චින්තන ගීතාල්: බාධක මැද බර ඉසිලීමට නව ජීවයක් දුන් ක්‍රීඩකයා

දශක දෙකක ක්‍රීඩා ඉතිහාසය තුළ, විවිධ හැල හැප්පීම්, තරග තහනම් අතුළු අනේක විද අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකා බරල ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කිලෝග්‍රෑම් 81 බර පන්තියේ රිදී පදක්කම ජයග්‍රහණය කර දීමට (ජූලි මස 14 වෙනිදා) සමත් විය.

ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 128ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 162ක බරක් ද එසවීමට සමත් වූ චින්තන, තරගයේ දී එසවූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 290 ක්.

මෙම තරගයට සහභාගී වනවිට ඔහුගේ වයස අවුරුදු 41යි මාස 06ක් සහ දින 15කි.

" ඇත්තටම මේක දිනන්න ඕන පදක්කමක්”

ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශුරතාවලිය සඳහා එක්වීමට අවස්ථාවක් උදාවේ ද යන්න ගැන අවසන් මොහොත දක්වා විශ්වාසයක් නොතිබූ බවත් එවන් අසීරුතා මැද, දිනු පදක්කමේ වටිනාකම ඉහළ බව ශ්‍රී ලංකාවට එම තරගාවලියේ දී රිදී පදක්කම දිනා දුන් චින්තන ගීතාල් විදානගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

" ඇත්තටම මේක දිනන්න ඕන පදක්කමක්. අපිට එන්න මුදල් ලැබුනේ නැහැ නේ. බොහොම අමාරුවෙන් මුදල් හොයාගෙන ආවේ. ඒ ඇවිල්ලා ඒ මුදලට වටිනාකමක් දෙන්න ඕන. ඒ නිසා මේ පදක්කම ගොඩක් වටිනවා."

"ඒ වගේම ගිය පාර කොමන්වෙලත් චැම්පියන්ෂිප් එකේදී මට තිබුණේ ලෝකඩ පදක්කමක්. ඒක රිදී පදක්කමක් දක්වා ඉහළට ගෙන්න ලැබුණ එක ගැන සතුටු වෙනවා."

තමන් ඇතුළු බර ඉසිලීමේ කණ්ඩායමට මුහුණ දීමට සිදුවූ අසීරුතාවයන් ගැන චින්තන මෙසේ අදහස් දැක්විය.

" මේ ටුවර් එක යන්න නෙමෙයි හිටියේ. මොකද දැන් සල්ලි එහෙම දෙන්නේ නැහැ නේ. මම දන්නේ නැහැ ෆෙඩරේෂන් ( බර ඉසිලීමේ සම්මේලනය) එකෙන් කොහොම සල්ලි හෙව්වද කියලා."

"අන්තිම මොහොත වෙනකෙනුත් අපිට කියලා තිබුනේ 'පැය 03ක් තියලා කියන්නම්, ලෑස්ති වෙලා ඉන්න කියලයි.' ඒ කියන්නේ එයාර්පෝට් ඒකට එන්න පැය තුනක් තියලා කියන්නම් කියලයි කිව්වේ. ඉතින් අන්තිම මොහොත වෙනකම් කිසිම ෂුවර් එකක් තිබුනේ නැහැ."

"මම හිතන්නේ ෆෙඩරේෂන් එකෙන් මොනවා හරි කරලා තමයි අපිව අන්තිම මොහොතේදී එව්වේ. "

"අපිට කලින් ජුනියර්ස්ලා කට්ටියක් තරගාවලියට සහභාගී වෙන්න ආවා. එයාලා අතින් සල්ලි වියදම් කරන් ආවේ. ඒ අයත් මුදල් තියෙන අය නෙමෙයි දුප්පත් අය. කොහොම හරි මේ තරගාවලියට සෙල්ලම් කරන්න ඕන නිසා ආවා. "

"අපේ සීනියර් ටීම් එකට සල්ලි දෙනවද නැද්ද කියලා විශ්වාසයක් තිබුනේ නැහැ. මාර කට්ටක් කෑවා." ඔහු පැවසුවේ ය.

බාධක මැද පැමිණි ගමනේ ප්‍රතිඵල

අනේක බාධක මැද තරගාවලියට එක්වූව ද එහි ප්‍රතිඵල තිබෙන බව ඔහු පැවසුවේ ය.

