ලෝක සාඵල්‍යතා අනුපාතය 'පෙර සිදු නොවූ ආකාරයට පහත වැටී' ඇති බවට එක්සත් ජාතීන්ගෙන් ප්‍රකාශයක්

    • Author, ස්ටෙෆනි හෙගර්ටි
    • Role, ජනගහනය පිළිබඳ වාර්තාකරු

නම්රතා නන්ජියා සහ ඇගේ සැමියා ඔවුන්ගේ පස් හැවිරිදි දියණිය ඉපදුණු දා සිට තවත් දරුවෙකු ලැබීමේ අදහස ගැන සිතමින් සිටිති.

නමුත් සෑම විට ම ආපසු ඇතිවන ප්‍රශ්නයක් තිබේ. "අපට ඒක දරන්න පුළුවන් ද?"

ඖෂධ ක්ෂේත්‍රයේ සේවය කරන ඇය මුම්බායිහි ජීවත් වන අතර, ඇගේ සැමියා ටයර් සමාගමක සේවය කරයි. නමුත් පාසල් ගාස්තු, පාසල් බස් රථ ගාස්තු, පිහිනුම් පන්ති, වෛද්‍යවරයා වෙත යාම වැනි දේවල්වලට අධික වියදමක් දැරීමට සිදුවන නිසා එක් දරුවෙකු ලැබීම ද දරා ගත නොහැකි වී තිබේ.

නම්රතා හැදීවැඩුණු කාලයට වඩා එය වෙනස් ය. "අපි ඉස්කෝලේ යන කාලේ, විෂය බාහිර වැඩ නෑ, නමුත් දැන් දරුවන්ව පිහිණුම් පන්ති යවන්න වෙනවා, චිත්‍ර පන්තිවලට යවන්න වෙනවා, එයාලට තව මොනවද කරන්න පුළුවන් කියලා ඔයාට බලන්න වෙනවා."

එක්සත් ජාතීන්ගේ ප්‍රජනන අයිතිවාසිකම් පිළිබඳ ආයතනය වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නව වාර්තාවකට අනුව, නම්රතාගේ තත්ත්වය ගෝලීයව පොදු දෙයක් බවට පත්වෙමින් තිබේ.

සරුභාවය අඩුවීම සම්බන්ධයෙන් එම ආයතනය තවදුරටත් දැඩි පියවර ගනිමින් සිටින අතර, මිලියන සිය ගණනක් ජනතාවට තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වී ඇති බවට අනතුරු අඟවයි, ඊට හේතු ලෙස දක්වන්නේ, දෙමව්පියන් බවට පත්වීම සඳහා වැයවන අධික පිරිවැය සහ සුදුසු සහකරුවෙකු නොමැතිකම ය.

UNFPA විසින් රටවල් 14 ක පුද්ගලයින් 14,000ක් සමග ඔවුන්ගේ සරු භාවය පිළිබඳ අභිප්‍රායන් පිළිබඳව සමීක්ෂණයක් පවත්වන ලදී. සමීක්ෂණයට සම්බන්ධ වූ සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු ම පැවසුවේ තමන්ට අපේක්ෂිත දරුවන් සංඛ්‍යාව ලැබී නොමැති බව හෝ නොලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

සමීක්ෂණයට ලක් කළ රටවල් වන්නේ ගෝලීය ජනගහනයෙන් තුනෙන් එකක් නියෝජනය කරන දකුණු කොරියාව, තායිලන්තය, ඉතාලිය, හංගේරියාව, ජර්මනිය, ස්වීඩනය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව සහ නයිජීරියාවයි.

ඒවා අඩු ආදායම්, මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලබන රටවල් සහ අඩු හා ඉහළ සාඵල්‍යතාවයක් ඇති රටවල මිශ්‍රණයකි. UNFPA විසින් තරුණ වැඩිහිටියන් සහ ඔවුන්ගේ ප්‍රජනන වයස පසු කළ අය මෙම සමීක්ෂණයට සම්බන්ධ කරගන්නා ලදී.

