මේ සතිය ඇමෙරිකාවට එරෙහි සන්ධානයක නව ආරම්භයක් ද?

    • Author, ඇලෙක්සෙයි කැල්මයිකෝෆ්
    • Role, බීබීසී රුසියානු සේවය

ගෝලීය දේශපාලනය තුළ මාසයක් යනු දීර්ඝ කාලයකි.

ව්ලැදිමීර් පුටින් නැවතත් චීනයේ සංචාරයක නිරත වේ. නමුත් දැන් වෙනසක් පවතී. යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා සිය ප්‍රධාන මිත්‍ර රාජ්‍යයට පැමිණෙන පළමු අවස්ථාව මෙය යි. ඔහු පැමිණෙන්නේ, බටහිර නීති මගින් පීඩනයට ලක්වූ හෝ චීන ජනාධිපති ෂී ජින්පිංට ගැති වූ පුද්ගලයෙකු ලෙස නොවේ. ඒ වෙනුවට, ඔහු ලෝකයේ ඉහළ ම ආර්ථිකය සහ හමුදා බලය ඇති එමෙන් ම චීනයේ ප්‍රධාන ප්‍රතිවිරුද්ධ මතධාරියා වන එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සමග කරට කර සාකච්ඡා කරන නායකයෙකු ලෙස ය.

ඇලස්කාවේ සිට පැමිණි පුටින්ගේ මෙම චීන සංචාරය ජයග්‍රහණයක් වනු ඇත. ඇලස්කා හමුවේදී, ට්‍රම්ප් එක්සත් ජනපද භූමිය තුළ පුටින් ආචාරශීලීව පිළිගත් අතර යුක්රේනයට බෝම්බ නොදැමීමට සිදු කරන ඉල්ලීම් සහ රුසියාවට එරෙහි නව සම්බාධක පනවන බවට සිදු කරන තර්ජන අත්හැරීමට පුටින් ඔහුව පොළඹවා ගත්තේ ය.

චීනයේදී පුටින්ට උණුසුම් පිළිගැනීමක් හිමි වනු ඇත. දෙදිනක් පුරා පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රැස්වීමක් සඳහා කලාපීය නායකයින් විශාල පිරිසක් ටියැන්ජින්හි රැස්වීමට නියමිත ය.

බටහිර විරෝධී දැඩි වාග් ප්‍රහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද මෙම කණ්ඩායමේ කොටසක් වනු ඇත. බීජිං සහ වොෂිංටනය සමග සංකීර්ණ සබඳතා පවත්වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වේ.

නමුත් එය ආරම්භයක් පමණි.

එළඹෙන බදාදා බීජිංහිදී පැවැත්වෙන රැලියකට ලෝක නායකයින් රැසක් සහභාගි වනු ඇත. එහිදී, ඔවුන් එකට එක්ව මීට දෙවන ලෝක යුද්ධය නිමා කිරීමේ 80 වන සංවත්සරය සහ ජපානයට එරෙහිව චීනය ලැබූ ජයග්‍රහණය සහ ෆැසිස්ට්වාදයට එරෙහි ජයග්‍රහණය සමරනු ඇත.

චීනය තුළ මෙම සතියේ සිදුවන දෑ මගින් ඇඟවෙන්නේ එක්සත් ජනපදයට විරෝධී ගෝලීය සන්ධානයක් ශක්තිමත් වන බව ද?

බටහිර බලයට අභියෝග කිරීමට අදහස් කරන ශක්තිමත් සන්ධානයක් වන නමුත් වසර පහක් තිස්සේ අක්‍රියව සිටි රුසියාව-ඉන්දියාව-චීන (RIC) කණ්ඩායම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ වෙළෙඳ යුද්ධය උණුසුම් වෙමින් පවතින මොහොතක ‍යළි පිබිදෙමින් සිටින්නේ ද?

පුටින් සහ ෂී අතර විරසකයක් ඇති කිරීමට ට්‍රම්ප්ට නොහැකියි

ඇතැම් ජාත්‍යන්තර විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, පුටින්ගේ දිගු චීන සංචාරය රුසියාව සහ චීනය අතර පවතින අසීමිත මිත්‍රත්වය ශක්තිමත් වීම බව සහ ඔවුන් වෙන් කිරීමට එක්සත් ජනපදය දරන උත්සහය අසාර්ථක වන බව බටහිරට පෙන්නුම් කරන්නක් බව ය.

