ප්‍රංශය ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත් කරයි

A protester is holding a sign that reads ''My body, My uterus, My choice'' during a silent gathering

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීමේ නිහඬ විරෝධාතවක් අතරතුර විරෝධතාවේ නිරත කාන්තාවක් ''මගේ ශරීරය, මගේ ගර්භාෂය, මගේ කැමැත්ත'' යනුවෙන් සඳහන් පුවරු අතැතිව සිටින අයුරු

ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට පැහැදිලිව ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්විය.

ගබ්සා කිරීම සඳහා කාන්තාවන්ගේ "සහතික කරන ලද නිදහස" තහවුරු කිරීම සඳහා 1958 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය දුන්හ.

780-72 ක් ලෙස ලැබුණු මෙම දැවැන්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වර්සායිහි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නැඟී සිටින අයුරු දක්නට ලැබුණි.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම පියවර විස්තර කළේ මෙය “විශ්වීය පණිවිඩයක්” ලබා දෙන “ප්‍රංශ අභිමානයක්” ලෙසිනි.

මත විමසුම්වලින් පෙනී යන්නේ, ප්‍රංශ මහජනතාවගෙන් 85%ක් පමණ මෙම ප්‍රතිසංස්කරණයට සහය දෙන බව ය. පාර්ලිමේන්තුවේ දක්ෂිණාංශිකයින්ගේ විරෝධය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වී ඇත.

රෝ එදිරිව වේඩ් තීන්දුවේ බලපෑම

ගබ්සාව 1975 සිට ප්‍රංශයේ නීත්‍යනුකූලව පැවති නමුත් රෝ එදිරිව වේඩ් තීන්දුව ආපසු හැරවීමට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ 2022 තීන්දුවෙන් පසුව ජනාධිපති මැක්‍රොන් එය ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවට ප්‍රතිඥා දුන්නේ ය.

එම තීන්දුව එක්සත් ජනපදයේ ගබ්සාව සඳහා 50 වසරක් පුරා පැවති අයිතිය අවලංගු කළේ ඇමෙරිකානු ප්‍රාන්තවලට ඔවුන්ට අවශ්‍ය පරිදි එය තහනම් කිරීමට හෝ සීමා කිරීමට ඉඩ දෙමිනි. එමගින් තම මූලික නීතියේ සඳහන් අයිතිය පැහැදිලිව ආරක්ෂා කරන පළමු රට බවට ප්‍රංශය තල්ලු කිරීමට ක්‍රියාකාරීන් පොළඹවන ලදී.

Women gathered for a demonstration holding a banner in support of the constitutional change

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහජන මත විමසීම්වලින් පෙනී යන්නේ ප්‍රංශ මහජනතාවගෙන් 85% ක් පමණ ප්‍රතිසංස්කරණයට සහාය දෙන බව ය.

"මේ අයිතිය (ගබ්සා කිරීමට) එක්සත් ජනපදයේ නැති වෙලා ගිහින් තියෙන්නේ. ඒ අවදානම ප්‍රංශයට නැහැ කියල හිතන්න කිසි ම අවස්ථාවක් අපිට තිබුණේ නැහැ," මානව හිමිකම් කණ්ඩායමක් වන Fondation des Femmesහි (කාන්තා පදනම) ලෝරා ස්ලීමනී පැවසුවා ය.

"අපි දන්නවා ඒක ලොකු සැමරුමක් වේවි කියලා," එම කණ්ඩායමේ ම ක්‍රියාකාරිනියක වන ඈන්-සිසිලි මේල්ෆර්ට් ඡන්ද විමසීමට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

"ඡන්දය පැවැත්වෙන මොහොතේ, අයිෆල් කුළුණ ආලෝකයෙන් වර්ණවත් වෙන්න ඕනේ. ඒකෙන් ලෝකයට වැදගත් පණිවිඩයකුත් අරගෙන යාවි."

ප්‍රංශයේ ගබ්සා නීතියේ ඉතිහාසය

ප්‍රංශයේ, 1975 සිට ගබ්සා කිරීමේ අයිතිය නීතියෙන් තහවුරු කර ඇත්තේ එක්සත් ජනපදයේ මෙන් නොව, තනි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකිනි.

එතැන් සිට, ප්‍රංශයේ මෙම නීතිය නව වතාවක් යාවත්කාලීන කර ඇති අතර ඒ සෑම අවස්ථාවකදී ම ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණිනි.

ප්‍රංශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එනම් නීතිවල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව තීරණය කරන ආයතනය කිසිවිටෙකත් ඒ පිළිබඳව ප්‍රශ්න කර නොමැත.

එබැවින්, බොහෝ නීතිවේදීන්ට අනුව, ගබ්සාව දැනටමත් ව්‍යවස්ථාපිත අයිතියකි.

French Senators attend a debate for a vote on a government plan to enshrine the "freedom" to have an abortion in the French constitution

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනවාරි මාසයේදී, ප්‍රංශයේ පහළ මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව අනුගමනය කරමින් ව්‍යවස්ථාවේ ගබ්සාව "සහතික කළ නිදහසක්" බවට පත් කිරීම අනුමත කළේය.

1971 වසරේදී, ප්‍රංශයේ ගබ්සාව නීතිගත කිරීමේ ව්‍යාපාරය එහි උච්චතම අවස්ථාවට පැමිණීමත් සමග රට පුරා කාන්තාවන් 343 දෙනෙකු විසින් පෙත්සමකට අත්සන් කරන ලදී.

