SriLankan Airlines: ලංසු තැබූ හේලීස් සමාගමේ දෙදෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට දැමීම ප්‍රශ්නසහගත ඇයි?

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවාව වන SriLankan ගුවන් සේවය සම්බන්ධයෙන් නව තීරණයකට එළඹිණි.

ඒ, එම ගුවන් සේවය පෞද්ගලීකරණය නොකර ජාතික ගුවන් සේවය වශයෙන් තවදුරටත් පවත්වාගෙන යාමට ය.

කෙසේ වෙතත්, මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව රජය මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත ය.

ඒ පිළිබඳව, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් පළ කළේ ය.

“මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග ම ඒගොල්ලො කියා සිටියා, ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කරන්නෙ නෑ කියලා. ජනාධිපතිතුමා කියලා තිබුණා, ඊළඟ පාර්ලිමේන්තුව රැස් වන තුරු ඔක්කොම හෝල්ඩ් කරල තියෙන්නේ. නිශ්චිත වැඩසටහනක් යටතේ කොහොම ද කරන්නේ කියන එක අලුත් පාර්ලිමේන්තුවෙන් පස්සෙ ඒගොල්ලො නිවේදනය කරයි.”

මීට පෙර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ තීරණය කර තිබුණේ, ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට ය.

ඒ අනුව, යළිත් ශ්‍රීලංකන් ගුවන් සමාගම "රාජ්‍ය මූල්‍යවලට බරක් නොවන තිරසර ව්‍යවසායන් නිර්මාණය කිරීම" අරමුණු කර ගනිමින් පෞද්ගලිකරණය කිරීම සඳහා 'රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට' (SRU) භාර දී තිබිණි.

හේලීස් සමාගම ඇතුළු සමාගම් 6කින් ලංසු

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා වන ලංසු ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය 2024 අප්‍රේල් මස 22 වන දා අවසන් වූ අතර, සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා පාර්ශව 6කින් ලංසු ඉදිරිපත් වී තිබිණි.

එම සමාගම් 6 මෙසේ ය.

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC

නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

පෞද්ගලීකරණය කිරීම අත්හිටවූ ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළේ, එවැනි වාතාවරණයක් පැවතියදී ය.

නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේ ය.

සභාපති - සරත් ක්ලෙමන්ට් ගනේගොඩ

අධ්‍යක්ෂ - බුද්ධික හේවාවසම්

අධ්‍යක්ෂ - පියාසර ලුතිනන් (Flt/Lt) සුගත් රාජපක්ෂ

අධ්‍යක්ෂ - එරංග රොහාන් පීරිස් ගුණතිලක

අධ්‍යක්ෂ - ඩිමාල් අරන්දර (මහා භාණ්ඩාගාරයේ නියෝජනය)

මෙම අධ්‍යක්ෂ මණ්ඩලය 2024 ඔක්තෝබර් 09 වන දා සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අනුයුක්ත කර තිබේ.

නව අධ්‍යක්ෂ මණ්ඩලයට හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්

ඉහත සඳහන් කර ඇති අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙදෙනෙකු ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් අයිතියක් ඇති හේලීස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වෙති.

ඒ, සභාපති සරත් ක්ලෙමන්ට් ගනේගොඩ සහ අධ්‍යක්ෂ එරංග රොහාන් පීරිස් ගුණතිලක යන දෙදෙනා ය.

ඔවුන් දෙදෙනා ම තවමත් හේලීස් පීඑල්සී සමාගමේ සේවය කරන අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කිරීම වෙනුවෙන් වැටුපක් නොලබන බව ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ ය.

සරත් ගනේගොඩ

සරත් ක්ලෙමන්ට් ගනේගොඩ හේලීස් පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර, හේලීස් බිස්නස් සොලියුෂන්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයෙකි.

ඊට අමතරව, හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ ද අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි.

2007 වසරේදී හේලීස් සමූහයට නැවත එක්ව ඇති ඔහු 2009 වසරේදී සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කෙරිණි.

එරංග රොහාන් පීරිස් ගුණතිලක

එරංග රොහාන් පීරිස් ගුණතිලක හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ ධූර දරයි.

ඔහු හේලීස් ෆැබ්රික් සමාගමට එක්වූයේ, 2013 වසරේදී ය.

ඔවුන් තවමත් හේලීස් සමාගමේ සේවය කරන බව බීබීසී සිංහල සේවය එම සමාගමේ සන්නිවේදන අංශයෙන් කළ විමසීමකදී තහවුරු කළේ ය.

ප්‍රශ්නසහගත ඇයි?

හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ශ්‍රීලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතු වේ.

එක් ගැටලුවක් වන්නේ, ශ්‍රීලන්කන් ආයතනය මිල දී ගැනීමට ලංසු ඉදිරිපත් කළ සමාගම් 6ක් අතර හේලීස් සමාගම ද වීම ය.

ඒ සම්බන්ධයෙන්, බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මෙසේ පැවසීය.

“හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ශ්‍රීලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි, ඒක පෞද්ගලීකරණය නොකර පවත්වාගෙන යාමට අදහස් කළොත් ලොකු ගැටලුවක් නැහැ. ඒත්, පෞද්ගලීකරණය කරන්න අදහස් කළොත් එතන ළබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වෙනවා.”

කෙසේ වෙතත්, මෙහිදී මතු වන වඩාත් ප්‍රශ්නසහගත කාරණය වන්නේ, හේලීස් සමූහයට ගුවන් සේවා ව්‍යාපාරයක් ද අයත්ව තිබීම ය.

