ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බග්ලිහාර් සහ සලාල් වේලි: ඉන්දියාවට අයත් මේ වේලි ගැන පකිස්ථානය බියෙන් පසුවන්නේ ඇයි?
- Author, බීබීසී හින්දි
පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පකිස්ථානය සමග පැවති ඉන්දු ජල ගිවිසුම අත්හිටුවා ඇති අතර, ඒ හේතුවෙන් ඉන්දියාව, පකිස්ථානයට ගලා එන ජලය අවහිර කරනු ඇති බවට පකිස්ථානය බිය පළ කරයි.
ජම්මුහි රම්බන් ප්‍රදේශයේ චෙනාබ් ගඟ හරහා ඉදිකර ඇති බග්ලිහාර් වේල්ලේ සියලු ම දොරටු වසා දමා ඇති ආකාරය දැක්වෙන වාර්තා සහ වීඩියෝ දැන් සංසරණය වෙමින් පවතී.
රොයිටර් පුවත් සේවයට අනුව, ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමෙන් පසු පළමු වතාවට ඉන්දියාව මෙම ගිවිසුම යටතේ වේල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
උතුරු කාශ්මීරයේ ජීලම් ගඟ හරහා ඉදිකර ඇති කිෂන්ගංගා වේල්ලේ දොරටු ද ඒ ආකාරයෙන් ම වසා දැමීමට ඉන්දියාව සැලසුම් කරමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් PTI ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.
මේ කාරණය සම්බන්ධයෙන් සමීප මූලාශ්‍රයක් PTI වෙත පැවසුවේ, බග්ලිහාර් සහ කිෂන්ගංගා ජල විදුලි වේලි වන අතර එමගින් ජලය මුදා හැරීමේ වේලාව තීරණය කිරීමට ඉන්දියාවට බලය ලබා දෙන බව ය.
පකිස්ථානයට ඇතුළු වන ජලය නැවැත්වීමට හෝ දිශාව වෙනස් කිරීමට ඉන්දියාව උත්සහ කළහොත් එය යුද්ධයක් ලෙස සලකනු ඇතැයි පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් මෑතකදී පවසා තිබේ.
"යුද්ධය කාලතුවක්කු හෝ තුවක්කුවලින් වෙඩි තැබීම්වලට පමණක් සීමා වෙන්නෙ නෑ, ඊට බොහෝ ආකාර තිබෙනවා. මේකත් එවැනි ආකාරයේ යුද්ධයක්. මේ නිසා, රටේ ජනතාව කුසගින්නෙන් හෝ පිපාසයෙන් මිය යා හැකියි," යනුවෙන් ඔහු පැවසීය.
බග්ලිහාර් වේල්ල යනු කුමක් ද?
1960 දී ලෝක බැංකුවේ මැදිහත්වීම යටතේ ඉන්දියාව සහ පකිස්ථානය අතර ඉන්දු ජල ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම ගිවිසුම යටතේ, ඉන්දු ගඟ සහ එහි අතු ගංගාවල ජලය භාවිත කිරීම සම්බන්ධයෙන් දෙරට අතර ගිවිසුමකට එළඹිණි.
බග්ලිහාර් වේල්ල දිගු කලක් තිස්සේ අසල්වැසි රටවල් දෙක අතර මතභේදයට තුඩු දී තිබේ.පකිස්ථානය මීට පෙර මෙම කාරණය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ මැදිහත්වීම ඉල්ලා සිටි අතර, යම් කාලයක් ලෝක බැංකුව ද මෙම කාරණය සම්බන්ධයෙන් මැදිහත් විය.
මීට අමතරව, කිෂන්ගංගා වේල්ල සම්බන්ධයෙන් ද පකිස්ථානය විරෝධතා මතු කර ඇති අතර, ඒ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටී. මෙම වේලි දෙක ම ජල විදුලි උත්පාදනය සඳහා සම්බන්ධ ඒවා ය.
බග්ලිහාර් වේල්ලේ ජලාශයේ ජලය ඝන මීටර් මිලියන 475ක් රඳවා ගැනීමේ ධාරිතාවක් ඇත. එසේ ම එහි විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 900කි. වේල්ලෙන් විදුලිය නිපදවීමේ සැලැස්ම 'බග්ලිහාර් ජල විදුලි බල ව්‍යාපෘතිය' ලෙස නම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය 1992 වසරේ සිට සලකා බලමින් පැවති අතර, අවසානයේ එහි වැඩ කටයුතු 1999 දී ආරම්භ විය. මෙයින් පසු, එහි වැඩ කටයුතු අදියර කිහිපයකින් අඛණ්ඩව සිදුවූ අතර 2008 වර්ෂයේදී නිම කරන ලදී.
වාන් දොරටු වසා ඇත්තේ ඇයි?
