විදෙස් රටකට යාමට ගුවන් තොටුපළට යන ඔබව ආපසු හරවා එවන්න පුළුවන් කාට ද?

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ක්‍රම අතරින් ප්‍රධාන ම තැනක් ගනු ලබන්නේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ යි. ඒ අතරින් වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂෙත්‍රයක් වන්නේ ගෘහ සේවය යි.
එසේ ගෘහ සේවය සඳහා විදේශගත වන අතිමහත් බහුතරය කාන්තාවෝ වෙති.
සංචාරක වීසා මත ගොස් රැකියාවක් සොයා ගැනීමට හෝ සංචාරයක් සඳහා කාන්තාවන් විදේශගත වීමේදී ඇති වන ගැටලු පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙන්නේ සංචාරයක් සඳහා විදේශගත වීමට ගුවන් තොටුපළ වෙත ගිය කාන්තාවකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරිනියක ඊට ඉඩ නොදුන් අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් නිසාවෙනි.
'විසිට් වීසාවලින් යන්න කාටවත් බාධාවක් නැහැ'
සංචාරක වීසා මත විදේශගත වීමේදී කාන්තාවන්ට ඇති බාධා සහ දුෂ්කරතා පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.
එහිදී මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව පැරණි විඩියෝවක් බව කී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන අතිරේක සමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා නිසි සංචාරක වීසාවක් යටතේ විදෙස්ගත වීමට බාධාවක් නොමැති බව කියා සිටියේ ය.
"විසිට් වීසා යන්න කාටවත් බාධාවක් නැහැ, හරි විසිට් වීසා එකකට යනවා නම්. ප්‍රශ්නය තියෙන්නේ විසිට් වීසා එකක් භාවිත කරලා රස්සාවකට යනවා නම් තමයි ප්‍රශ්නය තියෙන්නේ කාර්යංශයේ ලියාපදිංචියක් නැතිව."
සංචාරක වීසා ලබාගෙන රැකියා සඳහා විදෙස්ගත වූ ශ්‍රමිකයන් විශාල පිරිසක් පිටරටවලදී ගැටලුවලට මුහුණ දෙන බවත්, එය වැළැක්වීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාව සිදු කරන බවත් වැඩබලන අතිරේක සමාන්‍යාධිකාරි සමාන්‍යාධිකාරිවරයා පැහැදිලි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ඕමාන්, UAE රටවල් දෙකේ තමයි ප්‍රධාන වශයෙන් ඔය ප්‍රශ්නය තියෙන්නේ. විසිට් වීසා ගිහිල්ලා අවසානෙදී ප්‍රශ්නයක් උද්ගත වුණා ම තානාපති කාර්යාලයට තමයි එන්නේ."
"අවසානයේදී කරදරයකට පත්වෙන්නේ ලාංකිකයෙක්. ඒ ලාංකිකයාට නිවැරදි මාර්ගෝපදේශ ලබා දීම කාර්යංශයේ තියෙන වගකීමක් වෙනවා සහ ඒ සඳහා නෛතික බැඳීමක් තියෙනවා. යම්කිසි කෙනෙක් ප්‍රශ්න කිරීමේදී එයා ඇත්තට ම විසිට් වීසා එකකට යනවා කියන එක අදහස් වෙනවා නම් ඒකට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ," වැඩබලන අතිරේක සමාන්‍යාධිකාරිවරයා පැවසීය.
පසුගිය කාලසීමාව තුළ සයිබර් වහල් කඳවුරුවලට මෙරටින් ශ්‍රමිකයන් යැවීමට මිනිස් ජාවාරම්කරුවන් භාවිත කරන ලද්දේ ද සංචාරක වීසා බව එම සිදුවීම් අධ්‍යනය කිරීමේදී පෙනී යයි.
එමෙන් ම ඕමානය, ඩුබායි සහ සිංගප්පූරුව වැනි රටවලට ගොස් රැකියාවක් සොයා ගැනීමට ද බොහෝ දෙනෙකු සංචාරක වීසා භාවිත කරන බව දැනගන්නට තිබේ.
සංචාරක වීසා ගැන ප්‍රශ්න කළ හැකි ද?
එහෙත් සංචාරක වීසා මත යමෙකු විදේශගත වීමේදී එය ප්‍රශ්න කිරීමට හෝ ඒ පිළිබඳව විමසීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයට නෛතික හැකියාවක් තිබේ ද? යන්න ගැටලුවකි.