"Manifesto of the 343" ලෙසින් හඳුන්වනු ලැබූ මෙම කාන්තාවන් තමන් ද නීතිවිරෝධී ලෙස ගබ්සා කිරීම්වලට භාජනය වූ බව පිළිගත්තේ සෑම වසරක ම කාන්තාවන් 700,000 සිට 800,000 දක්වා ගණනක් ගබ්සා කරන බවට ගණන් බලා ඇති අවස්ථාවක ය.

"එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ හැසිරීම ලොව පුරා කාන්තාවන්ට වාසියක් ගෙන දුන්නේ එය අපව අවදි කළ නිසා," Femmes Monde (Women in the World) සංගමයේ ප්‍රධානී ක්ලෝඩින් මොන්ටේල් ඒ.එෆ්.පී වෙත පැවසීය.

එම ප්‍රකාශනයට අත්සන් කළ ලාබාලතම කාන්තාව ඇය වූවා ය.

ලෝකයේ ගබ්සා නීති

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ප්‍රංශ ප්‍රතිසංස්කරණය සඳහා සහය දක්වන පිරිස් පවසන්නේ, ගබ්සා කිරීමේ අයිතිය සීමා කිරීමට කැමති පුද්ගලයින් බලයට ගෙන ආ හැකි යුරෝපයේ "ප්‍රතිගාමී" සමාජ වෙනසක් ඇති කරන නව රැල්ලකින් ආරක්ෂා වීම අවශ්‍ය බව ය.

මෝල්ටාව, හංගේරියාව සහ පෝලන්තය වැනි දැනටමත් සීමාවන් පවතින හෝ බොහෝ සෙයින් විවාදයට ලක්වන රටවල් යැයි ඔවුහු පෙන්වා දෙති.

"කාන්තාවන්ගේ අයිතිවාසිකම් තුළ, සංකේතවලට වැදගත් තැනක් හිමි වෙනවා," ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක රේචල්-ෆ්ලෝර් පාර්ඩෝ ව්‍යවස්ථාමය වෙනස ගැන පැවසුවා ය.

"හෙට ඒවා අපේ ආරක්ෂක ප්‍රාකාර බවට පත් වේවි. ඇත්ත වශයෙන් ම ගබ්සාව තර්ජනයට ලක්වන තෙක් බලා ඉන්න එකෙන් පියවර ගන්න ප්‍රමාද වැඩි වේවි."

ප්‍රජනක අයිතීන් සඳහා වූ මධ්‍යස්ථානයේ ලියා හොක්ටර් පැවසුවේ, ප්‍රංශයට "යුරෝපයේ පමණක් නොව ගෝලීය වශයෙන් ද එවැනි ආකාරයේ පළමු පැහැදිලි පුළුල් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්" පිරිනැමිය හැකි බව ය.

2022 වසරේදී නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම්පතකට චිලී රාජ්‍යයේ ගබ්සා කිරීමේ අයිතිය ඇතුළත් කළ නමුත් ඡන්දදායකයෝ ජනමත විචාරණයකදී එම වගන්තිය ප්‍රතික්ෂේප කළහ.

ඇතැම් රටවල්වල මෙම අයිතිය ගැන සඳහන් වේ. කියුබාවේ ව්‍යවස්ථාවෙන් කාන්තාවන්ගේ "ප්‍රජනන සහ ලිංගික අයිතිවාසිකම්" සහතික කෙරේ.

බෝල්කන් රටවල් කිහිපයක් "දරුවන්ගේ උපත තීරණය කිරීම" මානව අයිතිවාසිකමක් බව සඳහන් පැරණි යුගෝස්ලාවියාවේ 1974 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු යොදා ගෙන තිබේ.

අනෙක් රාජ්‍යයන් ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ගබ්සාව ගැන පැහැදිලිව සඳහන් කරන නමුත් එයට අවසර දෙන්නේ විශේෂිත අවස්ථාවන්හිදී පමණි.

'කාන්තාවන් ලබන පරාජයක්'

ප්‍රංශ මහජනතාවගෙන් බොහෝ දෙනෙක් ගබ්සාවට අමතර ආරක්ෂාවක් ලබා දීමේ පියවරට සහය දක්වති.

ප්‍රංශ මත විමසුම් කණ්ඩායමක් වන IFOP විසින් 2022 නොවැම්බර් මස කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, ප්‍රංශ ජනතාවගෙන් 86%ක් එය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සහය දුන් බව ය.

Protesters are taking part in a silent pro-life demonstration with cloths covering their mouths

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනසක් සඳහා වූ ගමනේදී ගබ්සාවට විරුද්ධ වූවන් බොහෝ දුරට කොන් කර තිබේ.

ඒඑෆ්පී වාර්තා කරන පරිදි වාමාංශික සහ මධ්‍යවාදී දේශපාලනඥයන් මෙම වෙනස පිළිගෙන ඇති අතර දක්ෂිණාංශික සෙනෙට් සභිකයින් පෞද්ගලිකව පවසා ඇත්තේ, එයට කොළ එළියක් දීමට තමන්ට පීඩනයක් ඇති වූ බව ය.

එක් අයෙකු පැවසුවේ, ඇය මෙම පියවරට විරුද්ධ වුවහොත් ඇගේ දියණියන් "තවදුරටත් නත්තලට නොඑනු ඇති" බව ය.

ගබ්සාවට විරුද්ධ පිරිස් සඳුදා පස්වරුවේ වර්සායිහි විරෝධතාවක් පැවැත්විය.

"ඒක කාන්තාවන් ලබන පරාජයක්," යැයි කතෝලික පවුල් සංගමයේ සභාපති පැස්කල් මොරිනියර් පැවසීය.

"ඇත්ත වශයෙන් ම, ලෝකයේ එළිය නොදකින හැම දරුවෙකුටමත්."