ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මඩකලපුව මයිලත්තමඩු කිරි ගොවි ගැටළුවේ අවසන් වින්දිතයින් කිරි ගවයින් ද?
මඩකලපුව - මයිලත්තමඩු, මාදවනෙහි ප්‍රදේශයේ බලහත්කාරයෙන් පදිංචිව සිටින සිංහල ගොවීන් 13 දෙනෙකුට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පසුගියදා එරාවුර් ජංගම අධිකරණ නියෝගය කළේ ය.
ඒ, එම ගොවීන්ට එරෙහිව මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පනවා තිබූ නඩුවක් නොවැම්බර් 13 වැනි දා විභාගයට ගත් අවස්ථාවේ දී ය.
එම අධිකාරියට අයත් තෘණභූමියකැ යි පැවසෙන ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත වන ගොවීන් 13 දෙනෙකුට එරෙහිව පසුගිය සැප්තැම්බර් 22 වනදා මෙම නඩුව පවරා තිබේ.
ඒ අනුව අදාළ නඩු තීන්දු ප්‍රකාශයට පත් කරමින්, අදාළ ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට එදින අධිකරණය හමුවේ පෙනී සිටි ගොවීන් 13 දෙනාට නියෝග කෙරුණි.
මයිලත්තමඩු, මාදවනෙයි තෘණ භූමියේ බලහත්කාරයෙන් ආක්‍රමණය කර වගාවන් සිදු කරනු ලබන ගොවීන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ කිරි ගොවීන් ආරම්භ කර ඇති විරෝධතාව අඛණ්ඩව 69 වන දිනටත් ක්‍රියාත්මක වේ.
විරෝධතාවට එක්වෙමින් සිටින කාන්තාවක් බීබීසි සිංහල සේවය වෙත මෙලෙස අදහස් පළ කළා ය.
''අපි දවස් 60කට වැඩි දින ගණනක් ගවයින් වෙනුවෙන් තණබිම් දෙන ලෙසට බල කරමින් විරෝධතාවයේ නිරත වෙනවා. මේ වෙනකම් යුක්‍තිය ලැබිලා නැහැ. අපිට අසාධාරණ සිදුවෙනවා විතරයි.
"එදා යාපනය විශ්වවිද්‍යාලයයේ සිසුන් ඇවිත් අපිට සහයෝගය පළකරලා මෙහෙන් යද්දී මාර්ගය හරස් කරලා ළමයින් හය දෙනෙක්ව අත්අඩංගුවට අරන් එයාලාව උසාවි වෙනකම් අරන් ගියා. එයාලා ආවේ අපි වෙනුවෙන් යුක්‍තිය ඉල්ලන්න. වෙන කිසිම දෙයක් ඉල්ලන්න නෙවෙයි ආවේ. අපිට අවශ්‍ය මේ තණබිම විතර යි.
"අපේ පිරිමි අය දුක්විඳිනවා බලාගෙන ඉන්න බැහැ. සතුන්ට හක්කපටස් දෙනවා. උගුල් අටවනවා. පොරවෙන් කොටනවා. ගොඩාක් අය මේ සතුන්ව විශ්වාස කරලා තමා ජීවත් වෙන්නේ. අපේ දරුවන්ට උගන්වන්න සල්ලි නැහැ. අපි හිත් වේදනාවට පත් වෙලා තමා මේ විරෝධතා කරන්නේ. එහෙම ඉන්න අපිව අත්අඩංගුවට ගන්නවා. හරක් මඩුවලට ගිනි තිබ්බා. මේවාට අපි මොනවා කරන්න ද? කවුරු හරි අපිට යුක්‍තිය ඉටු කරන්න. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මයිලත්තමඩු මාදවනෙයි තණ බිම් ටික ගවයින් වෙනුවෙන් බේරලා දෙන්න. මේ විරෝධතාවයට සම්බන්ධ 36 දෙනෙකුට නඩු ගොනුකරලා තියෙනවා. අපි පාරට බැහැලා සටන් කළේ ගවයින් වෙනුවෙන්."
දේශීය කිරි නිෂ්පාදනයට මඩකලපුවෙන් දෛනිකව කිරි ලීටර් 3000ක්
ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබා දෙන දිස්ත්‍රික්කය ලෙස මඩකලපුව හඳුන්වා දිය හැකි ය.
