SriLankan Airlines හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදාහැරේ: චෝදනා මොනවා ද?

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කළා ය.

රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා ය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන බොහෝදුරට අවසන් වී ඇති බව ය.

ඒ අනුව, අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙස එම නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ අතර, පැමිණිල්ල නැවත ලබන ඔක්තෝබර් මස 14 වන දා කැඳවන ලෙසත් නියම කළා ය.

අල්ලස් කොමිසම චෝදනා තුනක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව විමර්ශන සිදු කරන බව අධිකරණයට දැනුම් දී තිබිණි.

'දූෂණය' නම් වරද මත ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ජූනි මස 27 වන දා ය.

හිටපු සභාපතිවරයාට ඇති දූෂණ චෝදනා මොනවා ද?

  • 2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත තිබූ අංක UL 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇ.ඩො. 4,512ක් පාඩු කිරීම,
  • 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු අංක UL 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇ.ඩො. 19,160ක් රජයට පාඩු කිරීම,
  • 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් රුපියල් 1,250,000ක් වියදම් කිරීම,

යන චෝදනා නිශාන්ත වික්‍රමසිංහට එරෙහිව පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

කූට ලේඛන සකසා සුඛෝපභෝගී මෝටර් රථයක් මිලට ගැනීම

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය හොබවන සමයේ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු හිටපු ජනාධිපති ශිරන්ති රාජපක්ෂගේ සොයුරෙකි.

ඔහු ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ දුෂණ අක්‍රමිකතා පිළිබඳව යහපාලන රජය විසින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව මගින් ද අනාවරණය කරනු ලැබ තිබිණි.

නීතිඥ ජේ.සී. වැලිඅමුණ සභාපතීත්වය දැරූ එම කමිටු වාර්තාවේ සංක්ෂිප්ත වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් එවකදී නිකුත් කර තිබූ අතර එහි සඳහන්ව තිබුණේ, ශ්‍රීලන්කන් ආයතන ප්‍රධානී වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූඨ ලේඛන සකසා සුඛෝපභෝගී මෝටර් රථයක් මිලට ගෙන තිබුණේ නිශාන්ත වික්‍රමසිංහගේ ප්‍රයෝජනය සඳහා බව ය.

එය ඔහු වෙත ලබා දී තිබුණු සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරව බව එහි සඳහන් විය.

සිංගප්පූරුවට ගුවන් යානයක් ගෙන්වා ගැනීම

එමෙන් ම "ශ්‍රීලන්කන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්" නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බව ද වාර්තා වේ දැක්විණි.

තව ද නිශාන්ත වික්‍රමසිංහ සභාපතිවරයා ලෙස සිය බලය අවභාවිත කළ ආකාරය ද 2006 සිට 2018 දක්වා රජයට අයත් ජාතික ගුවන් සේවයේ අක්‍රමිකතා විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමේදී හෙළිව තිබිණි.

2014 ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ එවකට මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම පැය එක හමාරක ගමන් කාලයක් ඉතිරි කර ගැනීම සඳහා හරවා යවන ලද ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණි බව ද කොමිසමේදී අනාවරණය විය.

එම සිදුවීමෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මුදල් නාස්තියක් වූ බව සහ කීර්ති නාමයට හානියක් වූ බව කොමිසම වෙත සාක්ෂි ලබා දුන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.