ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණියේ ඇයි?
- Author, බීබීසී සිංහල
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ ය.
ජපාන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතා ඉහළ නැංවීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍ය නකතානි ජෙන් (Nakatani Gen) නිල සංචාරයක් සඳහා මැයි 03 වන දා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය වැදගත් ඇයි?
ජපානය වැනි රටක් සමග ආරක්ෂක සබඳතා පැවැත්වීම මෙරටට වැදගත් බව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් බීබීසි සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් පැවසීය.
එමෙන් ම, මෙම සංචාරයේදී කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට එළඹ නොමැති අතර දෙරට අතර සාකච්ඡා පමණක් සිදුවූ බව ඔහු කියා සිටියේ ය.
ද්විපාර්ශවික සාකච්ඡාවලදී අවධානය යොමු කළ කරුණු මොනවා ද?
මෙරටට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය නකතානි ජෙන් සමගින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාතා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කානෝ කොජී ඇතුළු දූත පිරිසක් මැයි 04 වන දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබිණි.
ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පුද කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ජපාන දූත පිරිස පිළිගනු ලැබූහ.
ඉන්පසුව ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා පවත්වා තිබිණි.
ආපදා කළමනාකරණය, දේශසීමා හරහා සිදුවන මිනිස් ජාවාරම වැළැක්වීම සහ සාගර කලාප ආශ්‍රිතව රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ නීති විරෝධී මෙහෙයුම්වලට එරෙහිව සටන් කිරීම වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම මෙම සාකච්ඡාවලදී අවධාරණය කළ බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ජපානයෙන් ලංකාවට ලැබෙන සහය
ආරක්ෂක කටයුතු වැඩි දියුණු කර ගැනීමට මෙන් ම ආපදා කළමනාකරණ කටයුතු සඳහා මේ වන විටත් ජපන් ආධාර සහ සහයෝගය මෙරටට ලැබෙන බව ද ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.
ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහ ආපදා කළමනාකරණ හා සම්බන්ධ මුලපිරීම් සඳහා එක්ව කටයුතු කිරීමට මෙන් ම, ඒකාබද්ධ පුහුණුවීම් සහ අභ්‍යාස සඳහා පවතින අවස්ථා ගවේෂණය කිරීමට සහ තොරතුරු බෙදා ගැනීමට දෙරටේම කැපවීම මෙම හමුවේදී අවධාරණය කරන ලද බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ ය.
මෙම සාකච්ඡාවලදී ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින්, වඩාත් ආරක්‍ෂිත සහ ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ පොදු දැක්ම පිළිබඳව ද අවධාරණය කර තිබේ.
මෙරට ක්‍රියාත්මක ආපදා අවදානම් කළමනාකරණය, වෙරළාරක්‍ෂක මෙහෙයුම් සහ පුහුණු අවස්ථා සඳහා ජපානයේ දිගුකාලීන සහ අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) සිය කෘතඥතාව පළ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්‍ෂණ කටයුතු, කාලගුණ විද්‍යා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීම සහ වෙරළාරක්‍ෂක මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය ලබා දෙන සහය නියෝජ්‍ය අමාත්‍යවරයා අගැයීමට ලක් කර තිබිණි.
ජපන් දූත පිරිසට එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ උපදේශක ලුතිනන් ජෙනරල් බන්ෂෝ කොයිචිරෝ (විශ්‍රාමික), ඒකාබද්ධ කාර්ය මණ්ඩලයේ උප මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් මත්සුනගා කෝජි ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් කිහිප දෙනෙක් ද ඇතුළත් වූහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ජාතික බුද්ධි ප්‍රධානී ඇතුළු ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරල් සහ සහකාර අධ්‍යක්‍ෂ ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් ද මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වූ බව ආරක්ෂ අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම සාකච්ඡාවලින් අනතුරුව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බොරැල්ල සුසාන භූමියට ගොස් දෙවන ලෝක යුද්ධයේදී මෙරටදී මිය ගිය ජපන් ජාතිකයන් සැමරීම සඳහා එහි පිහිටුවා ඇති ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා තිබිණි.
සාකච්ඡා ගැන ජපානය කියන්නේ මොනවා ද?
පැයකට ආසන්න කාලයක් මෙරට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිස පැවැත්වූ සාකච්ඡා පිළිබඳව ජපාන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ ද කරුණු සඳහන් කර ඇත.
වඩාත් සංකීර්ණ හා අනපේක්ෂිත කලාපීය සහ ගෝලීය ආරක්ෂක පරිසරය සැලකිල්ලට ගනිමින්, විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, දෙරටේ සහ පුළුල් ඉන්දු-පැසිෆික් කලාපයේ සමෘද්ධිය අතවශ්‍ය බව දෙපාර්ශවය ම සාකච්ඡාවේදී එකඟත්වය පළ කළ බව එම වෙබ් අඩවියේ සඳහන් වේ.
නැගෙනහිර චීනයේ සහ දකුණු චීන මුහුදේ වර්ධනයන් ඇතුළු කලාපීය ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව දෙපාර්ශවය ම අදහස් හුවමාරු කරගෙන ඇති අතර පවතින තත්ත්වය වෙනස් කිරීමට ඒකපාර්ශ්වික උත්සහයන් සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව ජපාන ආරක්ෂක ඇමැතිවරයා පැවසූ බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අන්තර් සේවා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් යන සියලු ම ඒකක හරහා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට දෙපාර්ශ්වය ම මෙම සාකච්ඡාවේදී එකඟ වී ඇත.
ජපාන ආරක්ෂක ඇමති සහ මෙරට අගමැතිවරිය අතර හමුව
ජපාන ආරක්ෂ අමාත්‍ය නකතානි ජෙන්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද ජපාන ආරක්ෂක අමාත්‍යංශය වාර්තා කර තිබේ.
එම සාකච්ඡාවේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පුළුල් හවුල්කාරීත්වය මත පදනම්ව 2019 දී අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතාව සහ හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම් යටතේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රගතිය පිළිබඳව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙන් ම මෙරට අගමැතිවරිය ප්‍රසාදය පළ කළ බව සඳහන් වේ.
තව ද, ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා දායක වීම සඳහා ද්විපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීමට දෙරටේ කැපවීම දෙපාර්ශවයෙන් ම ප්‍රකාශ වූ බවත් එරට ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.