එම දිස්ත්‍රික්කයේ විවිධ ජාතීන් නියෝජනය කරනු ලබන කිරි ගොවීන් 992 දෙනෙකු සිටින බවත්, ඔවුන් දෛනිකව කිරී ලීටර් 3,000කට අධික ප්‍රමාණයක් දේශීය නිෂ්පාදනයට එක් කරන බවත්, ගොවි පවුලවල සාමාජිකයන් 3,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ගොවිජන සේවා කිරි ගොවි සංගමයේ නියෝජිත සී. නිමලන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, මෙම භූමිය ගොවීන්ට ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කර තිබුණ ද ඊට පටහැනිව රාජ්‍ය අනුග්‍රහය ලත් පිරිස කටයුතු කරන බව ය.
"2019/20 කාලයේ දී ගවයින් සඳහා තෘණ බිම් හෙක්ටයාර 21,000ක් අමාත්‍යංශය විසින් දුන්නා. ඊට පස්සේ 19,000ක් දෙනවා කියල යි ලියුමක් දුන්නේ, අනුමැතිය දුන්නේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කියන නමින් හෙක්ටයාර 3275ක් දෙන්නම් කියල 3020 පස්සේ අක්කර 7000ක් දෙන්නම් කියලා කිව්වා. නමුත් ඒක දුන්නේ නැහැ.
"දැන් අපේ ගවයින් වෙනුවෙන් වෙන් කරලා දෙන්නම් කියපු පැතිවල සිංහල ජනයාව ගෙනත් පදිංචි කරනවා. මේක අපේ ආර්ථිකය කඩා වට්ටවන්න කරන දෙයක්. මේ පදිංචි කිරීම්වල දී අපිට වෙන්නේ තවදුරටත් කැලෑවට කිරි ගවයින්ව දක්වන්න යි. එහෙම වුණාම සතුන්ගේ ගොදුරට මේ කිරි ගවයින් ලක් වෙන්න පුළුවන්. දැනටමත් ගවයන් ගොඩාක් මේ පදිංචිකරුවන් විසින් මරලා දාලා තියෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය වසර ගණනාවක් පුරාවට කිරි ගොවීන් සහ සිංහල ගොවීන් අතර පැවති ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මේ දක්වා ගවයින් 5,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන් කර, තුවාල සිදුකර සහ ඝාතනය කර ඇති බවට විරෝධතාවයේ නිරත කිරි ගොවියෙකු සඳහන් කළේ ය.
දෙමළ කිරි ගොවීන් ආරම්භ කර ඇති විරෝධතාව
මඩකලපුව - මයිලත්තමඩු, මාදවනෙහි තෘණ භූමිය නිරීක්ෂණ කිරීමට ගොස් සිටි ඔහු ඇතුළු ආගමික නායකයින්ට සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එහි ගොවිතැන් කටයුතුවල නිරත වන 50කට අධික පිරිසක් මරණ බිය ඇති කළ බව කන්දෙයියා ජගදාස් පියතුමන් බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කරමින් පැවසුවේ ය.
"කිරි ගොවීන්ගේ මේ විරෝධතාව ජීවනෝපාය සඳහා වන අරගලයක්. තමන්ගේ ජීවනෝපාය සඳහා ගව පාලනය සිදු කළ මෙම ජනතාව අවුරුදු 50කට ආසන්න කාලයක් මේ භූමිය සිය ගවයින්ට තණ කැවීමට භාවිත කළා. ඇත්තට ම මේක මඩකලපුව දිස්ත්‍රික්කයේ මායිම් පැත්තට වෙන්න තියෙන තැනක්. 70 ගණන්වල දී මේක කිරි ගොවීන් සඳහා ලබා දීලා තියෙනවා.
"පසුගිය අවුරුදු 4ක ඉඳන් මේ තෘණ භූමිය උදුරාගන්න අසල්වාසී ගම්වල ඉන්න සිංහල ජනයාව ගෙනත් මෙහෙ පදිංචි කරවනවා. ගොවිතැන් කරනවා කියන නමින් මේ පදිංචි කිරීම සිදු කරනු ලබනවා. මේකේ කාරණා තුනක් තියෙනවා. එකක් කිරි ගොවියන්ගේ ආර්ථිකය කඩා දමන එක. දෙවැනි එක ගොවිතැන් ජනපදකරණය යටතේ භූමිය ආක්‍රමණය කිරීම. තුන්වෙනි එක කිරි ගොවීන්ව එම ප්‍රදේශයෙන් ඉවත් කරන එක. මේ ඉඩම් ආක්‍රමණයට එරෙහිව පැවැති අධිකරණ කටයුතු එක්ක මේ කටයුත්ත පොඩ්ඩක් අඩුවෙලා තිබුණා. නමුත් දැන් ඉතා දරුණු විදිහට කිරි ගොවීන්ගේ තෘණ බිම් ආක්‍රමණය කරලා, නිතරම ගවයින් ඝාතනය කරන එකත් දිගින් දිගටම සිදු වෙනවා.
"පසුගිය අගෝස්තු මාසයේ 23 වෙනිදා අපි කණ්ඩායමක් විදිහට මයිලත්තමඩු කිරි ගොවීන්ව හමුවෙලා තෘණ බිම් ගැන හොයලා බලන්න ගියා. ඒ වෙලාවේ එම ප්‍රදේශ ගිනි තියලා, එම ප්‍රදේශ හේන් ගොවිතැනට සුදුසු විදිහට සකස් කරනවා අපි දැක්කා. අපි ඒවා නිරීක්ෂණය කරලා එද්දි, ඉඩම් ආක්‍රමණය කරලා තියෙන අය යි, ඒ ඉන්න බෞද්ධ භික්ෂුන්වහන්සේ කෙනෙකුත් අපේ වාහනය හරස් කරලා නතර කරලා වාහනයේ යතුර අරගෙන කිව්වා, ඔයාලාව මේ වාහනය ඇතුළට දාලා ගිනි තිබ්බොත් තමා මගේ කේන්තිය අඩු වෙන්නේ කියලා. කොහොම හරි පැය තුනක් අපිව වාහනය ඇතුළේ හිර කරලා තියාගත්තා.
"ඒ වෙලාවේ හිතුණ දෙයක් තමා, අපිට මේ තරම් තර්ජනය කරනවා නම්, අපිත් එක්ක ආපු හින්දු පූජකවරයෙක්ට පහර දෙන්න උත්සහ කළා. ඊට පස්සේ අපි මුහුණ දුන්න අත්දැකීම සහ දැක්ක දෙය අනිත් අයට කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ වගේ කැලෑ නීතියක් රජ කරනවා කියන එක කතාබහකට ලක් වුණා ම, කිරි ගොවීන් තවත් බලපෑමකට ලක් වුණා. ගවයින් ඝාතනය කරන ප්‍රමාණය වැඩි වුණා.
"කිරි ගොවියන් ඉල්ලන්නේ, මේ තෘණබිම ආක්‍රමණය කරන්න එපා. ගවයින්ගේ ඉඩම නැවත දෙන්න කියල යි මේ විරෝධතාවයේ නිතර වෙන්නේ. මයිලත්තමඩු - මාදවනෙයි ප්‍රදේශයට ගොවිතැන් කරන්න ආපු පිට දිස්ත්‍රික්ක ගොවීන්ට අදාළ දිස්ත්‍රික්කයෙන් වගා ඉඩම් ලබා දෙනවා. එයාලා එතැනින් ඉවත් වෙන්න අවශ්‍ය යි. කිරි ගොවීන්ට මේ තණ බිම භාවිත කරන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා දෙමළ දේශපාලනඥයන් ව හමුවුණ වෙලාවේ කියලා තිබුණා. නමුත් ජනාධිපතිවරයාගේ පොරොන්දුව පවා ඉටු නොකර සාධාරණ විදිහට සටන් කරන කිරි ගොවීන්ට තර්ජනය කරනවා. ඒ සාමකාමී විරෝධතාවයට සහාය පළ කරන්න ආපු සිසුන්ව අත්අඩංගුවට ගන්නවා. යුක්තිය ඉටු කරන්නේ නැතිව, රටේ නායකයාගේ පොරොන්දුව ඉටු කරන්නේ නැතිව, රාජ්‍ය යාන්ත්‍රණය රට තුළ අවනීතිය ක්‍රියාත්මක කරනවා. මේක කිරි ගොවීන්ගේ අරගලය ජීවිතයත් - මරණයත් අතර සටනක්."
මේ අතර 2023.10.20 වනදායින් පසුව එරාවුර් පට්ටු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටත්, කෝරලෙයි පට්ටු දකුණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටත් අයත් ප්‍රදේශ ඇතුළත් කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය මායිම් ලකුණු කර ඇති අතර එම ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක වී වගාවන් සිදු කර ඇති බව සඳහන් වේ.
එමෙන් ම වගාවන් සිදු කරනු ලබන ගොවීන් විසින් කිරි ගවයින්ට සිදු කරන පහරදීම්, වෙඩි තැබීම්, හක්ක පටස් ලබාදීම් සහ තුවාල සිදු කිරීම් සම්බන්ධයෙන් කිරි ගොවීන් නිරතුරුව ම පොලිසිය පැමිණිලි සිදු කරමින් සිටියි.