ට්‍රම්ප් යුක්රේනය පුටින්ට භාර දී සම්බාධක ඉවත් කළත් රුසියාව චීනයෙන් ඈත් නොවන බව ඔවුහු පවසති.

ජනාධිපති රිචඩ් නික්සන් යටතේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් 1970 දශකයේදී චීනය සෝවියට් සංගමයෙන් වෙන් කළේ කෙසේ දැයි විශේෂඥයෝ ප්‍රශ්න කරති. කෙසේ වෙතත්, ඒ වන විටත් චීනය සහ සෝවියට් සංගමය අතර දැඩි නොසන්සුන්තාවක් පැවතිණි. වර්තමානයේදී තත්ත්වය වෙනස් වී තිබේ.

''චීනයට ආර්ථික වශයෙන් එල්ල කරන පීඩනය ඉහළ දැමීමෙන් සිදු වන්නේ රුසියාව සහ චීනය අතර සබඳතා ශක්තිමත් කිරීම පමණයි. දෙරට අතර සබඳතා දුර්වල කිරීමට සහ 'reverse Kissinger' න්‍යාය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහයන් සාර්ථක වෙලා නැහැ,'' යනුවෙන් ආසියා සමාජ ප්‍රතිපත්ති ආයතනයේ චීන-රුසියා සම්බන්ධතා විශේෂඥ සහ රුසියාව, ටජිකිස්තානය සහ මෝල්ඩෝවාහි හිටපු ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පිරේ ඇන්ඩ්රියු (Pierre Andrieu) පවසයි.

"යුක්රේන යුද්ධය නතර කිරීමෙන් සහ රුසියාවට පනවා ඇති ඇතැම් සම්බාධක ඉවත් කිරීමෙන් රුසියාව සහ චීනය දෙකඩ කිරීම ඇමෙරිකාවේ උපාය මාර්ගය නම්, වොෂින්ටනය මේ හවුල්කාරිත්වයේ ගැඹුර සහ සංකීර්ණත්වය අවතක්සේරු කර තිබෙනවා," යනුවෙන් යුරෝපීය ප්‍රතිපත්ති විශ්ලේෂණ මධ්‍යස්ථානය සඳහා යොමු කළ ලිපියක රුසියානු-චීන සබඳතා පිළිබඳ නම සඳහන් නොකළ විශේෂඥයෙකු ලියා ඇත.

බටහිර සමාගම් හැරයාමත් සමග චීනය දැන් රුසියාවේ බලශක්ති සම්පත්වල ප්‍රධාන ගැනුම්කරු වී ඇති අතර මෝටර් රථ සහ අනෙකුත් භාණ්ඩ සඳහා රුසියාවේ ප්‍රධාන සැපයුම්කරු වී තිබේ. නමුත් යුක්රේනයට එරෙහි ආක්‍රමණය රුසියාව සහ චීනය අතර පවතින සංකල්පමය බැඳීම් ද ශක්තිමත් කර ඇත.

"රටවල් දෙක ම බටහිර ලිබරල්වාදයට විරුද්ධ වන අතර ඇමෙරිකානු 'ආධිපත්‍යයට' අභියෝග කරනවා. දෙරට ම න්‍යෂ්ටික බලවතුන් වන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයෝ යි. ඔවුන්ට සමාන උපාය මාර්ගික ඉලක්ක තියෙනවා," ඇන්ඩ්රියු පැහැදිලි කරයි.

''ආර්ථිකමය වශයෙන් ඔවුන් එකිනෙකාට උදව් කරනවා. චීනය කාර්මික සහ තාක්ෂණික බලවතෙක්'' ඔහු සඳහන් කරයි.

නමුත් ඔවුන්ගේ නායකයින් අතර උණුසුම් පෞද්ගලික සබඳතා ඉතා වැදගත් බව ඔහු විශ්වාස කරයි.

පුටින් සහ ෂී අතර සමානකම් පවතී. දෙදෙනා ම 72 හැවිරිදි වියේ පසුවෙයි, දෙදෙනා ම සෝවියට් යුගයේ කොමියුනිස්ට්වාදය තුළ හැදී වැඩුණු අතර වසර ගණනාවක සිට බලයේ සිටියි. ඔවුන් දෙදෙනා ම ශක්තිමත්, ඒකාධිකාරී ආණ්ඩු නිර්මාණය කර ඇති අතර විරුද්ධවාදීකම්වලට ඉඩ නොදෙයි.

