පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදිනියකට සිදුවූ බව කියන හිංසනය: මාධ්‍යවේදිනිය, නි. ඇමති ඇතුළු පාර්ශව කියන්නේ මොනවා ද?

    • Author, බීබීසී සිංහල

රටේ නීති සම්පාදනය කරන ඉහළ ම ස්ථානය වන පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදිනියකට මුහුණ දීමට සිදුවු හිංසනයක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වී තිබේ.

සමගි ජන බලවේගයේ චමින්ද්‍රාණි කිරිඇල්ල මන්ත්‍රීවරිය පසුගිය දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු තමන් ඉදිරිපිටදී ම මාධ්‍යවේදිනියක වාචික හා මානසික හිංසනයකට ලක්කළ බව ය.

'මාධ්‍යවේදිනියට ලොකු හිංසනයකට ලක් වෙන්න සිදුවුණා'

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටු දැකීම වෙනුවෙන් පැවැත්වෙන දින 16ක වැඩසටහන සම්බන්ධව අදහස් පළ කරමින්, මාධ්‍යවේදිනිය මුහුණ දුන් සිදුවීම පිළිබඳව මන්ත්‍රීවරිය සඳහන් කළා ය.

"පාර්ලිමේන්තුවේ, ගිය සතියේ ප්‍රවීණ මාධ්‍යවේදිනියකට මෙවැනි වාචික හා මානසික හිංසනයකට ලක්වෙන්න සිදුවුණා. වල් පැළ ගලවලා මල් පැල හිටවනවා කිව්වාට මේ ආණ්ඩුව අපිට පේන්නේ සමහර නියෝජ්‍ය ඇමැතිවරු ඇවිත් තියෙන්නේ මඩේ හැදෙන කාන්තාවන් ගිලින බඳුරා මල් හා සමාන යි කිව්වොත් මම හිතන්නේ ඒක නිවැරදි යි. මල් පැළ නෙවේ මල් වටේ කැරකෙන බඹරුන් හා සමාන යි කිව්වොත් නිවැරදි යි. මොක ද මමත් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදිනියත් එක්ක හිටියා ඒ අවස්ථාවේ මාධ්‍යවේදිනිය ලොකු හිංසනයකට ලක් වෙන්න සිදුවුණා. මානසිකව සහ ලොකු පීඩාවක් එතුමියට විඳින්න සිද්ධ වුණා. මම ඒ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කරනවා."

එමෙන් ම චමින්ද්‍රාණි මන්ත්‍රීවරිය මෙම සිදුවීම අගමැතිනියගේ අවධානයට ද යොමු කළා ය.

මාධ්‍යවේදිනිය මුහුණ දුන් සිදුවීම කුමක් ද?

මෙම සිදුවීමට මුහුණ දුන් (මව්බිම පුවත්පතේ) අනුරාධ හේරත් මාධ්‍යවේදිනිය බීබීසී සිංහල සේවයට එම සිදුවීම මෙලෙස විස්තර කළා ය.