බග්ලිහාර් වේල්ලේ දොරටු වැසීම පිළිබඳව සවිස්තර වාර්තාවක් හින්දුස්ථාන් ටයිම්ස් ඉංග්‍රීසි පුවත්පත ප්‍රකාශයට පත් කර තිබේ.
ජලාශයේ රොන් මඩ ඉවත් කිරීම සඳහා වාන් දොරටු වසා දැමූ බවත්, එම නිසා පකිස්ථානය දෙසට ජලය ගලා යාම 90%කින් අඩු වී ඇති බවත්, ජාතික ජල විදුලි බල සංස්ථාවේ නිලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත.
කිෂන්ගංගා වේල්ල සඳහා ද එවැනි ම සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම නිලධාරියා පුවත්පතට පැවසීය.
තවත් නිලධාරියෙකු නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත එම පුවත්පතට පැවසුවේ, "බග්ලිහාර් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ දොරටු වසා දමා තිබෙනවා. අපි ජලාශයේ රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා. දැන් එය ජලයෙන් පුරවන්න සිදුවෙලා තියෙනවා. මෙම ක්‍රියාවලිය සෙනසුරාදා ආරම්භ වුණා."
ද ට්‍රිබියුන් පුවත්පතේ වාර්තාවකට අනුව, ජලාශය හෑරීම සහ පිරවීමේ මෙම ක්‍රියාවලිය පළමු වරට සිදු කරන්නක් නොවුණ ද, එය සාමාන්‍යයෙන් උතුරු ඉන්දියාවේ සිදු කරන්නේ අගෝස්තු මාසයේදී ය.
උතුරු ඉන්දියාවේ වේලි ආශ්‍රිත ජලාශවල උපරිම ජල මට්ටම මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පිරී පවතින්නේ, මෝසම් වැසි සමය ද මෙම කාලය තුළ වන බැවිනි. දැන් බග්ලිහාර් ජලාශයේ ජලය පිරවීමේ ක්‍රියාවලිය අගෝස්තු මාසයට වඩා බොහෝ කාලයක් ගත වනු ඇත.
පකිස්ථානය බිය වී ඇත්තේ ඇයි?
චෙනාබ් යනු ඉන්දු ජල ගිවිසුමේ බටහිර ගංගා අතරින් එකකි.
මෙම ගිවිසුම මගින් කෘෂිකර්මාන්තය, ගෘහස්ථ සහ විදුලි බල නිෂ්පාදනය සඳහා ජලය භාවිත කිරීමට ඉඩ සලසයි. කෙසේ වෙතත්, 1992 සිට පකිස්ථානය බග්ලිහාර් වේල්ලට විරෝධය පළ කරමින් සිටී.
මෙම වේල්ල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා ලෝක බැංකුවේ මැදිහත්වීම යටතේ දෙරට අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.
පකිස්ථානය පවසන්නේ, ඉන්දියාවෙන් ජලය ගලා එන්නේ නම්, ජල හිඟයක් ඇති විට එය නැවැත්විය හැකි බවත්, අතිරික්ත ජලය ඇති විට ඉන්දියාවට ඕනෑ ම වේලාවක එම ජලය මුදා හැරිය හැකි බවත් ය.
ඉන්දියාවේ තර්කය වී ඇත්තේ, පකිස්ථානයේ එවැනි බියක් දුරු කිරීමට කිසිදු විසඳුමක් ලබා දිය නොහැකි බව ය.
දෙරට අතර බොහෝ වාද විවාද සහ සාකච්ඡාවලින් පසුව, 1999 වසරේදී මෙම වේල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි අතර අවසානයේ එහි ඉදිකිරීම් ආරම්භ විය. නමුත් ඉන්පසුව පවා පකිස්ථානය බොහෝ විරෝධතා මතු කළේ ය. මෙම ව්‍යාපෘති මගින් පකිස්ථානය දෙසට පැමිණෙන ජල ප්‍රවාහය අඩු කරනු ඇතැයි පකිස්ථානය නිරන්තරයෙන් සැලකිලිමත් වී ඇත.
ඉන්දු ජල ගිවිසුම යටතේ, ඉන්දු ද්‍රෝණියේ නැගෙනහිර ගංගා තුන වන රවි, බියාස් සහ සට්ලෙජ්හි ජලය ඉන්දියාවට වෙන් කරන ලදී. බටහිර ගංගා තුන වන ඉන්දුස්, ජීලම් සහ චෙනාබ්හි ජලයෙන් සියයට 80ක් පකිස්ථානයට වෙන් කරන ලදී.