එහි ආසන්නතම සිදුවීම ලෙස පසුගිය දා වයස අවුරුදු 4ක් වන වසු පැටවෙකුට වෙඩි තබා, ගෙල සිරුරෙන් වෙන්කර එම සත්ත්වයාගේ මස් ද රැගෙන ගොස් ඇති බවට කිරි ගොවීහු පැවසූහ. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි සිදුකර ඇති බවත්, මීට පෙර සිදු කරනු ලැබූ පැමිණිලි සම්බන්ධයෙන් මේ දක්වා නිසි පියවර ගෙන නොමැති බවත් ඔවුහු චෝදනා කළහ.
මයිලත්තමඩු තෘණ භූමිය කේන්ද්‍ර කරගනිමින් ගව පාලනයේ නිරත වන සමස්ත ගොවීන් විසින් කිරි ගවයින් 175,855ක් සහ මී ගවයින් 324,145ක් පාලනය කරයි.
2012 -2023 දක්වා සතුන් 6,948 දෙනෙකු විවිධ වධ හිංසාවලට
2012 වසරේ සිට 2023 වසර දක්වා සතුන් 6,948 දෙනෙකු විවිධ වධ හිංසාවලට ලක්ව ඇත. ඉන් ගවයින් 4,463 දෙනෙකු අතුරුදන් වී ඇති අතර සොරකම් කරන ලද සංඛ්‍යාව 500කි. ගවයින් 300 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි තැබීම්වලින් තුවාල ලද ගවයින් සංඛ්‍යාව 425කි.
ගවයින් 100 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ඇති අතර විදුලි සැර වැදීමෙන් ගවයින් 500ක් ද, වස ඉසින ලද තණකොළ ආහාර ගැනීමෙන් ගවයින් 575 දෙනෙකු පමණ මියගොස් ඇති බව ද ගොවීහූ ප්‍රකාශ කරති.
මේ අතර නොවැම්බර් මස 11 වනදා මයිලත්තමඩු ප්‍රදේශයට ඇතුළු වන මාර්ගයේ පොලිස් මාර්ග බාධකයක් කරදියනාරු පොලිසිය විසින් ඉදිකර ඇති අතර ඒ සඳහා දෙහිඅත්තකණ්ඩිය සහ මහඔය යන පොලිස් ස්ථානවලින් නිලධාරින් අනුයුක්ත කර තිබේ.
පිට දිස්ත්‍රික්කවලින් අදාළ තෘණ භූමියට ඇතුළුවීම තහනම් කර ඇති නමුත් ඊට අදාළ උසාවි නියෝගයක් හෝ ලිඛිත නියෝගයක් එම නිලධාරින් සතුව නැත.
'1961 වසරේ ඉඳලා මේක සිංහල ගම්මානයක්'
කෙසේ වෙතත්, දිවුලපතාන සහ මයිලත්තමඩු යනු ප්‍රදේශයන් දෙකක් බව මාදුරුඔයේ දකුණු ඉවුර ගොවින් සුරකීමේ සංවිධානයේ සංවිධායක ජේ. ඒ. චන්දන කුමාර ජයසිංහ බීබීසි සිංහල සේවය සමග අදහස් පළ කරමින් කියා සිටියේ ය.
මහවැලි අධිකාරිය විසින් නඩු පවරා ඇති ප්‍රදේශයේ ගොවීන් 23 දෙනෙකු ගොවිතැන් කරන බවත් ඉන් 13 දෙනෙකුට පමණක් නඩු ගොනු ඇති බවත් ඔහු පැවසීය.
"2009 අවුරුද්දේ ඉඳලා මේ කියන තැන ගොවීන් 23 දෙනෙකු වගාවන් කරමින් ඉන්නවා. එහෙත් මහවැලිය නඩු දාලා තියෙන්නේ 13 දෙනෙකුට විතර යි. ඒකෙන් පැහැදිලි වෙනවා මෙයාලා වැඩෙන් භාගය යි කරලා තියෙන්නේ කියලා. දිවුලපතාන කියන ගම කන්දේගම වෙල්යාය, නිදන්වල වෙල්යාය, පුබුදුගම, දම්මින්න, අරලගංවිල කියන ගම්වල මායිමට වෙන්න තියෙන ගමක්. මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමා පාලනය වෙන්නේ. 2016 වසරේ ගැසට් එකකින් ඒක මාදුරු ඔය දකුණු ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියක් විදිහට නම් කළා."