"මම චිත්‍රාල් ප්‍රනාන්දුගේ ඉන්ටර්වීව් එකකට (පාර්ලිමේන්තුවට) ගියා. ඒ වැඩේ ඉවර කරලා ඉද්දී මාත් එක්ක හිතවත් චමින්ද්‍රාණි කිරිඇල්ල යි, චතුර ගලප්පත්ති යි ඇවිල්ලා කතා කළා. කතා කරලා එලියට ඇවිල්ලා ලිෆ්ට් එක ළඟ කතා කර කර හිටියා. ඊට පස්සේ මහින්ද ජයසිංහ ආවා, මම හිනා වුණා වෙන දා වගේ කොහොම ද කියලා. එයා එහෙම නැහැ කොහොම ද ඇහුවේ නැහැ, දැක්ක ගමන් ඇඟ දිහා අමුතු විදියට බැලුවා. මොක ද අනේ ඔය වෙලා තියෙන්නේ කැත වෙලා, වස කැත වෙලා කියලා මොකක් ද කිව්වා, මට හරියට වචන මතකත් නැහැ. ඊට පස්සේ මම හිනා වෙලා ඇහුවා ඇයි මට මොක ද වෙලා තියෙන්නේ කියලා. ඉස්සර නම් හරි හැඩ යි, ඇඟ හරි ම ලස්සන යි, හැඩට හිටියා. දැන් බලන්නකෝ, මොකක් හරි ඒ වගේ කිව්වා, වස කැතයි ද මොකක් ද කියලා. මම ඒත් හිනා වෙලා හිටියා. ආයෙත් ඒ වගේ එකක් කිව්වා ඊට පස්සේ මට ඉතින් කේන්ති ගියා. චමින්ද්‍රාණිටත් ඒක අවුල් වගේ දැනුණා එයා කිව්වා නෑ නෑ මෙයා අපේ අප්පොච්චා ඉන්න කාලේ ඉඳලා මාත් එක්ක යාළු යි, ඒ කාලේ නම් ටිකක් මහත යි දැන් නම් නෑ, දැන් ලස්සන ළමයෙක් නේ කියලා කිව්වා."

"ඊට පස්සේ එය (මහින්ද ජයසිංහ) චමින්ද්‍රාණි දිහා බලලා කිව්වා, නෑ චමින්ද්‍රාණි ඔයා නම් හරි හැඩ යි උසට ගැලපෙනවා ලස්සනට ඉන්නවා හැඩට කියලා. ආයේ මගේ දිහා බලලා මෙයා එහෙම නෑනේ කියලා කිව්වා. තුන් හතර පාරක් රිපීට් වෙනකොට මට ඉන්න බෑනේ, මගේ ඇඟ දිහා බල බල කියනකොට ඒක නිකං විහිළුවක් නම් එකයි නේ, අපහාසේ කියන එක මට තේරුණා, විහිළුවක් නෙමෙයි කියලා. ඊට පස්සේ මම කිව්වා මේ කුහක ජෙප්පෙක්නේ, ඔයාගේ හැටි බලන්නකෝ අනේ මූණ ඇදිලා ගිහිල්ලා, ෂුගර්කාරයෙක් වගේ නේ කියලා මම කිව්වා," මාධ්‍යවේදිනිය එම සිදුවීම විස්තර කළා ය.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා වෙත ද පැමිණිලි කළ බව මාධ්‍යවේදිනී අනුරාධා හේරත් බීබීසි සිංහල සේවයට පැවසුවා ය.

මැති ඇමතිවරුන්ගෙන් දිගට ම සිදුවූ හිංසනය

"කවුරු හරි හිතනවා ඇති විහිළු නේ කියලා ඕක මතුපිටින්. හැබැයි මම අවුරුදු ගාණක් තිස්සේ ම ඒගොල්ලන්ගේ ම අය අතින්, මාධ්‍යවේදියොත් ඉන්නවා අපහාස කරන අය. එහෙම මහතකුත් නැතිව, මගේ ෆේස්බුක් එකේ ඉන්න අය එහෙම දන්නවා නේ මම මහත ද නැති ද කියලා. එච්චර මහතකුත් නැතිව මට තේරෙන්නේ නෑ ඇයි එහෙම කියන්නේ. දැන් ගොඩක් ටයි කෝට් ඇඳලා ඉන්න මන්ත්‍රීලා, ඇමතිලා ඒ කාලේ මට එහෙම කියනවා ඉතින්. ප්‍රෙස් කොන්ෆරන්ස්වලට අවුරුද්දක් දෙකක් නොයා හිටියා මම, මට ඒක ෆෝබියාවක් වගේ ආවා. කෙනෙක් ඉස්සරහට එනකොට මට මේක තමයි කියන්නේ කියලා මම දන්නවා. මම ලියන නිවුස් එකක්, ආර්ටිකල් එකක් හොඳයි කියලා කියන්න නේ ඕනේ ජර්නලිස්ට් කෙනෙකුට. හැබැයි පොදුවේ මම මුහුණ දුන්නේ ඕක තමයි එක දිගට," මීට පෙර ද විවිධ මැති ඇමතිවරුන්ගේ වාචික හිංසාවට ලක්වූ අයුරු විස්තර කරමින් ඇය පැවසීය.