"ලෝකයේ සාඵල්‍යතා අනුපාතවල පෙර නොවූ විරූ පහත වැටීමක් පටන් අරන් තියෙනවා," UNFPAහි ප්‍රධානී ආචාර්ය නටාලියා කනේම් පවසයි.

"සමීක්ෂණය කරපු බොහෝ දෙනෙක්ට දරුවෝ දෙන්නෙක් හෝ ඊට වැඩි ගණනක් ඕනේ. ගොඩක් අයට තමන්ට අවශ්‍ය පවුල් නිර්මාණය කර ගන්න බෑ කියලා තේරෙන නිසා සාඵල්‍යතා අනුපාත බොහෝ දුරට පහත වැටෙමින් තියෙනවා, ඒක තමයි ලොකුම අර්බුදය," ඇය පවසයි.

"මේක අර්බුදයක් ලෙස කියලා හඳුන්වනවා කියන්නේ, මේක සැබෑවක් කියලා කියන එක. මම හිතන්නේ ඒක වෙනසක්," යුරෝපයේ සාඵල්‍යතා අභිප්‍රායන් පිළිබඳව පර්යේෂණ කරන ජනගහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ෆින්ලන්ත රජයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන ජනවිකාශන විද්‍යාඥ ඇනා රිට්කර්ච් පවසයි.

"සමස්තයක් විදිහට, සාඵල්‍යතා පරමාදර්ශ ඉක්මවා යන එකට වඩා ගොඩක් අඩුපාඩු තියෙනවා," ඇය පවසයි. ඇය මේ පිළිබඳව යුරෝපයේ දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර ඇති අතර එහි ගෝලීය මට්ටමේ පිළිබිඹුව දැකීමට ද ඇය උනන්දු ය.

ප්‍රතිචාර දැක්වූ අයගෙන් වයස අවුරුදු 50 ට වැඩි (31%) අයගෙන් කොපමණ පිරිසක් තමන්ට අවශ්‍ය ගණනට වඩා අඩු දරුවන් සංඛ්‍යාවක් සිටින බව පැවසූවේද යන්න ගැන ඇය පුදුමයට පත් වූවා ය.

මෙම වසර අගදී රටවල් 50ක සිදු කිරීමට නියමිත පර්යේෂණන් සඳහා නියමු ව්‍යාපෘතියක් වන මෙම සමීක්ෂණයේ විෂය පථය සීමිත විය. උදාහරණයක් ලෙස වයස් කාණ්ඩ සම්බන්ධයෙන් ගත් කළ, නිගමනවලට එළඹීමට රටවල්වලින් ලබා ගත් නියැදි ප්‍රමාණයන් ඉතා කුඩා ය.

නමුත් ඇතැම් සොයා ගැනීම් පැහැදිලි ය.

සියලු රටවල්වල, 39% ජනතාව පැවසුවේ තමන්ට දරුවෙකු ලැබීමට ඇති හැකියාව මූල්‍යමය බාධාවන් නිසා වැළකී ගිය බව ය.

ඒ සඳහා දකුණු කොරියාවෙන් වැඩි ම ප්‍රතිචාර (58%) ලැබී තිබූ අතර, අඩු ම ප්‍රතිචාර ස්වීඩනයෙන් (19%) ලැබී තිබිණි.

සමස්තයක් වශයෙන්, තමන් කැමති දරුවන් සංඛ්‍යාව නොලැබීමට හේතුවක් ලෙස වඳභාවය, හෝ පිළිසිඳ ගැනීමේ අපහසුතාව බවට සඳහන් කළේ 12% ක් පමණි. නමුත් තායිලන්තය (19%), ඇමෙරිකා එක්සත් ජනපදය (16%), දකුණු අප්‍රිකාව (15%), නයිජීරියාව (14%) සහ ඉන්දියාව (13%) ඇතුළු රටවල එම අගය ඉහළ අගයක් ගනු ලැබී ය.