"අපිට පුළුවන් ද බැරි ද කියන එක බලන්න වෙන්නේ කවුරු හරි කෙනෙක් එහෙම නම් උසාවියට ගිහිල්ලා උසාවි නිර්වචනයක් අනුව තමයි නේද?…. මට කියන්න වෙන්නෙත් ඔබතුමාට සරලව එහෙම ගත්තොත් ඔබතුමාටත් කියන්න බැහැ, මටත් කියන්න බැහැ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නීතිය පසිඳලන තැනට තමයි යන්න වෙන්නේ. පනත අනුව අපිට කරන්න පුළුවන් නිසා තමයි එන්ෆෝර්ස්මන්ට් එක කරන්නේ. යම් කිසි කෙනෙක් ඒකට චැලෙන්ජ් කරන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නැහැ. අපිටත් කියන්න පුළුවන්නේ විසිට් වීසා ගිහින් ඕන එකක් කර ගන්න, ගිහිල්ලා අපි බලන්නේ නෑ කියලා කාර්යංශය විදියට. රටක් විදියට අපිට එහෙම කියන්න බෑනේ," විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩබලන අතිරේක සමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසීය.
ගුවන් තොටුපොළේදී ඔබව ආපසු හරවා එවන්න පුළුවන් කාට ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සංචාරක වීසා මත විදෙස්ගත වීමේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධව "ඔබව ගුවන් තොටේදී හරවලා එවන්න පුළුවන් කාට ද? යනුවෙන් ආගමන විගමන සහ මානව හිමිකම් නීතිය පිළිබඳ ප්‍රවීණයෙකු වන නීතිඥ ලක්ෂාන් ඩයස් ෆේස්බුක් සටහනක් තබා ඇති අතර ඔහුගේ අවසරය මත බීබීසී සිංහල විසින් එය උපුටා ගන්නා ලදී.
'මේ ගැන පැමිණිලි තියෙන නිසා විස්තර ඇතුව ලියනවා. සමහර අය පැමිණිලි කරනවා ඒගොල්ලන්ව ඩුබායි හෝ වෙනත් රටවලට යනකොට ගුවන්තොටුපළේ ඉන්න කාර්යංශ නිලධාරීන් හරවලා එවනවා කියලා, හුඟාක් අයට දැනුමක් නෑ, කවුද හරවලා එව්වේ කියලා.
අපි බලමු එහෙම කරන්න පුළුවන් කාට ද කියලා.
ගොඩාක් වෙලාවට එහෙම හරවලා එවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් බව තමයි කියන්නේ,
ඒ කියන්නේ ඔවුන් හරවලා එවන්නේ ඔවුන්ට රැකියාවට යනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වෙන්න ඕන නිසා. 2009 SLBFE පනතට කරන ලද සංශෝධන මත.
ඒත් දැන් මේ වෙනකොට ගොඩාක් අය ඩුබායි හෝ වෙනත් රටවලට යන්නේ රැකියාවන් හොයන්න, රැකියාවට නොවේ,
ඒ හින්දයි ඔවුන් එක ගමනාන්තයකට පමණක් ටිකට් අරගෙන යන්නේ. ඒ ගොල්ලෝ ඒ රටවලට ගිහින් තමයි අලුත් රස්සාව හොයා ගන්නේ.
මෙතැනදී ඔබ ආපසු එන ටිකට් එකක් අරගෙන යනවා නම් ඔබට ප්‍රශ්න ගොඩක් අඩුයි.
එතකොට කාටවත් බය වෙන්න ඕන නෑ. ඔබ සංචාරයකට යනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යංශයට බලයක් නෑ ඔබව හරවල යවන්න.
එක් ගමනාන්තයකට අරගෙන ගියොත් තමයි, ඔබ ඒ අකරතැබ්බයට මුහුණ දෙන්නේ.
ඒත් එහෙම හරවල එවන්න පුළුවන් බියුරෝවට නොවේ ගුවන් සේවයට පමණ යි.
රැකියාවකට යන බව ඔප්පු කළ යුත්තේ කවුද?
'ඒක කරන්න ඕන ඔබට එහෙම චෝදනා කරන අය.!!!!!
ඒ හින්ද අහන්න ඇයි මම රැකියාවකට යනවා කියල ඔබ ආයතනය කියන්නේ කියල.??
ඒ හින්දා සමහර විට ඔවුන් ඔබට අනීතීක බලපෑම් කළොත් බය වෙන්න එපා තර්ක කරන්න.
අහන්න කාර්යංශය කියන්නේ කොහොම ද ඔබ සංචාරයකට නොවේ, රැකියාවකට යන්නේ කියලා. පනත ඉතා ම පැහැදිලියි මේ ගැන. සංචාරයකට යන අය නවත්වන්න බෑ.
කියන්න ඔබගේ ඥාතීන් හා මිත්‍රයෝ ඉන්නවා පිටරට, ඒ ගොල්ලෝ ඔබගේ වියදම හා නැවත එන්න ටිකට් දෙනවා කිව්ව නිසා ඔබ යන්නේ කියලා.
ඔබ බැඳිලා නෑ ඔබගේ පිටරට ඉන්න ඥාතීන් ගැන කාර්යංශයට කියන්න ඒක පුද්ගලිකත්වය.
ඒක ඔබගේ මානව හිමිකම සහ ඔබ මොබ යාමේ හා විදේශගත වීමේ නිදහස හා මානව හිමිකම.
ඔබට ව්‍යවස්ථාවෙන් දීලා තියෙනව හිමිකම, කාර්යංශයෙන් තමයි ඔප්පු කරලා කියන්න ඕනේ ඔබ යන්නේ රැකියාවකට කියලා.
මොක ද ඔබ කියනවා නම ඔබ ඩුබායි යන්නේ සංචාරයකට කියලා එක වැරදි නම් ඒක වැරදි හෝ බොරුවක් කියලා ඔප්පු කරන්න ඕන කාර්යංශය විසින්.
සංචාරවලට රට යන හැමෝම තමන් රට යන්නේ රස්සාවට නොවේ සංචාරයකට කියලා ගුවන් තොටේදී ඔප්පු කරන්න උණොත් පැය 10කට වත් කලින් එන්න වේවි හැතැප්ම ගණන් පෝලිම් තියේවි.'
සංචාරයකට යනවා නම්
'ඒ හින්දා ඔබ අනිවාර්යෙන් ම ඔබ නවතින හෝටලයේ බුකිං රිසවේෂන් දාගෙන යන්න. මොක ද රටකට ඇතුළු වෙනකොට ඔබට වීසා තිබුණත් රිසවේෂන් නැත්නම් හරවලා එවන නිසා.
ඒ හින්දා එහෙම හොටෙල් රිසවේෂන් එකක් නැතනම් ඔබව හරවලා යවන්න කාර්යංශයට බැරී වුණාට ගුවන් සමාගමට පුළුවන්. මොක ද එහෙම ඔබව හරවලා යැව්වොත් ආපහු ඔබව එක්කගෙන එන්න වෙන්නේ ගුවන් සමාගමට තමන්ගේ වියදමින් නිසා ඒ කියන්නේ ඔබව ඔබ යන රටේ ඉමිග්‍රේෂන් එකෙන් හරවලා යැව්වොත්.
හැබැයි එතැනදි වුණත් කාර්යංශයට කතාවක් නෑ.
ඔබ යාළුවෙක් එක්ක හෝ ඥාතියෙක් එක්ක හෝ ඉන්නවා කියනවා නම් ඒ අය ඉන්න තැන ගැන විස්තරය, දුරකතන අංක ඔබේ ගුවන් සේවා සමාගමට දෙන්න වෙනවා, ඒවා සූදානම් කරගෙන යන්න, හෝටලය වෙන් කරලා තියන ලේඛනය තියෙනවා නම් ඔයාව කාටවත් නවත්වන්න බෑ.'
ගුවන් සේවාවට කළ හැකි දේ
'එතැනදී මට එක ගමනාන්තයකට පමණක් ටිකට් තිබීම නිසා රට යන්න බෑ කියලා නීතියක් ලංකාවේ නෑ. මට ඩුබායි වීසා තියෙනවා නම් ඒ රටේ ඉන්න මට පුළුවන්. ඒ රටට යන්න ටිකට් තියෙනවා නම් මට ඒ රටට යන්න ගුවන් යානයට නගින්න පුළුවන්, මම ලංකාවේ වලංගු පාස්පෝට් එකක් භාවිත කරනවා නම් ලංකාවේ පුරවැසියෙක් වන මම රට යන එක වළක්වන්න කාටවත් බෑ,
සමහර විට ගුවන් සේවය සමහර කරුණු මත ඔබව හරවල එවනවා එතැනදී එක ගමනාන්තයකට පමණක් ටිකට් තිබීම ඔවුන් කාරණයක් කර ගන්නවා ඔබ සංචාරකයෙකු නම් මෙතැන තමයි සංචාරකයාගේ තත්ත්වය වෙනස් වන්නේ, මොක ද ඔබ සංචාරකයෙකු නම් ඔබ ආපසු එන ගුවන් ටිකට් පත රැගෙන ආ යුතු ම යි.