'ඇයි දැන් ඇමතිලා වුණා ම ඇයි ඒකට කලගුණයක් නැත්තේ'

අනුරාධා හේරත් වසර 10ක පමණ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයට අදාළ පුවත් සිය මාධ්‍ය ආයතනය වෙනුවෙන් වාර්තා කරයි.

"මම මේක ඇවිල්ලා කර්තෘට කිව්වා, ඒ වෙලාවේ නම් මට ඇඬුණා. මම මේගොල්ලන්නට (ආණ්ඩු පක්ෂයට) ගොඩක් උදව් කළා අවුරුදු 10ක් විතර තිස්සේ. ඇයි අපිව අපහසුතාවට පත් කරන්නේ. ජනාධිපතිටත් කිව්වේ මට පාඩුවේ ඉන්න දෙන්න ඔයගොල්ලන්ගේ ගෝලයන්ට කියලා. මම ඕගොල්ලන්ගෙන් දේවල් ඉල්ලලත් නැහැ, දුන්න දේවල් ගත්තෙත් නැහැ. මම පාඩුවේ වැඩ කරගෙන යනවා මට මෙහෙම කරන්න දෙන්න එපා කියලා."

'මෙච්චර අඳුරන මං වෙනුවෙන් එක කාන්තාවක්වත් නැගිට්ටේ නැහැ සභාවේදී'

"ගොඩක් අය හරවන්න හදයි මේක විහිළුවක් කියලා ඒගොල්ලන්ට අවාසි නිසා. හැබැයි කවුරුත් නැගිටලාවත් කාන්තා පාර්ශවයේ, දැන් මාත් එක්ක සරෝජාලා, සමන්මලීලා හරි ම යාළු යි ඉස්සර මට කෝල් කරනවා, මම ගැන හොයාලා බලනවා, හොඳින් ද අහනවා. එහෙම හිටපු අය එක්කෙනක්වත් නැගිට්ටේ නැහැ විපක්ෂයේ මන්ත්‍රීලා කියනකොට ඕක. අඩු ම හොයලා බලන්නම් හරි කියලා කියනවා නේ සමාන්‍යයෙන් ඒගොල්ලො නැගිටලා. මෙච්චර අඳුරන මං වෙනුවෙන් එක කාන්තාවක්වත් නැගිට්ටේ නැහැ සභාවේදී."

'මම කකනගාටු වෙනවා සහ සමාවත් ඉල්ලනවා'

මාධ්‍යවේදිනිය වාචික හිංසනයට ලක් කළ බවට චෝදනා එල්ල වන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගෙන් බීබීසි සිංහල සේවය එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමසීමක් කළේ ය.

