නව කතානායක ජගත් වික්‍රමරත්න

නව කතානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (දෙසැම්බර් 17 වැනිදා) තෝරා පත් කර ගැණුනි.

10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න පත් කිරීමට අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් යෝජනා කරනු ලැබීය.

අමාත්‍ය බිමල් රත්නායක විසින් එම නම ස්ථීර කළ අතර විපක්ෂය කතානායක ධූරය සඳහා නමක් යෝජනා නොකළේය.

ඒ අනුව වෛද්‍ය ජගත් වික්‍රමරත්න නව කතානායකවරයා ලෙස තෝරා පත් කර ගැණුනි.

කතානායක ලෙස මීට පෙර පත් කරගනු ලැබු අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් මුල් කරගනිමින්, සමාජයේ ඒ පිළිබඳව නිර්මාණය වු අන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් (දෙසැම්බර් 13 වැනි දා) ඔහු ධූරයෙන් ඉල්ලා අස්විය.

අශෝක රන්වල ධූරය දරූ කාලසීමාව දින 22කි.

ඒ අනුව අද (දෙසැම්බර් 17 වැනි දා) රැස්වූ පාර්ලිමේන්තුව නව කතානායකවරයෙකු තෝර පත් කර කර ගනු ලැබීය.

නව කතානායක ජගත් වික්‍රමරත්න යනු කවුද?

නව කතානායක ධූරයට පත් ජගත් වික්‍රමරත්න ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ජගත් වික්‍රමරත්න වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.

ඔහු වෛද්‍ය උපාධිය ලබා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි. ඔහු වෛද්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් බවද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වෙයි.

පාර්ලිමේන්තුවේ අද සිදුවන්නේ කුමක් ද?

යළි නව කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට සිදුවන පාර්ලිමේන්තුවේ අද දවසේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බීබීසි සිංහල විසින් පාර්ලිමේන්තුවෙන් විමසනු ලැබීය.

පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායකවරයා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් පසුව නව මන්ත්‍රීවරුන් 4 දෙනෙකු දිව්රුම් දෙනු ලැබීය.

අනතුරුව නව කතානායකවරයෙකු තෝරාගන්නා බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි කුෂාන් සම්පත් ජයරත්න බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

"ඉස්සෙල්ලා ම නියෝජ්‍ය කතානායක මූලාසනයට එනවා. ඊට පස්සේ අලුත් මන්ත්‍රීවරු දිවුරුම් දීලා තමයි අලුත් කතානායකවරයා පත් කිරීම සිදු කරන්නේ," ඔහු පැහැදිලි කළේය.

කතානායක ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වුවහොත් සිදුවන ක්‍රියාවලිය ද වේත්‍රධාරි කුෂාන් සම්පත් විස්තර කළේ ය.

"එතකොට රහස් ඡන්දයක් තියෙනවා. වැඩියෙන් ඡන්ද ගන්න මන්ත්‍රීවරයා කතානායක ධූරයට පත් වෙනවා."

එමෙන් ම නව පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ද මුල් වරට අද සිට ආරම්භ වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක (දෙසැම්බර් 16 වැනිදා) මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ දැනුම් දීමට පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

"දෙසැම්බර් 17 වැනි දා පාර්ලිමේන්තුව උදේ 9.30ට ආරම්භ කෙරෙනවා. එහි පළමු කටයුත්ත ලෙස නව මන්ත්‍රීවරු පස් දෙනෙක් දිවුරුම් දීම සිද්ධ වෙනවා. ඉන් පසුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු කරන්න තිබෙනවා." යැයි ඇමතිවරයා කියා සිටියේ ය.

අශෝක රන්වල කතානායක ධූරයෙන් ඉවත් වීම

අශෝක රන්වල මන්ත්‍රීවරයා කතානායක ධූරයට පත් වන අවස්ථාවේ වෙනත් නම් යෝජනා නොවීම හේතුවෙන් ඔහු නිතරගයෙන් එම ධූරයට පත් විය.

ඔහුගේ මූලික උපාධිය සහ ආචාර්ය උපාධිය ව්‍යාජයක් බවට වන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ 'කටකතාවක්' ලෙස මූලිකව පැතිරී ගිය අතර, ඒ සම්බන්ධයෙන් සත්‍ය නිරාවරණය කරන ලෙසට විපක්ෂ දේශපාලනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මෙන් ම සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ආණ්ඩුව වෙත දැඩි පීඩනයක් එල්ල විය.