බියුරෝ එකට කළ හැකි දේ
මම රැකියාවකට යනවා කියලා ඔප්පු කළොත් විතරයි කාර්යංශයට බලය තියෙන්නේ මාව හරවල එවන්න, එතැනදී ඔබගේ විවාහ සහතිකය බලන්න රට ඉන්න යාළුවට කෝල් ගන්න කියන්න කාර්යංශයට බලයක් නැහැ.
එහෙම ඉල්ලීමක් කළත් ඒක ප්‍රතික්ෂේප කරන්න හා ඒ අය සමග මම මේ කියලා තියන කරුණු මත තර්ක කරන්න පුළුවන්. හැබැයි ඔබේ ගුවන් ගමන් බලපත්‍රයේ Work Permit එකක් අලවල තියෙනවා නම් එවිට ඔබ ලියාපදීංචි වෙන්න ම ඕනේ,
හැබැයි බොහෝමයක් අවස්ථාවල එහෙම Work Permit එක ලැබෙන්නේ ලියාපදිංචි වුණොත් පමණයි. ගුවන් ටිකට් පත මත ඔබව හරවා යැවීම කාර්යංශයේ කටයුත්තක් නොවේ.
ඒ ගැන ඔවුන්ට අහන්න අයිතියක් නැහැ. මොක ද නීතියට අනුව රට යන හැමෝම පරීක්ෂා කරන්න කාර්යංශයට බලය නැහැ.
ඔවුන්ට පරීක්ෂා කරන්න පුළුවන් සංක්‍රමණික සේවකයන් විතරයි,
එහෙම නම් පනතේ තියෙන්න ඕනේ විදේශගත වන සියලු අය පරීක්ෂා කිරීමට කාර්යංශයට බලය ඇත කියලා සහ එවිට ඔවුන්ට පුළුවන් වෙනම ම කවුළුවක් හරහා ඒක කරන්න. එත් එහෙම නීතියක් නැහැ.
සංචාරයට රට යන අයව පරීක්ෂා කරන්න හෝ ඒ අයගෙන් ප්‍රශ්න අහන්න ඔවුන්ට බැහැ. එහෙම කරනවා නම් හැමෝගෙන් ම කරන්න ඕනේ, එහෙම තෝරාගෙන අහන්න බැහැ. ඒකට එහෙම පොදු හැසීරීමක් තියෙන්න ඕනේ. සමානාත්මතාවක් තියෙන්න ඕනේ. ටයි කෝට් ඇඳගෙන එන අයවත් ඔවුන් පරීක්ෂා කරන්න ඕනේ, එතකොට ඒක සාධාරණ යි.
ගුවන්තොටට යන හැමෝම කාර්යංශයේ අනුමැතිය අරන් යන්න ඕන කියලා නීතීයක් නැහැ.
අනෙක එහෙම පරීක්ෂා කරන ක්‍රමවේදය කුමක් ද? මූණ බලල ද නවතා ප්‍රශ්න කරන්නේ. නැත්නම් ඇඳුම බලල ද ? සැක කරනවා නම් මොකක් ද සැක කරන නිර්ණායකය, මූණ බලල හෝ ඇඳුම වෙන්න බැහැ, පුරවැසියන් සියල්ල සමාන යි. අහඹු ලෙස තෝරා ගන්නවා කියනවා නම් එවිට එය පැහැදිලිව පේන්න තියෙන්න ඕනේ.
පරක්කු වෙනවා හෝ හදිස්සිය නිසා සමහර විට ඔබ බියුරෝ එක කරන දේ ගැන විරෝධය නොදක්වන්න පුළුවන් ඒත් පහත දෙවල් ඔබට කරන්න පුළුවන් ,
මේ වගේ කාර්යංශයෙන් කරදරයක් වුණා නම් ඔබ පහත පියවර ගන්න :
1. ගුවන් සේවා අධිකාරියට ලිඛිත පැමිණිල්ලක් කරන්න.
2. කාර්යංශයට එතැන ඉන්න නිලධාරියෙකුට ලිඛිතව විරෝධය භාර දෙන්න. ඒවා සියල්ලෙ ම පිටපත් තමන්ගේ ෆෝන් එකෙන් ෆෝටො ගන්න පසුව ලංකාවට ආවා ම හෝ ඥාතීන් හරහා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න නඩු යන්න."
'නළලේ සීල් එකක් ගහගෙන එනව ද?'
"2009 පනත අනුව විදේශ රැකියාවකට යනවා නම් තමයි ඔයාව බලන්න පුළුවන්. නැතිව රටින් යන හැම සංචාරකය ම ඔය වගේ චෙක් කරලා යන්න පුළුවන් ද, කොහොමද එහෙම චෙක් කරන්නේ ඔයා නළලේ සීල් එකක් ගහගෙන එනව ද මම යන්නේ සංචාරයකට මම යන්නේ රස්සාවකට කියලා," නීතිඥ ලක්ෂාන් ඩයස් බීබීසී සිංහල වෙත පැවසීය.
