වේගවත්ම ටෙස්ට් කඩුලු 50 දවා ගත් ප්‍රභාත් ජයසුරිය කවුද ?

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ටෙස්ට් කඩුලු 50 දවා ගනු ලැබූ දඟ පන්දු යවන්නා බවට ප්‍රභාත් ජයසුරිය අද (අප්‍රේල් 28වැනිදා) වාර්තා පොත් අතරට එක් විය.

ඔහු එම දක්ෂතාව දැක්වුයේ තමන් ක්‍රීඩා කරන 07 වන ටෙස්ට් තරගයේදී වීම විශේෂත්වයකි.

ඒ අනුව ප්‍රභාත් ජයසුරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 50ක් දවා ගනු ලැබූ පන්දු යවන්නා ලෙසට ද ඉතිහාසයට එක්විය.

මීට අමතරව ප්‍රභාත් ජයසුරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 50 දවා ගනු ලැබූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන සම තැනට පත්ව තිබේ.

ඒ, මිට පෙර එම දස්කම දක්වා තිබු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලෙන්ඩර් සම කරමින්ය.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 50ක් දවා ගත් පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු වන චාර්ල්ස් තෝමස් ටර්නර්.

ඔහු ටෙස්ට් තරග 06කදී කඩුලු 50ක් දවා ගෙන තිබේ.

මේ ජයසුරිය කව්ද ?

1991 වර්ෂයේ නොවැම්බර් මස 05 වෙනිදා මාතලේ ප්‍රදේශයේ උපත ලබන ප්‍රභාත් ජයසුරිය, මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.

මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ප්‍රභාත් ජයසුරිය මාතලේ ක්‍රීඩා සමාජය සහ කොල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

ප්‍රභාත් ජයසුරිය පළමු වරට ශ්‍රී ලංකා ජාතික පිල නියෝජයනය කිරීමට අවස්ථාව උදාවුයේ 2018 වර්ෂයේදී දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරග සංචාරයේ දී.

ඉන් පසුව ප්‍රභාත් ජයසූරියට ටෙස්ට් ක්‍රිකට් තරග වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාවන්නේ 2022 වර්ෂයේදී පැවති ඕස්ට්‍රේලියානු තරග සංචාරයේදීයි.

ඔහු එම සංචාරයේදී ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ ඉනිම් ද්විත්වයේදී ලකුණු 177 කට කඩුලු 12ක් දවා ගනු ලැබුවේය.

ඉන් පසුව ඔහු විසින් පිළිවෙලින් පාකිස්ථානය සමග පැවති ටෙස්ට් තරග සංචාරයේදී කඩුලු 17ක් ද, නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරග සංචාරයේදී කඩුලු 04ක් ද දවා ගැනීමට සමත් විය.

මේ වන විට පැවැත්වෙන අයර්ලන්ත සංචාරයේදී පමණක් ප්‍රභාත් ජයසුරිය මේ දක්වා දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 17කි.

ටෙස්ට් තරග 07කදී ඉනිම් 13ක් තුල කඩුලු 50ක් දවා ගනු ලැබූ ප්‍රභාත් ජයසුරිය ගේ පන්දු යැවීමේ සාමාන්‍යය 22.82ක් වෙයි.

එමෙන්ම 2022 ජූලි මාසය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිරිමි ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ද ප්‍රභාත් ජයසුරිය සමත් විය.