'මෑතක මෙච්චර දරුණු යුද්ධයක් වුණේ නැහැ' - ඊශ්‍රායල, පලස්තීන ලාංකිකයන්ගේ අත්දැකීම

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ මේ වන විට අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා තොරතුරු සොයා බැලීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ද ඊට ලබාගෙන ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල සේවය සමග අද (ඔක් 10) පවසා සිටියේ ය.

මේ අතර, ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් ඝාතනයට ලක්ව ඇති බවට සමාජ මාධ්‍යයේ පලවන පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තානාපතිවරයා පවසා සිටියේ නිසි කරුණු සොයා බැලීමකින් තොරව එම කරුණ සනාථ කිරීමට හැකියාවක් නොමැති බව යි.

"තවමත් දකුණුදිග ඊශ්‍රායලයේ යුද මෙහෙයුම් ක්‍රියාත්මක වන නිසා අප එහි යෑමට අවශ්‍ය යි මේ සිදුවීමේ සත්‍ය අසත්‍යභාවය නිසි ආකාරයෙන් තහවුරුකර ගන්න. එහෙම නැතුව අපිට කරුණු සනාථ කරන්න බැහැ මෙම ලාංකික කාන්තාව මියගිනින් කියලා. අනතුරට පත්වුවා කියලා සමාජ මාධ්‍යයේ පොස්ට් එක පළකරපු ඒ ලාංකික මහත්මිය සේවය කළ නිවසේ අය සමග මම දුරකථනයෙන් සම්බන්ධ වුණා. අපට අවශ්‍ය අවසර ලැබුණු වහාම හැකි ඉක්මණින් අදාළ ප්‍රදේශයට ගොස් කරුණු සොයා බලන්න අප කටයුතු කරනවා," තානාපතිවරයා කියා සිටියේ ය.

'මෑතකාලයේ මේ තරම් දරුණු යුද්ධයක් වුනේ නැහැ'

ඊශ්‍රායලයේ දැනට වසර 14ක් පුරා ජීවත්වෙමින් එහි සේවය කරන ධනුෂ්ක කුමාර බීබීසි සිංහල සේවයට පැවසුවේ වර්ථමානයේ පවතින යුදමය තත්ත්වය මෑත ඉතිහාසයේ ඇතිවූ දරුණුතම අවස්ථාවක් බව යි.

"මම වසර 14ක් පුරාවට ඊශ්‍රායලයේ රැකියාවේ නිරත වෙනවා. හැම අවුරුද්දකම මේ වගේ ප්‍රහාර එල්ල කිරීම් සිදුවනවා. නමුත් පළමු වතාවට මෑත අතීතයේ මේ වගේ යුදමය තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මෙහෙ ඉන්න ඊශ්‍රායල් ජාතිකයින් පවසන්නේ 1970 ගණන්වල ඇතිවුන යුද්ධයෙන් පස්සේ ඇතිවුණු දරුණුම තත්ත්වය මේකයි කියලා," ඔහු පැවසුවේ ය.

එරට සේවයේ නියුතු ලාංකිකයින්ගෙන් 80%ක් පමණ සාත්තු සේවකයින් ලෙස සේවය කිරීම නිසා යම් ආකාරයේ හදිසි ප්‍රහාරයක් එල්ලවන විට ආරක්‍ෂිත ස්ථාන කරා යාමේ පහසුව ඇති අතරම තවත් පිරිසක් එළිමහන් ස්ථානවල ද සේවය කරන බව ධනුෂ්ක කුමාර සඳහන් කළේය.

"මෙහෙ හැම ගෙදරකම වගේ සේෆ් රූම් එකක් තියෙනවා හදලා. ඒක ගොඩක් ශක්තිමත් විදිහට හදාලා තියෙන්නේ. ඒ වගේමයි ලොකු බිල්ඩින්වල වගේම පොදු ස්ථානවලත් මේ වගේ ආරක්ෂිත ස්ථාන තියෙනවා. සයිරන් හඬ ඇහුණ ගමන් අර ආරක්‍ෂිත ස්ථාන කරා යනවා. ප්‍රහාරයකින් බිල්ඩිමක් කඩා වැටුනත් අර ආරක්‍ෂිත කාමරයේ ඉන්න අයගේ ජීවිත ආරක්ෂා වෙන විදිහට ඒවා හදලා තියෙන්නේ."

