'ලෝකයේ සොඳුරුතම විනිසුරු': ෆ්‍රෑන්ක් කැප්‍රියෝ මිය යයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, යැං ටියැන්
- Role, බීබීසී
ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විනිසුරුවරයෙකු සහ සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක් ෆ්‍රෑන්ක් කැප්‍රියෝ වයස අවුරුදු 88 දී මිය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.
රෝඩ් අයිලන්ඩ්හි ඔහුගේ වසර 40ක වෘත්තීය ජීවිතය තුළ බොහෝවිට මිනිසුන්ගේ පෞද්ගලික තත්ත්වයන් සලකා බලමින් ඔහු තම තීන්දු තීරණවලදී කරුණාව සහ හාස්‍යය භාවිත කිරීම සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.
විනිසුරු කැප්‍රියෝට ඔහුගේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන Caught in Providenceහි වීඩියෝවලට සමාජ මාධ්‍ය තුළ බිලියන ගණනක් නැරඹුම් වාර හිමි වූ අතර, ඔහු "ලෝකයේ සොඳුරුතම විනිසුරු" යනුවෙන් හැඳින්විණි.
අග්න්‍යාස පිළිකාවක් හේතුවෙන් සිදුවූ මරණය පිළිබඳව ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ නිවේදනය කරන ලද අතර, එහිදී ඔහු ජනතාවගේ කරුණාව සහ යහපත්කම කෙරෙහි ඔහුගේ දැඩි විශ්වාසය සිහිපත් කර තිබිණි.
විනිසුරු කැප්‍රියෝ ඔහුගේ රූපවාහිනී වෘත්තිය ආරම්භ කිරීමට පෙර ඔහුගේ උපන් ගම වන ප්‍රොවිඩන්ස්, රෝඩ් අයිලන්ඩ්හි නඩු දහස් ගණනක් මෙහෙයවා තිබිණි.
නඩු විභාගය අතරතුර තමන් සමග වාඩි වීමට ඔහු ළමුන්ට ආරාධනා කිරීම සහ තමාගේ ම "කුඩා-විනිසුරු" සෙල්ලම් බඩුවක් හඳුන්වා දීම වැනි සුවිශේෂී හැසිරීම් නිසා එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ජනප්‍රිය විය.
ඔහුගේ උදෑසන චර්යාව එනම්, දත් මැදීම, පොතක අත්සන් තැබීම සහ ඔහුගේ ම වැඩසටහන නරඹන ආකාරය දැක්වෙන TikTok වීඩියෝවක් මිලියන 5කට වැඩි වාර ගණනක් නරඹා තිබේ.
2019 සම්මුඛ සාකච්ඡාවකදී, විනිසුරු කැප්‍රියෝ පැවසුවේ, ඔහුගේ අධිකරණ ශාලාවේ නඩු විභාගවලින් රෝඩ් අයිලන්ඩ්හි ජීවත් වන පුද්ගලයින්ගේ එදිනෙදා ජීවන රටාව සහ රට පුරා ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබිඹු කරන බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහුගේ පුත් ඩේවිඩ් කැප්‍රියෝ, රසිකයින්ගේ සහයෝගයට ස්තූති කළ අතර, තම පියාට ගෞරව කිරීම සඳහා " කරුණාව පතුරුවන ලෙස" ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
මිලියන 3.4ක් වූ සිය ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් වෙත සටහනක් තබමින්, විනිසුරු කැප්‍රියෝගේ බොහෝ කරුණාවන්ත ක්‍රියාවන්ට පෙළඹවීම සිහිපත් කරන සටහනක් තබා තිබිණි.
"ඔහුගේ සුහදශීලීබව, හාස්‍යය සහ කරුණාව ඔහුව දන්නා සියල්ලන් මත නොමැකෙන සලකුණක් තැබුවා," යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.
Caught in Providence වැඩසටහන Daytime Emmy සම්මාන තුනක් සඳහා නම් කරන ලද අතර, පසුගිය වසරේ විනිසුරු කැප්‍රියෝ සම්මාන දෙකකට නිර්දේශ විය.
මෙම වැඩසටහන පිටුපස සිටි සමාගම වන Debmar-Mercury, විනිසුරු කැප්‍රියෝගේ කරුණාවන්තභාවය සහ ප්‍රායෝගික ප්‍රවේශය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කර තිබිණි.
සම සභාපතිවරුන් වන මෝර්ට් මාකස් සහ ඉරා බර්න්ස්ටයින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "අපට ඔහු නැති අඩුව බොහෝ සෙයින් දැනෙනු ඇත," යනුවෙනි.
2023 දී අග්න්‍යාස පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමෙන් පසු, විනිසුරු කැප්‍රියෝ පැවසුවේ තමා ඊට එරෙහිව සටන් කිරීමට සූදානම් බවත්, ඔහුගේ අනුගාමිකයන්ගේ සහයෝගයට ස්තූති කරන බවත් ය.
ඔහුගේ අවසන් සමාජ මාධ්‍ය සටහනක, විනිසුරු කැප්‍රියෝ සඳහන් කර තිබුණේ, ප්‍රතිකාර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවකින් පසු ඔහු නැවත රෝහලට පැමිණ ඇති බවත්, තමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ඔහුගේ පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ය.
ඔහුගේ බිරිඳ ජොයිස් කැප්‍රියෝ 60 හැවිරිදි වියේ පසු වන අතර, ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. ඔහුට මුණුපුරන් හත් දෙනෙක් සහ මී මුණුපුරන් දෙදෙනෙක් ද වූහ.














