CID අත්අඩංගුවට පත් ප්‍රියන්ත මායාදුන්නේට ඇති චෝදනා මොනවා ද?

අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Priyantha Mayadunne

2011 වසරේ කුරුණෑගල දී ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පැවැති "ඉසුරු සවිය " නමැති උත්සවයේදී ප්‍රවාහන පහසුකම් සැපයීමේ කටයුතුවලට අදාළව රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (පස්වරුවේ) නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ 2011 වසරේ කුරුණෑගල ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පැවැති "ඉසුරු සවිය" නමැති උත්සවයේදී රුපියල් මිලියන 183ක මුදලක් සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සමුපකාර කොමසාරිස්වරයා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.

එම විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත් අවස්ථාවේදී එම සිද්ධිය තුළ අල්ලස් පනත යටතේ වරදක් සිදු වී ඇති හෙයින් එම විමර්ශනය අල්ලස් කොමිසම වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහූ සඳහන් කළහ.

එම විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධයෙන්ද කරුණක් අනාවරණය වූ බව මෙහිදී පොලිසිය පැවසීය.

එම උත්සවය සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් සමූපකාර මුදලින් මෙම සැකකරු විසින් ලබාගෙන ඒ සම්බන්ධයෙන් සාපාරාධි විශ්වාසය කඩ කළ බව විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම මුදල ප්‍රවාහන කටයුතු සැපයීම සඳහා ගෙවන ලද්දේ කාටදැයි ප්‍රකාශ කිරීමට සැකකරු මුලින්ම අපොහොසත් වූ අතර අද දින ලබා දුන් කට උත්තරයේ මෙම මුදල හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ ආරක්ෂකයෙකුට ලබාදුන් බව සඳහන් කර ඇතැයි පොලිසිය පැවසීය.

ඒ අනුව මෙම කරුණට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන හෙයින් සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම සැකකරු අමාත්‍යාංශ කීපයකම කටයුතු කර ඇති කීර්තිමත් ලේකම්වරයෙකු බවත් මෙම අවස්ථාවේදී ඔහු කටයුතු කර තිබෙන්නේ අමාත්‍යවරයාගේ උපදෙස් මත බව ය.

ඔහු කිසිදු ආකාරයක සාපරාදී විශ්වාසය කඩ කිරීමක් කර නොමැති බවත් නීතිඥවරු විසින් සඳහන් කළ අතර ඔහු ඇපමත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇපමත මුදා හැරීමට තීන්දු කරන බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත මැයි මස 28 වනදා කැඳවීමටද නියෝග කළාය.

පොලිසිය කියන චෝදනාව කුමක් ද?

2011 වර්ෂයේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන්, කරුණෑගල ප්‍රදේශයේ පවත්වා ඇති 'ඉසුරු සවිය' නැමති සමූපකාර දින සැමරුම් උත්සවය සඳහා සමූපාකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වැය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්නේ අද පිළියන්දලදී අත්අඩංගුවට පත්විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර එම විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි.

ඒ අනුව එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත මායාදුන්නේට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්වට දැනුම් දී තිබිණි.

ඒ අනුව ප්‍රියන්ත මායාදුන්නේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

2011 වර්ෂයේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන්, කරුණෑගල ප්‍රදේශයේ පවත්වා ඇති 'ඉසුරු සවිය' නැමති සමූපකාර දින සැමරුම් උත්සවය සඳහා සමූපාකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වැය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්නේ අද පිළියන්දලදී අත්අඩංගුවට පත්විය.

ප්‍රියන්ත මායාදුන්නේ යනු කවුද?

ප්‍රියන්ත මායාදුන්නේ යනු මෙරට අමාත්‍යංශ ගණනාවක ලේකම් ධූර දැරූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ශ්‍රී ජයර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සහ කැළණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති ඔහු නීතිවේදී උපාධිය ලබා ඇත්තේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙනි.

ලේකම් ධූර දැරූ අමාත්‍යංශ,

  • වරාය හා නාවික
  • ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
  • විශේෂ ව්‍යාපෘති අමාත්‍යංශය
  • ජාතික ප්‍රතිපත්ති
  • ධීවර අමාත්‍යංශය
  • අධිකරණ අමාත්‍යංශය
  • රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ
  • නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන