අතුරු සම්මත ගිණුම: 'අනුරත් රනිල්ගේ මුදල ම වෙන් කරගෙන' ද? කබීර් ප්‍රශ්න කරයි

නව රජයේ පළමු අතුරු සම්මත ගිණුම අද (දෙසැ. 5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 2025 වසරේ පළමු මාස 4 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1,402කි.

නොවැම්බර් මස 25 වන දා මෙම අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර, මේ සම්බන්ධයෙන් වන විවාදය අද (දෙසැ. 5) සහ හෙට (දෙසැ. 6) යන දිනවලදී පැවැත්වෙයි.

මොකක් ද මේ අතුරු සම්මත ගිණුම?

සම්මත වූ වාර්ෂික අයවැයක් නොමැති තත්ත්වයක් යටතේ කෙටිකාලීන වශයෙන් වියදම් දැරීමේ විධික්‍රමයක් ලෙස අතුරු සම්මත ගිණුම් ක්‍රමය භාවිත කෙරෙයි.

සම්මත වූ අයවැයක් නොමැති තත්ත්වයක රාජ්‍ය සේවා බිඳ වැටීම වළක්වා ගනිමින් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව මහජනතාවට ලබා දීම සඳහා මෙම කෙටිකාලීන වියදම් කිරීමේ විධික්‍රමය යොදා ගැනේ.

ඉදිරි මුදල් වර්ෂය සඳහා අයවැයක් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලැබ නොමැති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ලබා දීමේ විශේෂිත වැඩපිළිවෙළක් ලෙස ද අතුරු සම්මත ගිණුම සැලකිය හැකියි.

නොවැම්බර් මස 21 වන දින අභිනව පාර්ලිමේන්තුව රැස් වූ අතර 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අදාළව ව්‍යවස්ථාපිතව නියම වී ඇති පියවර අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබිණි.

එබැවින්, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 23 (1) අනුවගන්තියෙහි දක්වා ඇති පරිදි 2025 වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව තිබිණි.

ඒ අනුව, රජයේ පුනරාර්වර්තන හා ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළ වියදම් ද ඇතුළුව 2025 වර්ෂයේ මුල් මාස 4ක කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.

වැඩි ම මුදලක් වෙන්කර ඇති අමාත්‍යංශ මොනවා ද?

ලබන වසරේ පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුමට අනුව වැඩි ම මුදලක් වෙන් කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයටයි. එය රුපියල් බිලියන 220.06කි.

එමෙන් ම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 186.02ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 170.47කි.

මේ අතර, අතුරු සම්මත ගිණුම මගින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 161.99ක් ද, ආරක්ෂක අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 142.95ක් ද වෙන් කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා මෙවර අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 92කි.

එමෙන් ම, කෘෂිකර්ම, කෘෂි සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 67.36ක් වෙන් කිරීමට ද අතුරු සම්මත ගිණුමෙන් යෝජනා කර තිබේ.

දිනය ආරම්භය ම උණුසුම් කළ දයාසිරි

අද දිනයේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භයේදී සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් නගන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් කතාබහක් ඇති විය.

එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ, විසර්ජන කෙටුම්පත් ඉදිරිපත් කිරීමේදී 2024 අගෝස්තු මස 8 වන දා අංක 44 දරන රාජ්‍ය මුල්‍ය පනත ගෙනා බවත් එහි 23 වන වගන්තිය යටතේ කටයුතු කළ යුතුව ඇති බව ත් ය.

"මේ අතුරු සම්මත ගිණුම ගැන පාර්ලිමේන්තුවේ අපි සම්මත කරපු කරුණු ගණනාවක් තියෙනවා. ඒක ගේන්නෙත් අපේ අග්‍රාමාත්‍යතුමිය ගෙනාව 23 වගන්තිය යටතේ. ඒකෙ මොකක් ද කියන්නේ. දෙසැම්බර් මස 31ක් වන දා වන විට ඉදිරි වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු නොලැබුවහොත් මුදල් අමාත්‍යවරයා විසින් මුදල් වෙන්කර යුතු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ය කියලා. මේ පනතක් තියෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මගේ වරප්‍රසාද උල්ලංඝණය වෙනවා," මන්ත්‍රීවරයා පැවසීය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ, "මේක මිඩියා ෂෝ එකක් කර ගන්න එපා," යනුවෙනි.

'ණය ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළට යන්න හැකි වේවි'

අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් වූ විවාදය ආරම්භ කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ වසර අවසානයේදී රට බංකොලොත් භාවයෙන් මිදී රටට ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළට යා හැකි යැයි විශ්වාස කරන බව ය.

"විශේෂයෙන් ම ඊළඟ අවුරුද්දේ පළමු මාස 4 රජයේ සේවාවන් සහ කටයුතු කරන්න වෙනත් ආකාරයකට මුදල් ලබා ගන්න බැරි නිසා අතුරු සම්මත ගිණුමෙන් එය ඉදිරිපත් කරලා අය පාර්ලිමේන්තුවේ විවාද කරලා සම්මත කර ගන්න සිද්ධ වෙනවා.

අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී) හැර රුපියල් බිලියන 1000කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා රු බි 425කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රු බි 1175ක් අවශ්‍යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600කි. රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600ක්. මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000යි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගැට ගැසිලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම.

විශේෂයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් සහ ස්වෛරී බැඳුම්කර අතර එකඟතාව මත අලුතෙන් ණය පත්‍ර ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. අපි උත්සාහයක ඉන්නවා මේ වැඩකටයුත්ත දෙසැම්බර් 31කට කලින් අවසන් කරන්න. යම් තාක්ෂණික කරුණක් හේතුවෙන් එය සතියක් දෙකක් ප්‍රමාද වුවහොත් එම අවිනිශ්චිතතාවය පදනම් කරගෙන ණය ගැනීමේ සීමාව රු බි. 4000ක් දක්වා වැඩිකර තිබෙනවා."

"ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඒ ගිවිසුමේ එකඟතාවයේ මූලික රාමුවෙන් අපි එළියට යන්නේ නැහැ, හැබැයි අපිට උචිත පරිදි ඒ ඒ කේෂ්ත්‍රවල අපි සාකච්ඡා යනවා. ඒ සාකච්ඡා ඇත්තට ම කරගෙන ගියා. ඒක සාර්ථක වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක මට්ටමට ඇවිල්ලා තියෙනවා. IMF අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරියේදී ගන්න තීරණය අනුව ලබන ජනවාරි හෝ පෙබරවාරි වෙද්දී මීළඟ වාරිකය ගැන අපිට දැන ගන්න පුළුවන්.

මේ වසර අවසානය වෙද්දී අපිට දැඩි විශ්වාසයක් තියෙනවා රටේ බංකොලොත්භාවය අයින් කරගෙන 2025 වසරේදී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම්වලින් ඉදිරියට එන්න." අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පැවසුවේ ය.

'සිස්ටම් නෝ චේන්ජ්... ඒත් අනුර චේන්ජ්'

2024 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ෂයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන්කර කරගත් මුදල ම 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද වෙන් කරගෙන තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මෙම විවාදයේදී අදහස් දක්වමින් පැවසීය.

"ඔබගේ චින්තය, ඔබගේ පොරොන්දුවලට පටහැනිව මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අපිට උත්තර ඕන. රනිල්ගේ වරප්‍රසාද වැඩි බව මොවුන් දිගට ම චෝදනා කළා. නමුත් අතුරු සම්මත ගිණුමේ ඒ පේන වෙනසක් නෑ. 2024 වසරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ශය අනුව වියදම් කර තිබෙන්නේ රුපියල් ට්‍රිලියන 1.4යි. 2025 වසරේ අනුර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වියදම ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් මේ අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර තිබෙනවා. ඒ ගාණමයි කිසි ම වෙනසක් නෑ. ඉතින් එකේ වෙනස මොකක්ද? සිස්ටම් එක නෝ චේන්ජ්. අනුර චේන්ජ්," කබීර් හෂීම් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේ ය.

මේ අතර,කබීර් හෂීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ මෙම ප්‍රකාශයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර අදහස් දක්වමින් කරුණු දක්වා සිටියා ය.

එහිදී මන්ත්‍රීවරිය පැවසුවේ, ලෝක ආහාර වැඩසටහන මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට දුන් ඩොලර් මිලියන 1,300ක් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත් වී ඇති බව ය. ඒ සියල්ල එකතු වූ විට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සමාන වී ඇති බව එම මන්ත්‍රීවරිය පිළිතුරු දෙමින් පැවසුවා ය.

"ජනාධිපතිගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් චෝදනාවක් ආවා. රනිල්ගේ වැය ශීර්ෂය තරම් ම අනුරගේ වැය ශීර්ෂය තිබෙන බව කිව්වා. අනුරගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සඳහා කෙරෙන වැය ශීර්ෂය සියයට හැට හතරකින් අඩුකර තිබෙනවා," එම මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවා ය.

මේ අතර, වාණිජ වෙළෙඳපොළ මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගැනීම් ඩොලර් බිලියන 12.9ක පිළිනොගන්නා බව ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර සිටියද අද ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමින් රුපියල් ට්‍රිලියන 3.2ක් එම ණය ගෙවීම සඳහා වෙන්කර ඇති බව ත්, මේ දක්වා ඊට අදාළ ගිවිසුමක් හෝ අත්සන් කර නොමැති බව ත් කබීර් හෂීම් මන්ත්‍රීවරයා යළි ත් වරක් චෝදනා කළේ ය.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විවාදයට එක්වෙමින් කියා සිටියේ, 2015 වසරේදී පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් සියයට 7 අගයට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගැනීම් සිදුකිරීමේදී ඒ ගැන කරුණු සොයා බැලුවේ ද? යන ගැටලුව පැන නගින බව ය.

"අපි කවුරුත් දන්නවා ඒ ගෙනාව ණය මුදල් ලංකාවේ තිබ්බ ආර්ථිකය ඇතුළත ගෙවන්න බැහැ කියලා. වෙලාවකට තරුණයින් හැටියට අපිට හිනා යනවා මේ ණය ස්ථාවරත්වය ගැන 2015 ආණ්ඩුවේ හිටපු අය ම කතා කරන එක ගැන ඇහෙද්දී. වර්තමාන ආණ්ඩුව රුපියල් බිලියන 3000ක ණයක් ගන්න සුදානම් වෙනවා කියලා විපක්ෂය කරපු කතාව. ඒක වැරදි කතාවක්," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් විවාදයේ හෙට (දෙසැ 6) දිනයේ ද පැවැත්වෙන අතර විවාදයෙන් අනතුරුව ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.