බීබීසී සිංහල සේවය කළ විමර්ශනයකදී පෙනී ගියේ, අදාළ ව්‍යාපාරය හරහා ගුවන් සේවා සැපයීම, ගුවන් සේවා උපකරණ සැපයීම ආදී ගුවන් සේවාවන්ට අදාළ කටයුතු සිදු කෙරෙන බව ය.

ඒ පිළිබඳව, හේලීස් සමූහයේ නිල වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙයි.

“ප්‍රමුඛ ගුවන් සේවා සපයන්නෙකු ලෙස, අපගේ සේවා විෂය පථයට ගුවන් සේවා ඒජන්සි නියෝජනය, සංචාරක නියෝජිතායතන සේවා, ගුවන් සේවා උපකරණ සැපයුම් සහ ගොඩබිම් හැසිරවීම ඇතුළත් වේ. දශක තුනකට ආසන්න අත්දැකීම් ඇති අපට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධාන ගුවන් යානා කිහිපයක් ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත.”

මේ අනුව, ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ හේලීස් ගුවන් සේවා ව්‍යාපාරය සම්බන්ධයෙන් ළබැඳියන් අතර ගැටුමක් නිර්මාණය වීමේ ඉඩකඩක් නැති ද?

වෙරිටේ රිසර්ච් ආයතනයේ රාජ්‍යකරණය සහ දූෂණ විරෝධය පිළිබඳ අංශයේ ප්‍රධානී සංකිතා ගුණරත්න මේ පිළිබඳව දක්වන්නේ, මෙවන් අදහසකි.

“යම්කිසි තැනැත්තෙකුට ධූරයක් ලබා දීමේදී, එය සුදුසු, සරිලන පත්වීමක් ද යන්න සොයා බැලිය යුතු යි. එහිදී සුදුසුකම්, අත්දැකීම්, කීර්ති නාමය, බැඳියාවන් ආදිය සලකා බැලිය යුතු යි. බැඳියාවන් යන්නෙන් අදහස් වන්නේ, තමන්ගේ පෞද්ගලික ආයෝජන සහ භාර ගන්නා තනතුර අතර ගැටුමක් සිදුවිය හැකි ද යන්න. මේ අවස්ථාවේදී, එවන් බැඳියාවන් අත්හැර ඇති ද, ඉදිරියට යළිත් ගැටුමක්, අනිසි වාසියක් ඇති විය හැකි ද යන්න නිශ්චය කිරීමට පැහැදිලිව ජනතාවට තොරතුරු ලැබී නැහැ.”

‘ඇමතිතුමයි පත් කළේ’

වත්මන් රජයේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධූරය දරන්නේ, විජිත හේරත් ය.

මේ පිළිබඳව විමසීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් සම්බන්ධ කර ගැනීමට දුරකතනය ඔස්සේ උත්සහ කළ ද, එය ව්‍යර්ථ විය.

එහෙයින්, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්පතිරණගෙන් විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම අමාත්‍යවරයා විසින් සිදු කරන ලද්දක් හෙයින් තමන්ට ඒ පිළිබඳව අදහස් දැක්විය නොහැකි බව ය.

‘ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය නොකර පවත්වාගෙන යාම අසිරු යි’

මේ අතර, දීර්ඝ කාලීනව පාඩු ලබන ආයතනයක් වන ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය නොකර පවත්වාගෙන යාම අසීරු කටයුත්තක් බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි.

“දැන් තියෙන ගුවන් යානා පරණ යි. අලුත් ගුවන් යානා ගන්නෙ නැතුව ඕක පවත්වාගෙන යන එක අමාරු යි. අලුත් යානා ගන්න වියදම් කරන්න සල්ලිත් රටේ නැහැ. එහෙම නම්, ඒ අවශ්‍ය සල්ලි හොයා ගන්න වැඩපිළිවෙළක් තිබිය යුතු යි. එහෙම නොවුණොත් රටේ ජනතාවට ම තමයි බදු ගෙවන්න වෙන්නේ ඒක නඩත්තු කරන්න.”

"ගුවන් යානා හරියට නඩත්තු නොකළොත් ඒවා ප්‍රමාද වෙනවා. ගුවන් ගමන් අවලංගු වෙනවා. ඒවගේ අත්දැකීම් එක්ක ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්නත් බැහැ. එහෙම වුණොත් ඒකෙන් ශ්‍රී ලංකාව ගැන නරක ප්‍රතිරූපයක් ඇති වෙන්නත් පුළුවන්," ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

2021 සිට 2023 දක්වා ලාභ අලාභ

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 වසරේදී ලබා තිබූ අලාභය රුපියල් බිලියන 166.37කි.

2022 වසරේදී කරන ලද යම් යම් වෙනස් කිරීම් මත අලාභය අඩකින් පමණ අඩු වූ අතර, සංඛ්‍යාත්මකව එම වසරේ අලාභය රු. බිලියන 74.67ක් විය.

මේ අතර, 2023 වසරේදී එය රු. මිලියන 79.78ක ලාභයක් ලැබීය.

ශ්‍රීලන්කන් ගුවන් සේවය

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රීලන්කන් ගුවන් සේවය 1979 වසරේදී ආරම්භ කරන ලදී.

එය, රටවල් 62ක ගමනාන්ත 114ක් කරා ගුවන් සේවා ක්‍රියාත්මක කරයි.