" අපේ සීනියර් ටීම් එකේ ගොඩක් අයට මෙඩල්ස් තියෙනවා. බැරි වෙලාවත් තරගාවලියට ආවේ නැත්නම් ලොකු අපරාධයක් වෙන්නේ. "

"මොකද රටේ ක්‍රීඩාවට මෙඩ්ල් නැති වෙනවානේ. රටටත් නැහැ, ක්‍රීඩාවටත් නැහැ. අපිට තරගයක් එන්නේ කලාතුරකින්. ඉතින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට හැම තරගයක්ම වටිනවා."

කවුද මේ චින්තන ගීතාල් කියන්නේ ?

1981 වසරේ දෙසැම්බර් මස 31ක් වෙනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උපත ලබන චින්තන ගීතාල් විදානගේ අධ්‍යාපනය ලබන්නේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයෙනි.

2002 වසරේ එංගලන්තයේ මැන්චෙස්ටර් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය චින්තනගේ පළමු ජාත්‍යන්තර තරගාවලියයි.

එම තරගාවලියේදී පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව හිමි නොවන චින්තන ගීතාල් 2006 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ බර එසවීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

සිව් වසරක තරග තහනමක්

ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය තුල සනිටුහන් කරමින් සිටි චින්තන ගීතාල් තහනම් උත්තේජක භාවිත කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවකට වැරදිකරු විය.

ඒ 2011 වසරේ චීනයේ පැවති ආසියානු බර ඉසිලීමේ තරගාවලියේ දී ඔහු විසින් ලබා දුන් මුත්‍රා සාම්පලයක තිබී තහනම් උත්තේජක හමුවූ අතර ඔහු තමන් නොදැනුවත්ව එය භාවිතා කළ බවට පිළිගනු ලැබුවේ ය.

මේ හේතුවෙන් ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් ඔහුට සිව්වසරක තරග තහනමක් පනවනු ලැබිය.

වයසට අභියෝග කරන තරගකරුවා

සිව්වසරක තරග තහනමෙන් පසු චින්තන ගීතාල් විදානගේ 2014 වසරේ දී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා තරග වැදුණේ ය.

එම තරගාවලියේ දී මුලික වටයෙන්ම ඉවත් වීමට ඔහුට සිදුවිය.

2018 වසරේ 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි හිදී පැවති අතර එහිදී චින්තන ගීතාල් (පිරිමි) කිලෝග්‍රෑම් 77 බර පන්තිය යටතේ තරග වැදුණු අතර ඔහුට එහිදී හිමිවුයේ පස්වන ස්ථානයයි.

2021 වසරේ උස්බෙකිස්තානයේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට චින්තන ගීතාල් විදානගේ සමත්වුණි.

(ජුලි 14 වැනිදා) ඉන්දියාවේ නව දිල්ලි හිදී පැවති පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ තරගාවලියේ දී කිලෝග්‍රෑම් 81 බර පන්තිය යටතේ රිදී පදක්කම දිනා ගැනීමට චින්තන ගීතාල් විදානගේ සමත් විය.

බර ඉසිලීමට නව ජීවයක් ගෙන දුන් චින්තන

චින්තන ගීතාල් විදානගේ විසින් ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ බර ඉසිලීමේ ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රය තුළ විශාල ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් විය.

බර ඉසිලීමේ තරග ඉසව් සඳහා බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ උනන්දුවක් ඇති විය.

ඉන් පසුව මෙරට බර ඉසිලීමේ කේෂ්ත්‍රය නියෝජනය කිරීමට පොළොන්නරුව, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ක්‍රීඩාවට පිවිසීමට මුලික වුයේ චින්තන ගීතාල් විදානගේ ලබා දුන් පුර්වාදර්ශය විය.

2010 වසරේ ඉන්දියාවේ නව දිල්ලි හිදී පැවැත්වු පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට ද ඔහු සමත් විය.

2010 ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට චින්තන සමත් වූ අතර ඔහු එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

ඉදිරිය ගැන කල්තියාම සුදානම් වෙන්න

ඉදිරියේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා තරගාවලියට දැන් තියාම සුදානම් වුවහොත් පදක්කම් 2-3ක් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකාවට අගනා අවස්ථාවක් ඇති බව ඔහු පැවසුවේ ය.