කතානායකවරයාට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ දෙසැම්බර් 13 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් තමා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බව අශෝක රන්වල කියා සිටියේ ය.

"පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මා විසින් ප්‍රකාශ කර නැත. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ."

"මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි." යැයි ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.

අලුත් කතානායක කවුද?

පුරප්පාඩු වී ඇති කතානායක ධූරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු යෝජනා වී සිටින බව මාධ්‍ය වාර්තා කළේය.

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි මොහොමඩ්, මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති හා ලක්ෂ්මන් නිපුණ ආරච්චිගේ නම් එසේ යෝජනා වී ඇති අයවලුන් ලෙස මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදී.

කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීවරියගේ නම ද දස වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි කතානායක ධූරයට යෝජනා වී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වීමෙන් අනතුරුව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ආණ්ඩු පක්ෂයෙන් කතානායක ධූරය සඳහා කවුරුන්ගේ නම යෝජනා වී ඇති දැයි (දෙසැම්බර් 16 වැනි දා) මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ය.

"නමක් යෝජනා කර ගත්තා. හෙට උදේ බලන්න පුලුවන්." යනුවෙන් ඇමැතිවරයා පෙරළා පිළිතුරු දෙනු ලැබීය.

"වැඩිය කළබල වෙන්න ඕනේ නැහැ. උදේ 9.30 ට පාර්ලිමේන්තුව පටන් අරගෙන පෙරවරු 9.45 වෙනකොට කතානායකවරයාගේ නම ප්‍රකාශයට පත් වේවි."

නව කතානායකවරයාගේ නම යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඒකමතිකව තීරණයකට පැමිණි බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් නව කතානායකවරයා පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය මෙන් ම යෝජිත නම් ගැන දැන ගැනීමට ඇමැතිවරුන් කිහිප දෙනෙකු දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල⁣ සේවය ගත් උත්සහය ව්‍යර්ථ විය.

විපක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වෙනවා ද?

විපක්ෂයෙන් ද කතානායකවරයා සඳහා ⁣මන්ත්‍රීවරයෙකු යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර දෙසැම්බර් 15 වැනි දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය.

"අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවා දිනයේදී අපෙනුත් කතානායකවරයෙක් යෝජනා කරන්න. මොකද අපිට විශ්වාසයක් නැහැ ඊළඟට කතානායක විදිහට මාලිමාවෙන් නම් කරන පුද්ගලයාගේ සුදුසුකම් හෝ විශ්වාසය පිළිබඳ. ඒ පිළිබඳව බරපතළ සැකයක් තියෙනවා. ඊළඟ සැරෙත් අපිට රැවටෙන්න බැහැ. අපිත් රැවටිලා ඒ අයට සහයෝගය දුන්නානේ. ඒ නිසා අනිවාර්යෙන් අපි මීළඟ පාර්ලිමේන්තු දවසේ විපක්ෂයේ නමකුත් යෝජනා වෙනවා. හැබැයි ඒ යෝජනා කරන කෙනාගේ බොරු අධ්‍යාපන සහතික නෑ."

"මන්ත්‍රීවරුන්ගේ අදහස වුණේ මේ පිළිබඳව විරුද්ධ පක්ෂයේ සෙසු පක්ෂවලත් අදහස විමසලා ඉදිරිපත් කරනවා ද, නැද්ද කියන තීරණය හෙට උදේ ගමු කියලා." යැයි දෙසැම්බර් 16 වැනි දා සවස පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වීමෙන් පසුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක බීබීසී සිංහල වෙත කියා සිටියේය.

කතානායක ධූරයට යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද දෙසැම්බර් 16 වැනි දා සවස මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

"අපි ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්නේ විපක්ෂය හැටියට සමූහයක් එක්ක සාකච්ඡා කරලා. විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කරලා අපි ගන්න ඕන තීන්දු තීරණ ගන්නවා."

සමගි ජන බලවේගයෙන් කතානායක ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු යෝජනා කළහොත් ඒ සඳහා සිය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් දෙසැම්බර් 16 වැනි දා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

කෙසේවෙතත්, විපක්ෂය නියෝජනය කරමින් කතානායක ධූරය සඳහා කිසිඳු අපේක්ෂයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක දෙසැම්බර් 17 වැනිදා බීබීසි සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.