2022 දී ආරම්භ කළ යුක්රේන ආක්‍රමණයට පෙර, පුටින් සහ ෂී ''දේශසීමා රහිත මිත්‍රත්වය සහ සීමාවලින් තොර සහයෝගීතාව'' පිළිබඳ ප්‍රකාශයකට අත්සන් කළහ.

ෂී පුටින් හඳුන්වන්නේ, 'ආදරණීය මිතුරෙකු' ලෙස ය. ඔහු වෙනත් ඕනෑ ම ලෝක නායකයෙකුට වඩා ඔහුව 40 වතාවකට වඩා මුණගැසී ඇත.

නමුත් මෙම සංචාරයේ විශේෂත්වයක් තිබේ.

පුටින් පාලනය කර තබා ගැනීමෙන් සහ ඔහු නැවත බටහිර දෙසට යොමු වීම වැළැක්වීමෙන් චීනය ද ප්‍රතිලාභ ලබයි. කෙසේ වෙතත්, රුසියාව බලවත් වනවාට චීනය කැමති නැත, යනුවෙන් වොෂින්ටනයේ බෲකින්ස් ආයතනයේ චීන විදේශ ප්‍රතිපත්ති සහ එක්සත් ජනපද-චීන සබඳතා පිළිබඳ විශේෂඥවරියක වන පැට්‍රීෂියා කිම් පවසයි.

''චීනයේ පරමාදර්ශය වන්නේ රුසියාව බටහිරට අභියෝග කිරීමට තරම් ශක්තිමත් විය යුතු නමුත් චීනයට පාලනය කළ නොහැකි තරම් ශක්තිමත් නොවීම යි,'' කිම් පවසයි.

"රුසියාව යනු චීනයට අත්‍යවශ්‍ය සහකරුවෙකි. දේශීයව සහ මධ්‍යම ආසියානු කලාපය ස්ථාවරව තබා ගැනීමට රුසියාව ෂීට උපකාර කරනවා," ඇන්ඩ්රියු පැහැදිලි කරයි. "සංවර්ධනය වෙමින් පවතින රටවලින් සහය ලබා ගැනීමටත් බටහිර ක්‍රමයට පමණක් නොව ලෝකය පවත්වාගෙන යාමේ වෙනස් මාර්ගයකට තල්ලු කිරීමටත් රුසියාව චීනයට සහය වෙනවා."

RIC (Russia, India, and China) කණ්ඩායමේ තුන් වන සාමාජිකයා වන ඉන්දියාවට, චීනය සහ එක්සත් ජනපදය සමග ගැටලුකාරී සබඳතාවක් ඇත. මෙය කණ්ඩායම නැවත එකට වැඩ කිරීමේ ඕනෑ ම අවස්ථාවක් උඩුයටිකුරු කළ හැකි ය.

මෝදිගේ ප්‍රවේශය

ෂී සහ මෝදි ටියැන්ජින්හි පැවති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සමගාමීව හමුවිය. මෙය වැදගත් වන්නේ වසර හතකට පසු මෝදිගේ පළමු චීන සංචාරය එය වන බැවිනි. 2020 ගැල්වාන් නිම්නයේ ඇති වූ දේශසීමා ගැටුම්වලින් පසු දෙරට අතර යහපත් සබඳතා නොතිබිණි.

කෙසේ වෙතත්, ඉන්දියාව මුහුණ දී සිටින ආර්ථික ගැටලු හේතුවෙන් තත්ත්වය වෙනස් වී තිබේ. ඉන්දියාව රුසියාවෙන් තෙල් මිල දී ගන්නා බැවින් ට්‍රම්ප් ඉන්දියානු නිෂ්පාදන සඳහා ඉහළ තීරු බදු පනවා තිබේ. එය හිටපු සතුරන්ට එක්ව කටයුතු කිරීම සඳහා පෙළඹවීමක් කරන බවක් පෙනෙන්නට ඇත.

චීනය සහ ඉන්දියාව විරුද්ධවාදීන් නොව හවුල්කරුවන් විය යුතු බව ෂී මෝදිට පැවසුවේ ය. ඔවුන් අතර දැන් "සාමය සහ ස්ථාවරත්වය" ඇති බව මෝදි පැවසීය.

