අනුරාධපුර රෝහලේ සිදුවීම: වින්දිත වෛද්‍යවරියගේ නොපැමිණීමෙන් හඳුනාගැනීමේ පෙරට්ටුව කල් යයි

- Author, බීබීසී සිංහල
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද (මාර්තු 17) පැවැත්වීමට නියමිතව තිබුණ ද එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මාර්තු 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ ය.
අද (මාර්තු 17) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම පෙරෙට්ටුව මෙලෙස යළි කල් දැමීමට හේතු විය.
මෙම අපරාධය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු යුද හමුදා සෙබලා ලබන 24 වැනිදා දක්වා යලි රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට සැකකරු යලි හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තවදුරටත් නියෝග කරනු ලැබී ය.
මේ අතර පැමිණිලිකාර වෛද්‍යවරිය එදිනට හඳුනා ගැනීමේ පෙරටුව සඳහා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.
අද (මාර්තු 17) මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලීසිය අධිකරණයට පැවසුවේ, හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පෙනී සිටින ලෙසට පැමිණිලිකාර වෛද්‍යවරියට දැනුම් දී ඇතත් ඇය අද දින අධිකරණයේ පෙනී නොසිටි බව ය.
ඒ අනුව ඊළඟ නඩු දිනයේදී පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සහභාගි කිරීමට පියවර ගන්නා බවද අධිකරණයට දැනුම් දුන් පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බව ද පැවසුවේ ය.
සැකකරු සහ ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදී ම බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු යුද්ධ හමුදා සෙබළා මාර්තු 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මාර්තු 14 නියෝග කළේ ය.
එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ ය.
මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීරට තව දුරටත් නියෝග කළේ ය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබළෙකු මෙන් ම චීවරධාරියෙකි.
පොලිසිය හා විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී ගල්නෑව, නිදිකුම්භායාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනිණි.
මේ අතර, මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ වැඩි මහල් සොහොයුරිය ද අද (මාර්තු 17 වන දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නී ය.
සොරා ගත් බව කියන ජංගම දුරකතනය තවමත් සොයා ගෙන නැහැ
වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කිරීමෙන් අනතුරුව සැකකරු විසින් සොරා ගනු ලැබූ බව කියන වෛද්‍යවරියට අයත් ජංගම දුරකතනය සොයා ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට හැකි වී නොමැත.
එය සොයා ගැනීම සඳහා පොලිසිය මාර්තු 13 සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී පාත්තරයක් තුළ සඟවා තබන ලද ජීව අත්බෝම්බයක්, සිවුරක් සහ වටාපතක් සොයා ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක ය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීරගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්නගේ මෙහෙයවීම යටතේ උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද සහ සැරයන් රංජිත් නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී සිටියේ නැත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර සැකකරු වහා ම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ, ඉකුත් මාර්තු 12 වන දා ය.
දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි
එදින මහේස්ත්‍රාත්වරයා සැකකරු සොරා ගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකතනයෙන් ලබා ගෙන ඇති සහ ඊට ලැබී ඇති දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස ද අදාළ දුරකතන සමාගමේ කළමනාකාරීත්වයට නියෝග කළේ ය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි වෛද්‍යවරියක බරපතළ ලිංගික අපරාධයකට ලක් කර තිබුණේ, මාර්තු 10 වන දින රාත්‍රියේදී ය.
අදාළ පුද්ගලයා මෙම වෛද්‍යවරිය සිය රාජකාරිය නිමවා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට පැමිණෙමින් සිටි අවස්ථාවේදී පිහියක් පෙන්වා ඇය නිල නිවස තුළදී ම ලිංගික අපරාධයකට ලක් කර, පසුව ඇය සතුව තිබූ ජංගම දුරකතන දෙකෙන් එකක් සොරා ගෙන ගොස් තිබිණි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබුණු අතර මාර්තු 12 පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ ය.
ඒ, ගල්නෑව ප්‍රදේශයේදී ය.
ස්ත්‍රී දූෂණයකදී දැනුම් දෙන්න
ස්ත්‍රී දූෂණයක්, කාන්තා හෝ ළමා හිංසනයක් පිළිබඳව දැනුම් දීම සඳහා ගාස්තු රහිත ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා තිබේ.
එම අංක මෙසේ ය.
109 - පොලිස් ළමා හා කාන්තා කාර්යංශය
1929 - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
1938 - කාන්තා කටයුතු අමාත්‍යංශය