" තව අවුරුදු තුනකින් කොමන්වෙල්ත් ගේම්ස් එනවා. තව අවුරුදු තුනක් වගේ තියෙන්නේ. ඒක මහ ලොකු කාලයක් නෙමෙයි. ලබන අවුරුද්දේ තියෙන තරගාවලිය කොමන්වෙල්ත් එකට සිලෙක්ෂන් එකක්. "

"අපිට අවුරුදු දෙකක් තුනක් තියෙනවා කියන එක මහ ලොකු කාලයක් නෙමෙයි. එකට ලංකාව දැන් ඉදලම ප්ලෑන් කරන්න ඕන."

"මේ ඉන්න ක්‍රීඩකයෝ එකතු කරගෙන ප්ලෑන් කලොත් අපිට තව පදක්කම් ටිකක් දිනා ගන්න පුළුවන් වෙයි. නැත්නම් ඉතින් මෙඩ්ල් එකෙන් දෙකෙන් ෂේප් වෙන්න වෙයි. "

"ඉදිරි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩා කරනවාද කියන එක ගැන මගේ ලොකු සැලසුමක් තවම නැහැ. මොකද මේ රටේ තියෙන ආර්ථිකයත් එක්ක. "

"අඩුම තරමින් ක්‍රීඩකයින්ට අමාත්‍යාංශයෙන් දීමනාවක්වත් වෙලාවට ලැබෙන්නේ නැහැ. රටේ තියෙන වියදමත් එක්ක ක්‍රීඩකයෙක්ට මේන් ටේන් වෙන්න හරි අමාරුයි."

"විශේෂයෙන් කොමන්වෙලත් ගේම්ස් සහ ඔලිම්පික් වගේ යන්න ඉන්න අය. "

"මාසයකට ක්‍රීඩකයෙක්ට අවශ්‍ය විටමින් ටික ගන්නම රුපියල් විසිදාහක් විතර යනවා. කොමන්වෙලත් ගේම්ස් සහ ඔලිම්පික් වගේ සෙල්ලම් කරන්නනම් අපි හොද තැනක ඉන්න ඕන."

"මොකද අපි සෙල්ලම් කරන්නේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවල ක්‍රීඩකයින් එක්ක. ඒ අය නවීණ තාක්ෂණයත් එක්ක ඉන්නේ. පහසුකම් තියෙනවා. "

"අපේ ක්‍රීඩකයින්ට එහෙම තාක්ෂණය වගේ දේවල් නැහැ. ඔවුන් සටන් කරන්නේ හිතේ තියෙන හයියට. අපේ අයට මෙඩ්ල් ගන්න පුළුවන් හිතේ හයිය තියෙනවා. හැබැයි යන වාතාවරණය එක්ක ක්‍රීඩකයින් මානසිකව වැටිලා ඉන්නේ. ඒ අයට ඕන ඒ සපෝර්ට් එකයි. '

"සමහර ක්‍රීඩකයින්ට ජීවත් වෙන්න සටන් කරන්න වෙලා තියෙන්නේ. ඇත්තටම ත්‍රිවිධ හමුදාවට පිං සිද්ධ වෙන්න රටේ ක්‍රීඩාව ආරක්ෂා වෙලා තියෙනවා. ලැබෙන පඩියෙන් මනුස්සයෙක්ට මාසයක් ජීවත් වෙන්න බැරි කොට කොහොමද ඉන්ටර්නැෂනල් ක්‍රීඩකයෙක් මේන්ටේන් වෙන්නේ.

'අපිට තව අවුරුදු තුනක් තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයයි, ඔලිම්පික් කමිටි එකයි හරියට කතා වෙලා ප්ලෑන් කලොත් අඩුම මෙඩ්ල් දෙක තුනකට වැඩිය දිනාගන්න පුළුවන්.'

"එහෙම නැතිව තරගාවලියට මාස දෙක තුනක් තියලා ඕවා කරන්න බැහැ. හරියට සූර පප්පා බෙහෙත් බොනවා වගේ දේවල්. "

"උසේන් බෝල්ට්ලත් අවුරුදු හතරක් පුහුණුවීම් කරනවා ඔලිම්පික් වෙනුවෙන්. අපිත් ඒ වගේ අවුරුදු හතරක් අල්ලන් ඉන්න ඕන. හැබැයි අපි තවමත් පරක්කු නැහැ. හොඳ කණ්ඩායමක් ඉන්නවා අපිට බර ඉසිලීමෙන්." චින්තන පැවසුවේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හයක් දිනා ගැනීමට සමත් විය.