"මඳ සරුභාවය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් [එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්] ඇත්තට ම සම්පූර්ණ අවධානයක් යොමු කළ පළමු අවස්ථාව මේක," හොංකොං විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජනවිකාශනය පිළිබඳ විද්‍යාඥ මහාචාර්ය ස්ටුවර්ට් ගීටෙල්-බැස්ටන් පවසයි.

මෑතක් වන තුරු ම එම ආයතනය [එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්] දැඩි ලෙස අවධානය යොමු කළේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා දරුවන් සිටින කාන්තාවන් සහ ගැබ් ගැනීම් වැළැක්වීමට හෝ ප්‍රමාද කිරීමට කාන්තාවන් තුළ ඇති කැමැත්ත ගැන ය.

තවමත්, මඳ සරුභාවයට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රවේශම් වන ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඉල්ලා සිටියි.

"දැන් අපි දකින්නේ අධික ජනගහනය හෝ අඩුවන ජනගහනය වැනි ව්‍යසනයන් පිළිබඳ අතිශයෝක්ති කතා ගොඩක්, ඒක මේ වගේ අතිශයෝක්ති ප්‍රතිචාරයකට සහ සමහර විට හැසිරවීමක් සිද්ධ වෙන ප්‍රතිචාරයකට හේතු වෙනවා," ආචාර්ය කනේම් පවසයි.

" කාන්තාවන් වැඩියෙන් හෝ අඩුවෙන් දරුවන් ලබන්න උත්සහ කරන එක."

වසර 40 කට පෙර චීනය, කොරියාව, ජපානය, තායිලන්තය සහ තුර්කිය යන රටවල් සියල්ලට ම ඔවුන්ගේ ජනගහනය ඉතා ඉහළ මට්ටමක පැවතීම ගැන කනස්සල්ලට පත්ව සිටි බව ඇය පෙන්වා දෙයි. 2015 වන විට ඔවුන්ට අවශ්‍ය වූයේ සඵල්‍යතාවය වැඩි කිරීමටයි.

"ඒ රටවල් බියට පත් වෙලා හදිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් වළක්වා ගන්න අපි පුළුවන් තරම් උත්සහ කරන්න ඕනේ," මහාචාර්ය ස්ටුවර්ට් ගීටෙල්-බැස්ටන් පවසයි.

"අපි දකිනවා මඳ සරුභාවය, ජනගහනය වයස්ගත වීම, ජනගහනය නිශ්චලව තියෙන එක, ජාතිකවාදී, සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගතානුගතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා නිදහසට කරුණක් විදිහට යොදාගන්න විදිහ," ඔහු පවසයි.

UNFPA ආයතනයට අනුව, මූල්‍යමය ප්‍රශ්න පමණක් නොව වෙලාව නොමැතිකම ද දරුවන් ලැබීමට ඇති විශාල බාධකයක් වේ. මුම්බායිහි නම්රතා සම්බන්ධයෙන් එය සත්‍යයක් වේ.

තම කාර්යාලයට ගොස් ආපසු නිවසට ඒමට ඇය දිනකට අවම වශයෙන් පැය තුනක්වත් ගත කරන්නී ය. ඇය නිවසට පැමිණෙන විට ඇය වෙහෙසට පත්ව සිටියත් ඇගේ දියණිය සමඟ කාලය ගත කිරීමට කැමති ය. ඇගේ පවුලේ අයට එතරම් නින්දක් ද නොලැබේ.

"වැඩ කරන දවසකට පස්සේ, අම්මා කෙනෙක් විදිහට, ඔයා ඔයාගේ දරුවා එක්ක ඇති තරම් කාලය ගත කරන්නේ නැහැ කියන වරදකාරී හැඟීම ඔයාට තියෙනවා," ඇය පවසයි. "ඉතින් අපි කරන්න යන්නේ එක දෙයකට අවධානය යොමු කරන එක."