"ඒ වගේම ආරක්ෂාව නැති තැන් පවා තිබෙනවා. සමහර අපේ ලංකාවේ අය වීසා එකෙන් පිට වැඩකරනවා එළිමහන් ස්ථානවල. ඒ වගේ අය නවාතැන් ගෙන ඉන්න එපාර්ට්මන්ට්වල මේ වගේ ආරක්‍ෂිත තැන් හරි අඩු යි. ඒකට මෙහෙ රජයට දොස් පවරන්න බැහැ. අපි නිත්‍යානුකූලව වැඩ කරන්න අවශ්‍ය යි. එහෙම නැත්නම් ඒක අපේ වැරැද්ද. නමුත් සමස්ථයක් විදිහට ගත්තම ප්‍රහාරයක දී ආරක්ෂා වෙන්න ස්ථාන ඉදිකරලා තියෙනවා," ඔහු කියා සිටියේ ය.

ඉදිරි පැය 72 ගැන ලැබුණු දැනුම්දීම

ඉදිරි පය 72ක කාලයක් සඳහා අවශ්‍ය ආහාර, ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැස්කර තබා ගන්නා ලෙස ඊශ්‍රායල් රජය දැනුම්දීමක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

"ඊශ්‍රායල් රජයෙන් මෙහෙ ජනතාවට දැනුම් දීලා තියෙනවා ඉදිරි පැය 72ක කාලය සඳහා අවශ්‍ය ආහාර, ජලය ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර තබා ගන්න කියලා. සමහර විට ඉන්න තැනම ඉන්න වෙයි කියලා මුදල් එහෙම අතේ තියාගන්න කියලා. මොකද සමහර විට අද යුද්ධය පටන් ගත්තොත් මිනිස්සුන්ට එලියට එන්න විදිහක් නැතිවෙන නිසා. ඒ නිසා එහෙම තත්ත්වයක් ඇතිවුණොත් ඉන්න තැනම ඉන්න ඒකට සූදානම් වෙන්න කියලයි රජය කියන්නේ.

"ලංකාවේ ගොඩක් අය අලුතින් ඇවිල්ලා ඉන්නවා මෙහෙට. ඒ අයට අත්දැකීම් අඩුයි මේ විදිහේ. ඒ නිසා සමහර අය බයවෙලා ඉන්නවා. මෙහෙ ගොඩක් කල් ඉදන් ඉන්න අපි වගේ අය පුළුවන් විදිහට ඒ අයවත් සම්බන්ධ කරගෙන එයාලා අහන ප්‍රශ්නවලට උත්තර දීගෙන උදව් කරන් ඉන්නවා. අපි දන්නවා කොහෙටද දුවන්න ඕන, කොහෙද ආරක්‍ෂිත ස්ථාන තියෙන්නේ කියලා.දැන් ඇවිල්ලා ඉන්න තානාපතිතුමා ලංකාවේ අය ගැන නිරන්තරයෙන් හොයා බලනවා," ඔහු පවසා සිටියේ ය.

පැය පහක් පුරා එල්ලවූ ප්‍රහාරය

මේ අතර ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස වසර 16ක් එරට සේවයේ නියුතු දීපා සංදිපා ඇගේ අත්දැකීම් බීබීසි සිංහල සේවය සමග බෙදා ගනිමින් පවසා සිටියේ ඉකුත් සෙනසුරාදා පුරා පැය පහකට ආසන්න කාලයක් ඇය සිටි ප්‍රදේශයට රොකට් ප්‍රහාර එල්ල වූ බව යි.

"මෙහෙ යුද්ධය පටන් ගත්තේ පහුගිය සෙනසුරාදා. උදේ 6.00 ඉදලා 11.00 වෙනකම් එක දිගට රොකට් ප්‍රහාර එල්ල වුණා මම රැකියාවේ නිරතවෙලා ඉන්න බෙල්ෂේවා ප්‍රදේශයට. නමුත් කිසිම හානියක් වුණේ නැහැ මේ අවට ඉන්න ජනතාවට ඒ ප්‍රහාරයෙන්. ඒ වගේම රටේ හැම තැනම රොකට් වැටිලා මිනිස්සු තුවාල වෙලා ඉන්නවා කියලා දැනගන්න ලැබෙනවා.

"ප්‍රහාරයක් එල්ලවෙනකොට අපිට යන්න ආරක්‍ෂිත ස්ථාන තියෙනවා. ගෙවල්වල ආරක්‍ෂිත කාමර තියෙනවා. එහෙම නැත්නම් අවට ප්‍රදේශයේ මේ වගේ ආරක්‍ෂිත ස්ථාන ඉදිකරලා තියෙනවා. ගාසා තීරයට තමයි ලොකුම ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ.

