිතව ඉල්ලුම් කිරිමේ හැකියාව පවතී.
සැත්කමකින් හෝ ප්‍රතිකාරයෙන් පසුව අයදුම් කරන්නේ නම් රෝහලෙන් බැහැර වූ දින සිට දින 60ක් ඇතුළත ඉල්ලුම් කළ යුතු බව ජනාධිපති අරමුදලේ වේබ් අඩවියේ සඳහන් කර ඇත.
ඔබ ජනාධිපති අරමුදලේ ආධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ නම් වෙනත් විශේෂ හේතුවක් නොමැති නම් හෝ නිසි පරිදි අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත භාර දී ඇති නම් දින 3 – 5ත් ඇතුළත ඔබට ආධාර ලබා දෙන බව ද එහි සඳහන් වේ.
මූල්‍යාධාර ලබා ගැනීමට මෙපමණ ලේඛන ප්‍රමාණයක් අවශ්‍ය වුවද බොහෝ සැත්කම් හෝ ප්‍රතිකාර සඳහා ලබා දෙනු ලබන්නේ ලක්ෂයක් හෝ දෙකක මුදලක් පමණි.
ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ඉල්ලුම් කරනු ලැබූව ද තමන්ට ඉන් කිසිදු මුදලක් නොලැබුණ බවට බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල මැසිවිලි නගනු දැක ගත හැකිය.
"ජනාධිපති අරමුදලින් ලෙඩක් දුකක් හැදිච්ච සාමාන්‍ය මිනිහෙකුට ලක්ෂ එකහමාරක් දෙකක් ගන්න කොච්චර දුකක් විඳිනවාද, ෆෝම් කොළ කොච්චර පුරවනවා ද, ඒවා මුකුත් නැතිව මැති ඇමැතිවරුන් අරන් තියෙනවානේ ලක්ෂ තුන්සීය ගණන්." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි දෙසැම්බර් 18 වැනිදා පැවති උත්සවයක දී ජනාධිපති අරමුදලින් ආධාර ලබා ගැනිමේ අපහසුව විස්තර කරමින් පැවසීය.
ජනාධිපති අරමුදලින් ලබා දෙන ශිෂ්‍යත්ව
දිවයිනේ ඇති සෑම පාසලක් ම ආවරණය වන පරිදි අධ්‍යාපනික සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා දක්ෂතා දක්වන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අභිමත ඉගෙනුම් නිපුණතා මට්ටම 50% හෝ ඊට වැඩි හෝ ශිෂ්‍යයෙකු/ ශිෂ්‍යාවක වීම ඊට අයැදුම් කිරිමේ සුදුසුකම් වේ.
6 ශ්‍රේණයේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශ්‍රේණිවල, 2023 වසරේදී පැවති අවසාන වාර පරීක්ෂණය අනුව පන්තියේ 1-20 දක්වා ස්ථාන ලබාගත් ශිෂ්‍යයෙකු/ ශිෂ්‍යාවක වීම ද අයැදුම් කිරිමේ සුදුසුකමකි.
රජයේ පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්/ශිෂ්‍යයාවක් වීම මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවගේ පවුලේ මාසික ආදායම රු. 100,000/- නොඉක්මවීම ද අනිවාර්ය සුදුසුකමක් ලෙස ජනාධිපති අරමුදලේ වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
එමෙන් ම සෑම වර්ෂයකට ම අදාළව අයදුම් කිරීමේ කොන්දේසි හා නියාමනයන් වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරනු ලබයි.