තමන් ද විදෙස්ගත වීමේදී එලෙස පරීක්ෂා කිරීමට ලක් කරන ලද අවස්ථාවේදී ඊට එරෙහි වී විරෝධය දැක්වූ බව ද නීතිඥ ලක්ෂාන් ඩයස් බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.
පිරිමින්ට පමණක් හිමි අවස්ථාව
ඇතැම් අවස්ථාවල විදේශ රැකියා ලබා ගැනීමේදී සංචාරක වීසා ලබාගෙන එම රටවලට ගොස් රැකියා සොයා ගෙන අදාළ වීසා ලබා ගත යුතුව ඇත.
එම අවස්ථාව ලබා ගැනීමේ යම් හැකියාවක් පිරිමින්ට ඇතත් පවතින නීතිය අනුව කාන්තාවන්ට ඉන් තහංචියක් පැනවී තිබේ. ඒ, කාන්තාවන් විදේශ රැකියාවක් සඳහා විදෙස්ගත වීමේදී පවුල් පසුබිම් සහතිකය ලබා ගත යුතු නිසාවෙනි.
"යම්කිසි කෙනෙක්, විශේෂයෙන් ම පිරිමි පාර්ශවය ගිහින් එහෙම රැකියාවක් ලබා ගත්තොත් අපි අවස්ථා දීලා තියෙනවා කාර්යංශ දත්ත පද්ධතියට අන්තර්ග්‍රහණය කරන්න අපේ දූත මණ්ඩලය හරහා. හැබැයි කාන්තාවක් ප්‍රථම වතාවට ගිහිල්ලා ඒ දේ කර ගත්තොත් එහෙම හැකියාවක් නැහැ, මොක ද ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා ලබා ගන්න ඕනේ පවුල් පසුබිම් කියන වාර්තාව. ඒක අනිවාර්ය එකක් නේ කැබිනට් අනුමැතිය අනුව. ඒක අනුව ඒක නොමැති කෙනෙකුට, ප්‍රථම වතාවට ගිය කෙනෙකුට කාර්යංශයේ දත්ත පද්ධතියට ලියාපදිංචි කිරීමේ හැකියාවක් නැහැ. එහෙම නොවන අනිකුත් අයට හැකියාව තියෙනවා."
'අසමානතාවක් හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්'
කාන්තාවන්ට පමණක් පනවා ඇති එම නීතිය "අසමානතාවක් හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්" බව පෙන්වා දුන් නීතිඥ ලක්ෂාන් ඩයස් ඊට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පැවසීය.
"ඒක මම අභියෝග කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අවස්ථා තුනකදි. ඒක පිරිමින්ට විතරක් නැති කරන්නේ ඇයි කාන්තාවට විතරක් දීලා තියෙන්නේ ඇයි, වතුකරයේ කාන්තාවන් යනකොට ඇයි වත්තේ සුපිරින්ටන්ඩන්ට්ගෙන් අවසර ගන්න ඕන. ඒවා අසමානතා. මේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම්."
ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඇති බලය
ආගමන විගමන දෙපාර්තුමේන්තුවට විදෙස් රටකට යාමට බලපොරොත්තු වන පුද්ගලයෙකු හරවා යැවීමේ හැකියාවක් තිබේ.
"නිසි පාස්පෝර්ට් එකක් නැති නම්, වීසා අවශ්‍ය රටකට වීසා එකක් නැති නම්, තොරතුරු ව්‍යාජ නම්, එහෙම නැති නම් ලංකාවේ උසාවියකින් ගමන් තහනමක් තියෙනවා නම්, ඒ වගේ රටින් බැහැරට යන සැකකරුවෙක් කියලා පොලිසියෙන් හරි බලයලත් අධිකරණයකින් කියලා තියෙනවා නම්, මෙයාව නවත්වගන්න කියලා එවැනි අවස්ථාවල ඉමිග්‍රේෂන් එකෙන් ප්‍රශ්න කරලා අරන් යනවා ඇතුළට."
එමෙන් ම ආයුධ, තහනම් භාණ්ඩ හෝ නීති විරෝධි භාණ්ඩ රැගෙන යන අවස්ථාවක අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට රේගුවට සහ ගුවන් තොටුපළ අධිකාරියට බලය ඇති බව ද නීතිඥ ලක්ෂාන් ඩයස් පැවසීය.