රටවල් දෙක ම ලොව වැඩි ම ජනගහනයක් සිටින රටවල් පමණක් නොව ලෝකයේ විශාලතම ආර්ථික හිමි රටවල් ද වේ.

මීට වසර පහකට පෙර දේශසීමා ගැටලුවක් හේතුවෙන් නතර වූ ඉන්දියාව සහ චීනය අතර ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව මෝදි ප්‍රකාශ කළ නමුත් ඒ කවදා දැයි ඔහු ප්‍රකාශ කර නැත.

රටවල් දෙක ම තම සබඳතා පුළුල් සහ දිගු දුර දැක්මකින් කළමනාකරණය කළ යුතු බවත්, මිතුරන් බවට පත්වීම දෙරටට ම පවතින නිවැරදි මාවත බවත් ෂී ප්‍රකාශ කළේ ය.

සන්ධානයේ අනාගතය සඳහා මෙයින් ඇඟවෙන්නේ කුමක් ද?

විශ්ලේෂකයින් පවසන්නේ, රුසියාව, ඉන්දියාව සහ චීනය යළි එක්ව කටයුතු කළහොත්, ඔවුන්ගේ ඒකාබද්ධ ආර්ථික බලයට BRICS කණ්ඩායම (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව අතර 2006 දී පිහිටවූ ) මෙන් එක්සත් ජනපදයෙන් එල්ල වන ඉහළ ගෝලීය බලපෑමට අභියෝග කළ හැකි බව ය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම් නොතකා ඉන්දියාව සිය ක්‍රියාකලාපය ප්‍රවේශමෙන් සමතුලිතව පවත්වා ගෙන යා යුතු ය. එය චීනය සමඟ ඇති විශ්වාසය පිළිබඳ ගැටලු ද විසඳා ගත යුතු ය.

විශේෂඥයින් පවසන්නේ, ඉන්දියාවට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බව ය. චීනය සමග ඇති වූ දේශසීමා අර්බුද සහ ගැටුම් ඉන්දියාවට අමතක නැත. ඔවුන්ගේ දිගුකාලීන සතුරෙකු වූ පකිස්ථානය සමග චීනයට පවතින සමීප සබඳතා ගැන ද ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටියි.

එමෙන් ම, ඉන්දියාව සහ එක්සත් ජනපදය සමීප කරවූ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවලංගු කිරීමට හෝ අත්හැරීමට සිදුවනු ඇත. එමෙන් ම එක්සත් ජනපදයට එරෙහි කණ්ඩායමකට පූර්ණ සහයෝගය ලබා දීම ඉන්දියාවට බරපතළ ප්‍රතිවිපාක ගෙන එනු ඇත.

මේ සතියේ සිදුවන දේ නොසලකා හැරීම අපහසු ය.

බීජිංහි පැවැත්වෙන හමුදා පෙළපාළියට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින රාජ්‍ය නායකයින් 26 දෙනා අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමග පුටින් සහ කිම් ද සිටිනු ඇත.

නර්තන අංගවලින් අලංකාරවත් කරන ලද මෙම උත්කර්ෂවත් අවස්ථාවේදී සහභාගී වන දස දහස් ගණනක් හමුදා භටයින් ඓතිහාසික ටියනන්මෙන් චතුරශ්‍රය හරහා ගමන් කිරීමට නියමිත ය. එම සොල්දාදුවන්ට චීන හමුදාවේ කොටස් 45 ක කණ්ඩායම් මෙන් ම යුද ප්‍රවීණයෝ ද ඇතුළත් වෙති.

"ඉතිහාසයේ පළමු වතාවට චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව යන රටවල නායකයින් සැප්තැම්බර් 3 දා බීජිංහිදී හමුදා පෙළපාළියකදී එකට එක් වනු ඇති."

''මෙය ඒකාධිපති රටවල් සඳහා වූ පළමු රැස්වීම ද? යනුවෙන් ආසියානු සමාජ ප්‍රතිපත්ති ආයතනයේ චීන විශේෂඥයෙකු වන නීල් තෝමස් විමසයි.

මෙහි සාමාජිකයන්ට විවිධ අරමුණු ඇති නිසාත්, ඔවුන් එකිනෙකා විශ්වාස නොකරන නිසාත් මෙම හවුල්කාරිත්වය දිගුකාලීනව නොපවතිනු ඇතැයි ඔහු පවසයි.

අතිරේක වාර්තාකරණය: BBC Global Journalism සහ BBC News