"මම දීර්ඝ කාලයක්, අවුරුදු 15ක් විතර අඳුරන කෙනෙක්. ඉතාමක් කුළුපගව ආශ්‍රය කරපු කෙනෙක්. එදා විපක්ෂයේ මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙකුයි, අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුයි ඉන්න වෙලාවේ මට මුණ ගැහුණා ලොබි එකේ. ඉතින් මම විහිළුවක් කළේ. බොහොම කාලෙකින් දැක්කේ එයා, මෙහෙමයි මහත් වෙලා කියලා කිව්වා එච්චර යි. ඊට පස්සේ චමින්ද්‍රාණි කිව්වා නෑ පිස්සුද අයියා මීට අවුරුද්දකට කලින් ඔයා මෙයාව දැක්කා නම් මීට වඩා මහත යි දැන් කෙට්ටු යි, ලස්සන වෙලා එහෙම කියලා කිව්වා. ඔච්චර යි වුණේ, ඕකට තමයි ඔය ලොකු දේවල් කියන්නේ. මම විහිළුවක් කළේ. මගේ විහිළුව, විහිළුවක් වෙන්නේ විහිළු කරපු කෙනෙක් ඒක විහිළුවක් ලෙස සැලකුවා නම් නේ. නමුත් එයා ඒක විහිළුවක් ලෙස සලකලා නැහැ. ඉතින් ඒ ගැන මම කනගාටු වෙනවා සහ මම සමාවත් ඉල්ලනවා. නමුත් මේක බේස් කරගෙන ඉතාමත් අවරගණයේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. සෝෂල් මීඩියා සහ සෝෂල් මීඩියා විතරක් නෙමෙයි සමහර ජාතික යි කියා ගන්නා මඩ අවලාද නගන නාලිකාත්. ඉතින් මගේ පවුල, පවුලේ දේවල්, මගේ පෞද්ගලික ජීවිතේ, ඇත්තට ම සිදු නොවුණ විවිධ අභූත සිදුවීම් ගැන කියමින් ඉතා ම නරක ලෙස මඩ ප්‍රහාරයක් එල්ල වෙමින් තිබෙනවා. මම ඒවා උපේක්ෂාසහගතව ඉවසනවා. මේ දේශපාලනයේ හැටි එහෙම යි. ඒවා ගැන මම කලබල වෙන්නෙත් නැහැ, සැලෙන්නෙත් නැහැ. අපිට සමාජය රට වෙනුවෙන් වගකීමක් පවරලා තිබෙනවා. මෙවැනි මඩ, අවලාදවලින් සැලෙන්නේ නැතුව ඒ වගකීම ඉදිරියට ඉටු කරනවා."

මෙම සිදුවීමෙන් කෙටි වෙලාවකට පසුව මාධ්‍යවේදිනියට දුරකතන ඇමතුමක් ලබා දී කනගාටුව පළ කිරීමට හා සමාව ලබා ගැනීමට උත්සහ කළ ද ඇය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ය.

නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණ බවත් ඔහු සමග තවදුරටත් කතා කිරීමට දෙයක් නොමැති බැවින් එයට ප්‍රතිචාර නොදක්වා ඔහුගේ අංකය අවහිර කළ බවත් මාධ්‍යවේදිනිය පැවසුවා ය.

මාධ්‍යවේදිනියට පාර්ලිමේන්තුවේදී මුහුණ දීමට සිදුව ඇති මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ ප්‍රතිචාරය දැන ගැනීමට එහි සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ් සම්බන්ධ කර ගැනීමට බීබීසි සිංහල සේවය උත්සාහ කළ ද ඇය දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ලිංගික හිංසනවලට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට ලිංගික හිංසනවලට වරදරකරුවන් වූ සේවකයින් තිදෙනෙකුගේ සේවය මේ වසරේ ජනවාරි මාසයේදී අත්හිටවනු ලැබී ය.

ඒ අනුව පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එවකට සිටි කතානායකවරයාගේ උපදෙස් මත 2023 අගෝස්තු 04 වන දා එවකට පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ තිබිණි.

විනය පරීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණදීර වෙත භාර දීමෙන් අනතුරුව ඇයගේ නිර්දේශ මත වරදකාර සේවකයන් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පසුගිය ජනවාරි මාසයේ අනුමැතිය දුන්නේ ය.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගිය ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ තොරතුරු හා පද්ධති කළමනාකරණ අංශයේ කාන්තාවන්ට ද එහි බලධාරීන් ලිංගික හිංසන සිදුකරන බව ය.

සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව නොවැම්බර් 24 වන දා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාර දුන්නා ය.

"ඒකී වාර්තාවට අනුව උක්ත පැමිණිල්ල සිදුකරන ලද නිලධාරිනියට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නොමැති බව විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පෙනී යන බව වාර්තාව මගින් නිගමනය කොට තිබේ. තව ද එම අංශයේ වෙනත් කිසිදු නිලධාරිනියකට හෝ ලිංගික හිංසන සිදුවී නොමැති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ," යැයි පාර්ලිමේන්තුව නිවේදනය කර ඇත.