වික්ටර් අයිවන්: විකල්ප පුවත්පත් කලාවේ පුරෝගාමියා දිවි සැරිය නිම කරයි

ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය දිවි ගමන නිම කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වූ රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය දිවි ගමන නිම කර තිබේ.

කලක් රෝගාතුරව සිටි ඔහු (ජනවාරි 19 වන දා) මිය යන විට 76 වන වියේ පසු විය.

1949 වසරේ ජුනි 26 වන දා උපත ලැබූ ඔහු කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

මෙරට ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හැඳින්වේ.

හෙතෙම දේශපාලන විචාරයෙකු, සමාජ විශ්ලේෂකයෙකු, ග්‍රන්ථ රචයෙකු වැනි කේෂත්‍ර කිහිපයක ම කටයුතු කළේ ය.

ජවිපෙ 'පොඩි අතුල'

කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ වික්ටර් අයිවන් "පොඩි අතුල" නමින් පක්ෂ විසින් හඳුන්වනු ලැබ තිබේ.

එසේ ම ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ;අද ආයුධ සන්නද්ධ කැරැල්ලට සම්බන්ධව වූ වික්ටර් අයිවන්, ඒ කැරැල්ල පිළිබඳව වූ 71 මහ නඩුවේ 7 වන විත්තිකරු ය.

අඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජිණ සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (ජනවාරි 20 වන දා) පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

වික්ටර් අයිවන්ගේ අභාවය මෙරට තුළ ඇති වූ බලවත් හිඩසක් බව ලංකාදීප පුවත්පතේ හිටපු කර්තෘ සිරි රණසිංහ බීබීසි සිංහල වෙත පැවසීය.

'මෙරට තුළ ඇති වූ බලවත් හිඩසක්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වික්ටර් අයිවන්ගේ අභාවය මෙරට තුළ ඇති වූ බලවත් හිඩසක් බව ලංකාදීප පුවත්පතේ හිටපු කර්තෘ සිරි රණසිංහ බීබීසි සිංහල වෙත පැවසීය.

"එතුමා නූතන යුගයේ බිහි වූ කීර්තිමත් විප්ලවකාරී මාධ්‍යවේදියෙක්, කතුවරයෙක්, විචාරකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්."

නැසී ගිය ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කර්තෘ සංසදයේ ක්‍රියා කළ ආකාරය ද ලංකාදීප පුවත්පතේ හිටපු කතුවරයා සිහිපත් කළේය.

"එතුමා කර්තෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක්. බොහෝ වෙලාවට උද්යෝගිමත්ව දේවල්වල හොඳ නරක විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කළ කෙනෙක්.

යුක්තිය සාධාරණය වෙනුවෙන් හැප්පෙන්න පුළුවන් කියන හයිය හැදුවේ එයා.

ලංකාවේ පත්තර කලාව උඩු යටිකුරු කරපු, එයට කශේරුකාවක් බද්ධ කරලා නව පෞරුෂයක් හදපු කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි වික්ටර් අයිවන්," යැයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ පෝද්දල ජයන්ත බීබීසි සිංහල වෙත පැවසීය.

අධිකරණය හෝ අධිකරණ තීන්දුවක් හරියාකාර කරුණු සහිතව විවේචනය කිරිමේ හැකියාව නිර්මාණය කරන ලද්දේ වික්ටර් අයිවන් විසින් බව ඔහු සදහන් කළේ ය.

"රටේ අධිකරණ පද්ධතියට ඍජුව ඇඟිල්ල දික් කරන්න පත්තරකාරයට තියෙන ඍජු හයිය හැදුවේ, ඒක කරුණු සහිතව අපිට පුළුවන් නම් අධිකරණයට හරි අධිකරණ තීන්දුවක් හරි විවේචනය කරන්න, අපිට හරි තොරතුරු එක්ක ගියොත් ඕනෑ ම තැනක් එක්ක යුක්තිය සාධාරණය වෙනුවෙන් හැප්පෙන්න පුළුවන් කියන හයිය හැදුවේ ඔහු."

'තනි පංගලමේ හැප්පිච්ච මනුස්සයෙක්'

මෙරට අධිකරණ පද්ධතිය නිවැරදි මාර්ගයට ගැනීමට නැසී ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් බොහෝ සේ වෙහෙස වූ බව ඔහුගෙන් ගුරුහරුකම් ලද මාධ්‍යවේදියෙකු වන පෝද්දල ජයන්ත පෙන්වා දුන්නේ ය.

"මොන තරම් හැප්පුනා ද සාපරාධි අපහාස නීතිය වෙනුවෙන්. අදත් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ගෙනල්ලා දඬුවම් කරන ඒ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ දඬුවම් භුක්ති විඳින්න සිද්ධ වෙනවා, ඔහු නොහිටින්න රටේ මාධවේදීන්ට. ඔහු ඒ සියල්ල එක්ක තනි පංගලමේ හැප්පිච්ච මනුස්සයෙක්."

කලක් රාවය පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සිය දායකත්වය ලබා දුන් පෝද්දල ජයන්ත පවසන්නේ වික්ටර් අයිවන් රාවය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සිටියදී පවා ඔහුගේ ලිපි සහ අදහස් විචේචනයට අවස්ථාව තිබූ බව ය.

"ඔහුගේ විවේචන අපෙත් විවේචනවලට බද්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවට අන්න ඒ ගුණය එතන තිබුණා. රාවය පුවත්පතේ මමත් මාධ්‍යවේදියෙක් හැටියට ඉන්නකොටත් එම කර්තෘ මණ්ඩලයේ ඉන්න ගමන් ඔහු ලියන දේ එම පත්තරේ ම දැඩි විදියට විවේචනය කරලා ලිවිමේ ශක්තිය අපිට තිබුණා."

වන සතුන්ගේ හානිය ගැන කියූ අනාවැකි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙසින් වික්ටර් අයිවන් පළ කළ අනාවැකිවලින් අද සමාජය මුහුණ දෙන සිදුවීම් ද පෝද්දල ජයන්ත මෙලෙස ආවර්ජනය කළේ ය.

"ලංකාවේ වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට වෙන විනාශය ගැන ඔහු අවුරුදු දහයකට කලින් විතර ඉඳන් එක දිගට ලියන්න පටන් ගත්තේ. ඒවා ගැන කවුරුත් සැලකිල්ලට භාජනය කළා නම් ඒවා ඉතා ම වටින දේවල් ලංකාවේ ආර්ථික දේහයට ඔහු කරපු සමහර යෝජනා. ඒවා සමහර වෙලාවට සමාජ හස්‍යයෙන් බැහැර කළා. සමහරු ඒවා පිළිගත්තේ නෑ. නමුත් ඒවා මොනතරම් ප්‍රායෝගිකව අද දවස වෙනකොට සමාජය අත් විඳිනවා ද කියන එක හොඳට පේන්න තියෙනවා."

වික්ටර් අයිවන් අහිමි වීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය කේෂේත්‍රයට පමණක් නොව දේශපාලනයට ද විශාල පාඩුවක් බවත් ඔහුගෙන් උගත යුතු පාඩම් බොහෝ ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැවසීය.