කොන්ඩම්වලට බදු පැනවීමෙන් උපත් අනුපාතය වැඩි කිරීමට චීනයෙන් සැලස්මක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඔස්මන්ඩ් චියා
- Role, ව්‍යාපාරික වාර්තාකරු
- Author, යැන් චෙන්
- Role, බීබීසී චීන සේවය
ජනවාරි 1 වන දින සිට චීනයේ ජනතාවට උපත් පාලන ක්‍රම සඳහා 13%ක පරිභෝජන බද්දක් ගෙවීමට සිදුවනු ඇති අතර, ඒ සමග ම ළමාසුරැකුම් සේවා බදුවලින් නිදහස් කර ඇත. මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සිය උපත් අනුපාතය වැඩි කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙසින් ය.
පසුගිය වසරේ අගභාගයේදී ප්‍රකාශයට පත් කරන ලද බදු ක්‍රම ප්‍රතිසංස්කරණයක් මගින්, චීනය එහි දිගුකාලීන එක් දරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටි 1994 සිට පැවති බොහෝ [බදු] නිදහස් කිරීම් ඉවත් කර ඇත.
දෙමාපිය නිවාඩු දිර්ඝ කරමින් සහ මුදල් ගෙවීම් ඇතුළත් විශාල වෙනස්කම් මගින් විවාහ ආශ්‍රිත සේවා සහ වැඩිහිටි සත්කාර සේවා අගය එකතු කළ බද්දෙන් (VAT) නිදහස් කර ඇත.
වයස්ගත වන ජනගහනයක් සහ මන්දගාමී ආර්ථිකයක් ඇති චීනය තරුණ පිරිස් විවාහ වීමට සහ දරුවන් ලැබීමට යුවල දිරිමත් කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටී.
නිල දත්ත පෙන්වා දෙන්නේ චීනයේ ජනගහනය අඛණ්ඩව වසර තුනක් පහත වැටී ඇති බවත්, 2024 දී උපත ලැබුවේ ළදරුවන් මිලියන 9.54 ක් පමණක් බවත් ය. එය, දශකයකට පෙර චීනය මිනිසුන්ට කොපමණ දරුවන් සංඛ්‍යාවක් සිටිය හැකි ද යන්න පිළිබඳ නීති ලිහිල් කිරීමට පටන් ගත් විට වාර්තා වූ උපත් සංඛ්‍යාවෙන් අඩක් පමණ වේ.
කෙසේ වෙතත්, උපත් පාලන කොපු, උපත් පාලන පෙති සහ උපාංග ඇතුළු උපත් පාලන ක්‍රම සඳහා වන බද්ද [වැඩි කිරීම] අනවශ්‍ය ගැබ් ගැනීම් සහ HIV අනුපාත පිළිබඳව කනස්සල්ලට හේතු වී ඇති අතර, එය සමච්චලයට ද ලක්ව ඇත. දරුවන් ලැබීමට පෙළඹවීම සඳහා මිල අධික කොන්ඩම් වලට වඩා බොහෝ දේ අවශ්‍ය බව සමහර අය පෙන්වා දෙති.
එක් වෙළෙන්දෙක් මිල ඉහළ යාමට පෙර කල්තියා [උපත් පාලන කොපු] මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයින්ට උපදෙස් දුන් විට, සමාජ මාධ්‍ය පරිශීලකයෙක් එය මෙලෙස විහිලුවට ලක් කළේ ය: 'මම දැන් ජීවිත කාලයට ම කොන්ඩම් මිලදී ගන්නම්'.
තවත් පුද්ගලයෙක් සටහන් කර තිබුණේ උපත් පාලන කොපුවක මිල සහ දරුවෙකු ඇති දැඩි කිරීමේ පිරිවැය අතර වෙනස මිනිසුන්ට පැහැදිලිව දැකගත හැකි බව යි.
බීජිංහි 'යුවා' ජනගහන පර්යේෂණ ආයතනයේ 2024 වාර්තාවකට අනුව, චීනය දරුවෙකු ඇති දැඩි කිරීම සඳහා වඩාත්ම මිල අධික රටවලින් එකකි. ඉතා තරගකාරී අධ්‍යයන පරිසරයක පාසල් ගාස්තු සහ කාන්තාවන්ට රැකියාව සහ දෙමාපියන් රැකබලා ගැනීම අභියෝගයක් වන බැවින් පිරිවැය ඉහළ යන බව අධ්‍යයනයේ සඳහන් වේ.
ඉතුරුම් අඩුවීමට හේතු වූ දේපළ අර්බුදයක් හේතුවෙන් ඇති වූ ආර්ථික මන්දගාමිත්වය, පවුල්වලට, විශේෂයෙන් තරුණයින්ට, ඔවුන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක් සහ අඩු විශ්වාසයක් ඇති කර තිබේ.
"මට එක දරුවෙක් ඉන්නවා, මට තවත් දරුවෙක් ඕන නෑ," නැගෙනහිර හෙනාන් පළාතේ ජීවත් වන 36 හැවිරිදි ඩැනියෙල් ලුඕ පවසයි.
"ඒක හරියට උමං දුම්රිය ගාස්තු වැඩි වුණා ම වගේ. යුවාන් එකකින් දෙකකින් මිල වැඩි වුණා ම, උමං මාර්ගයේ යන අය තමන්ගේ පුරුදු වෙනස් කරගන්නේ නැහැ. ඔයා තාමත් උමං මාර්ගයේ යන්න ඕනේ නේද?"
මිල ඉහළ යාම ගැන තමා කනස්සල්ලට පත් නොවන බව ඔහු පවසයි. "කොන්ඩම් පෙට්ටියකට අමතර යුවාන් පහක්, සමහර විට 10ක්, උපරිම වශයෙන් 20ක් යයි. අවුරුද්දකට වැඩි කාලයකට ඒක යුවාන් දෙතුන් සීයක් වෙයි, සම්පූර්ණයෙන් ම දැරිය හැකි මිලක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, මේ පිරිවැය අනෙක් අයට ගැටලුවක් විය හැකි අතර, මධ්‍යම චීනයේ ෂියාන් නගරයේ ජීවත් වන රෝසි ෂාඕ කනස්සල්ලට පත්වන්නේ මේ නිසාය.
අත්‍යවශ්‍ය දෙයක් වන උපත් පාලන ක්‍රම මිල අධික කිරීම නිසා සිසුන්ට හෝ මූල්‍යමය වශයෙන් අරගල කරන අයට "අවදානමක්" දැරීමට සිදුවිය හැකි බව ඇය පවසයි.
මෙය ප්‍රතිපත්තියේ "වඩාත් ම භයානක ප්‍රතිඵලය" විය හැකි බව ඇය තවදුරටත් පැවසුවා ය.
බදු ප්‍රතිසංස්කරණයේ අරමුණ පිළිබඳව නිරීක්ෂකයින් අතර බෙදී ගිය අදහස් තිබේ. උපත් පාලන කොපු සඳහා බදු වැඩිවීමක් උපත් අනුපාතවලට බලපානු ඇතැයි යන අදහස "ඒ ගැන ඕනෑවට වඩා සිතීමක්" යැයි විස්කොන්සින් මැඩිසන් විශ්ව විද්‍යාලයේ ජනවිකාස විද්‍යාඥ යී ෆුක්සියන් පවසයි.
නිවාස වෙළඳපොළ පසුබෑමකට ලක්වීම සහ වර්ධනය වන ජාතික ණය බරට එරෙහිව සටන් කරන විට, චීනය "හැකි සෑම තැනකින් ම" බදු එකතු කිරීමට උනන්දු වන බව ඔහු විශ්වාස කරයි.
ඩොලර් ට්‍රිලියන 1කට ආසන්න (පවුම් බිලියන 742) ක් වූ චීනයේ වැට් බදු ආදායම, පසුගිය වසරේ රටේ බදු එකතුවෙන් 40% කට ආසන්න විය.
කොන්ඩම් සඳහා බදු පැනවීමේ පියවර "සංකේතාත්මක" බවත් එය චීනයේ "කැපී පෙනෙන ලෙස අඩු" සරු භාවය ඉහළ නැංවීමට චීනය දරන උත්සාහයන් පිළිබිඹු කරන බවත් උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ හෙන්රියාටා ලෙවින් පැවසුවා ය.
බොහෝ ප්‍රතිපත්ති සහ සහනාධාර ණයවී සිටින පළාත් ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒවාට ප්‍රමාණවත් සම්පත් සැපයිය හැකිද යන්න පැහැදිලි නැති බවත් ඇය තවදුරටත් පවසයි.
රජය මෙතරම් ගැඹුරු පෞද්ගලික තේරීමක් සම්බන්ධයෙන් 'ඕනෑවට වඩා ආක්‍රමණශීලී' බව ජනතාවට හැඟෙන්නේ නම්, දරුවන් ලැබීමට ජනතාව දිරිමත් කිරීමේ චීනයේ ප්‍රවේශය ද ආපසු හැරවිය හැකි බව ඇය පැවසුවා ය.
මෑතකදී සමහර පළාත්වල කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් චක්‍රය සහ දරුවන් ලැබීමේ සැලසුම් පිළිබඳව විමසමින් ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් ඇමතුම් ලැබී ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. යුනාන් පළාතේ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාංශය පැවසුවේ ගැබිනි මව්වරුන් හඳුනා ගැනීම සඳහා එවැනි දත්ත අවශ්‍ය බවයි.
නමුත් මෙය රජයේ ප්‍රතිරූපයට උදව් කර නොමැති බව ලෙවින් පැවසුවා ය."[කොමියුනිස්ට්] පක්ෂයට තමන් සැලකිලිමත් වන සෑම තීරණයකටම තමන්ව ම ඇතුළත් කර ගැනීමට නොහැකියි. ඒ නිසා එය යම් ආකාරයකින් තමන්ගේම නරක ම සතුරා බවට පත් වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චීනයට අනන්‍ය නොවන මෙම පුළුල් වෙනස්කම් පිටුපස ඇති සමාජ වෙනස්කම් තේරුම් ගැනීමට රටේ පුරුෂ ආධිපත්‍යය දරන නායකත්වය අසමත් වන බව නිරීක්ෂකයෝ සහ බොහෝ කාන්තාවෝ පවසති.
බටහිර රටවල් සහ දකුණු කොරියාව සහ ජපානය වැනි කලාපයේ රටවල් පවා, ඔවුන්ගේ ජනගහනය වයස්ගත වන විට උපත් අනුපාතය ඉහළ නැංවීමට අරගල කරමින් සිටිති.
පර්යේෂණවලින් පෙනී යන්නේ, ළමා සුරැකුම් කටයුතුවල බර කාන්තාවන් මත අසමානුපාතිකව පැටවීම ඊට එක් හේතුවක් බවයි. නමුත් විවාහයේ අඩුවීමක් සහ පෙම් සබඳතා පවා අඩුවීම වැනි වෙනත් වෙනස්කම් ද ඇත.
හෙනාන් පළාතේ ලුඕ පැවසුවේ චීනයේ පියවර මාලාව සැබෑ ගැටළුව මග හරින බවයි: 'විශේෂයෙන් ම අද තරුණයින් අන්තර් ක්‍රියා කරන ආකාරය තුළින් සැබෑ මානව සම්බන්ධතා වැඩි වැඩියෙන් මග හරිනවා'
චීනයේ ලිංගික උපකරණ අලෙවිය ඉහළ යාම පිළිබඳව ඔහු පෙන්වා දුන් අතර, එයින් පෙනී යන්නේ 'මිනිස්සු තමන් ගැනම සෑහීමකට පත්වන' බවත්, මන්ද 'තවත් පුද්ගලයෙකු සමඟ අන්තර් ක්‍රියා කිරීම බරක් වී ඇති' බවත් ය.
'පීඩනය සැබෑවක් නිසා' මාර්ගගතව සිටීම පහසු සහ සැනසිලිදායක බව ඔහු පැවසීය.
"අද තරුණ පරපුර අවුරුදු 20කට පෙර සිටි අයට වඩා බොහෝ සෙයින් සමාජයෙන් ආතතියට මුහුණ දෙනවා. ඇත්ත වශයෙන් ම, ද්‍රව්‍යමය වශයෙන් ඔවුන් වඩා හොඳ තත්වයක සිටිනවා, නමුත් ඔවුන් කෙරෙහි තබා ඇති අපේක්ෂාවන් බොහෝ ඉහළයි. හැමෝ ම වෙහෙසට පත් වෙලා."