"ඒ එක්කම මම ඉන්න ප්‍රදේශයට ඊයේ (ඔක් 09) එක අවස්ථාවක් ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවෙන සයිරන් එක නාද කළා. ඒ ඇරෙන්න මේ වෙනකොට සාමාන්‍ය විදිහට වැඩ කරන් යනවා. ඉදිරියට කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. ලංකාවේ ඉන්න අය බයවෙනවා," ඇය පැවසුවා ය.

'එන දේකට මුහුණ දෙනවා'

මේ අතර ඊශ්‍රායල් වැසියන් ඉදිරියේ දී ඇතිවිය හැකි යුදමය තත්ත්වය ගැන සූදානමකින් පසුවන බවත්, ඉදිරියේ දී එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් වී සිටින බවත් ඇය සඳහන් කළා ය.

"මෙහෙ ජනතාව කොහොමත් තමන්ගේ නිවෙස්වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩිපුර අරන් තියාගෙන ඉන්නේ. රජයෙන් කියලා තියෙනවා ඉදිරි පැය 72කට අවශ්‍ය ආහාර සහ ජලය සූදානම් කර තබා ගන්න කියලා. ඉතින් ඒ අය ඒකට සූදානම්. අපි මෙහෙ වැඩට ආවේ යුද්ධයක් පවතින රටකට කියලා දැනගෙන. ඉතින් ඉදිරියට මොකක් වුනත් ඒකට අපි මුහුණ දෙන්න සූදානම්.

"මෙහෙ හමුදාව ගැන අපිට විශ්වාස යි. එයාලා දක්ෂයි, නමුත් එදා මොකක් හරි දෙයක් නිසා එයාලගේ අතින් වැරැද්දක් වෙන්න ඇති. නමුත් මේ තත්ත්වය ඉක්මණින් නැතිවෙයි කියලා විශ්වාස කරනවා. මම හිතනවා හැමෝම ආරක්ෂිතව ඉන්නවා කියලා," ඇය කියා සිටියා ය.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන සේවය

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින් එහි සිටින අනෙකුත් ලාංකිකයින් සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ඔවුන්ට උපකාර කිරීමට පෙළඹී සිටින බව ද ඇය පවසා සිටියා ය.

"මෙහෙ ඉන්න ලංකාවේ අය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිගු කාලයක් පුරා ගිණුමක් පවත්වාගෙන යනවා. අපි ඒ හරහා අවශ්‍ය තොරතුරු දැනුම් දෙනවා ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට. ඒ වගේම කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් අපි ඒ ගැන හොයා බලලා අවශ්‍ය දේ කරලා දෙනවා. ගොඩක් අය අලුතෙන් ආපු අය අපෙන් විස්තර අහනවා. ඒ දැනුවත් කිරීම අපේ පේජ් එක හරහා සිදුකරනවා. ඉතින් පුළුවන් හැම දෙයක්ම කරන්න අපි උපරිම උත්සහ කරනවා මේ පවතින තත්ත්වය මත," ඇය පැවසුවා ය.

දවසට පැය ගාණක් විදුලිය නැහැ

මේ අතර යුද ගැටුම් පවතින ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා බීබීසි සිංහල සේවයට අද (ඔක් 10) අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මේ වන විට දෛනික විදුලි සැපයුම පැය කිහිපයකට සීමා කර ඇති බව යි.

"දැන් කරන්ට් එක දෙන්නේ ගොඩක් සීමා කරලා. ඊයේ රාත්‍රිය පුරාවට කරන්ට් එක තිබ්බේ නැහැ. ගොඩක් අමාරුයි එහෙම වුණාම. පොඩි බැටරිවලින් වැඩකරන ලයිට් එකකින් තමයි හැම දෙයක්ම කරගන්නේ. ඒ වගේම කෑමබීම සොයා ගන්න දුෂ්කර වෙලා තියෙනවා ඇඳිරි නිතිය පනවලා තියෙන නිසා. කඩවල් ඔක්කොම වහලා තියෙන්නේ. කාටවත් එළියට යන්න තහනම්. ඉස්සරහට කොහොමද දරුවන් හතර දෙනාට කන්න දෙන්නේ කියල කල්පනා කරන්නේ. මම මෙහෙ ඉන්න ලංකාවේ නිලධාරීන්ගෙන් උදව් ඉල්ලුවා. අඩුම තරමින් කෑම ටිකක් හරි ලබා දෙන්න කියලා.

"ගොඩක් වෙලාවට උඩින් ප්ලේන් යද්දී මෙහෙ ෆෝන් වැඩ කරන්නේ නැති වෙනවා. ඒ නිසා උදව් ඉල්ලා කතා කරන්න පවා හරි අපහසු තත්ත්වයක් දැන් ඇතිවෙලා තියෙන්නේ," ඇය මේ වන විට මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකර සිටියා ය.