මෙම ගම්මානයේ සිටින ජනතාව 1961 වසරේ සිට මෙම ප්‍රදේශවල පදිංචි සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව ද හෙතෙම අවධාරණය කර සිටියේ ය.
"1961 වසරේ ඉඳලා මේක සිංහල ගම්මානයක්. යුද්ධ කාලයේ දී ඒ අය මේ ගමින් පිටත්වෙලා ගියා. 2009 වසරේ යුද්ධය ඉවර වුණාම එයාලා ආයෙත් මෙහෙට ආවා. අවේ මුලින් හිටපු පරම්පරාවේ අය නෙවෙයි. තුන්වෙනි පරම්පරාවේ අය. ඡන්ද හිමි නාමලේඛනයේ පවා විස්තර තියෙනවා.
"1961 කාලයේ හිටපු පාලකයන් මේ අයට ඉඩම් ලියලා දීලා තිබුණා. ඊට පස්සේ මෑතක දී සුමනරතන හිමියන්ගේ මැදිහත් වීමෙන් නිවාස 25ක් හදලා දුන්නා. 2015 දී බලයට පත් වුණ යහපාලන ආණ්ඩු මෙතැන හිටිය ගොවියන්ව අයින් කළා. ඒත් අර 23 දෙනා ගියේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවාම නැවතත් මේ ජනතාව ඇවිත් ගොවිතැන් කරගෙන හිටියා. ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත්ගේ මැදිහත්වීමෙන් මේ මිනිසුන්ට තාවකාලික ලිපි ලේඛන හදලා දුන්නා.
"මාදුරුඔයේ දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විශාල වැව් තුනක් ඉදිකෙරෙනවා. ඒකත් දැන් අවසන් අදියරයේ තියෙන්නේ. මේ ගොවීන් වී, මුං, කවුපි සහ මඤ්ඤොක්ක කියලා හෙක්ටයාර් 10,000ක් විතර වගා කරලා තියෙනවා. මඩකලපුවේ ඉඳන් කිලෝමීටර් 48ක් දුරින් තමා මේ කියන හෙක්ටයාර් 65,000ක් විතර වන භූමිය පිහිටලා තියෙන්නේ. සිංහල ගම්මානයක් මැදින් තෘණ භූමියක් ඉල්ලන්නේ කුමන පදනමකින් ද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. මේ ඉඩමෙන් 75%ක් අම්පාර දිස්ත්‍රික්කයටත්, ඉතුරු 25% තමා මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන්නේ. මේ ගම්මානයේ පවුල් 550කට වැඩිය පිරිසක් ජීවත් වෙනවා."
කිරි ගවයින්ට මෙම සිංහල ගොවීන් විසින් සිදු කරනු ලබන බව කියන තාඩන පීඩන සම්බන්ධයෙන් ද අප ප්‍රශ්න කළෙමු.
"ඇලෙන් එහා පැත්තේ කට්ටියක් වගා කරමින් ඉන්නවා. එයාලාගේ වගාවන් ආරක්ෂා කරන්න විදුලි වැට එහෙම ගහලයි තියෙන්නේ. නමුත් රෑට මේ අය කම්බි කපලා ගවයින්ව දානවා. ගවයින් ව මරපු සිදුවීම් කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒවා කරන්නේ කවුද කියන එක හරියට ම දන්නේ නැහැ. මේ ගමේ අය කරනවා ද නැත්නම් පිට පළාත්වලින් ආපු අය කරනවා ද කියලා හරියට ම කියන්න බැහැ. පසුගිය දවස්වලත් එහෙම සිද්ධියක් වෙලා පොලිසිය ඇවිත් අත්අඩංගුවට ගත්තා.
"මේක රජයේ ඉඩමක් නම්, මහවැලියට අයිති එකක් නම්, ඇයි සිංහල අයට විතරක් යන්න කියන්නේ? දෙමළ අයට එක විදිහක් අපිට එක විදිහක් සලකන එක ගැන ගැටළුසහගත යි. ඉන්න 23 දෙනාගෙන් 13 දෙනෙකුට විතරක් නඩු දාලා තියෙන එකෙන් මේක හොඳින් පැහැදිලි වෙනවා. කිරි ගොවීන් මෙතැන වැව් දෙකක් හදලා තියෙනවා. මහවැලියට අයිති ඉඩමක මෙහෙම කරන්න පුළුවන් ද? අනික මේක පුරාවිද්‍යාත්මක වැදගත්කමක් රැසක් තියෙන ස්ථානයක්."