ඉන්දු ජල ගිවිසුමට අනුව, ඉන්දියාවට නැගෙනහිර ගංගාවල ජලය ඇතැම් විශේෂ කරුණු කිහිපයක් හැර කිසිදු සීමාවකින් තොරව භාවිත කළ හැකි ය. ඒ සමග ම, විදුලිය ජනනය කිරීම, කෘෂිකර්මාන්තය වැනි කාර්යයන් කිහිපයක් සඳහා බටහිර ගංගාවල ජලය භාවිත කිරීමට ඉන්දියාවට ද සීමිත අයිතිවාසිකම් ලබා දෙන ලදී.
ඉන්දියාවේ සැලැස්ම කුමක් ද?
බග්ලිහාර් හැරුණු විට, චෙනාබ් ගඟේ තවත් බොහෝ ජල විදුලි ව්‍යාපෘතිවල කටයුතු සිදුවෙමින් පවතී. චෙනාබ් සහ එහි අතු ගංගාවල එවැනි ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඒවා 2027-28 වසර වන විට ක්‍රියාත්මක වීමට නියමිත ය.
මෙම ව්‍යාපෘති වන්නේ ජාතික ජල විදුලි බල සංස්ථාව සහ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්ත විදුලි බල සංවර්ධන සංස්ථාව එක්ව සංවර්ධනය කරනු ලබන පකල් දුල් (1000 MW), කිරු (624 MW), ක්වාර් (540 MW) සහ රැට්ල් (850 MW) ය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2018 දී පකල් දුල් ව්‍යාපෘතියටත්, 2019 දී කිරු ව්‍යාපෘතියටත්, 2022 දී ක්වාර් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියටත් මුල්ගල් තැබී ය.
හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාවකට අනුව, පකල් දුල්හි ඉදිකිරීම්වලින් 66%ක්, කිරුහි 55%ක්, ක්වාර්හි සියයට 19%ක් සහ රැට්ල්හි සියයට 21%ක් අවසන් කර ඇත.
මෙම ව්‍යාපෘතිවලට ද පකිස්ථානය විරුද්ධ වී තිබේ. විශේෂයෙන් රැට්ල් සහ කිෂන්ගංගා ව්‍යාපෘති කෙරෙහි එහි විරෝධය එල්ල වී තිබේ. මෙම වේලිවල සැලසුම් ඉන්දු ජල ගිවිසුම උල්ලංඝණය කරන බවට පකිස්ථානය චෝදනා කරයි.
බග්ලිහාර් හැරුණු විට, පකල් දුල්, කිරු, ක්වාර් සහ රැට්ල් යන බලාගාරවල විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 3,014කි. මෙම ව්‍යාපෘතිවලින් සෑම වසරක ම විදුලි ඒකක මිලියන 10,541ක් ජනනය වන බවට ගණන් බලා ඇත.
ජම්මු සහ කාශ්මීරයට පමණක් මෙගාවොට් 18,000ක විදුලිය ජනනය කිරීමේ ධාරිතාවක් ඇති බවට ගණන් බලා ඇති අතර, එයින් මෙගාවොට් 11,823ක් චෙනාබ් ද්‍රෝණියෙන් උත්පාදනය කෙරේ.
බග්ලිහාර් සිද්ධියෙන් පසු ඉන්දු-පකිස්ථාන උණුසුම මධ්‍යයේ සාකච්ඡාවට භාජනය වන සලාල් වේල්ල
ඉන්දියාව සහ පකිස්ථානය අතර ගොඩ නැගී ඇති උණුසුම් තත්ත්වය මධ්‍යයේ ජම්මු කාශ්මීරයේ චෙනාබ් ගඟ හරහා ඉදිකර ඇති සලාල් වේල්ල සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත්ව ඇත. චෙනාබ් ගඟේ ජලය මෙම වේල්ලෙන් ඔබ්බට පකිස්ථානය දෙසට ගලා යයි.
PTI ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, සලාල් වේල්ලේ එක් දොරටුවක් පමණක් විවෘත කර ඇති අතර පකිස්ථානය දෙසට ජලය ගලා යාම නතර කර ඇත.
භාරතීය ජනතා පක්ෂයේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානී අමිත් මල්වියා සලාල් වේල්ලේ දොරටු වැසීමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කර ඇති අතර, "ඉන්දියාවේ යහපත වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට දේශපාලන කැමැත්තක් තිබිය යුතු අතර අගමැති නරේන්ද්‍ර මෝදි මෙය ඔහුගේ තීරණවලින් පෙන්වා දී ඇත" යනුවෙන් සටහනක් තබා තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයෙන් තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත.
සලාල් වේල්ල ව්‍යාපෘතිය යනු කුමක් ද?
චෙනාබ් ගඟේ වාන් දොරටු වසා දැමීමෙන් පසු ජල මට්ටම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ANI ප්‍රවෘත්ති ඒජන්සිය වීඩියෝවක් මගින් පෙන්වා දී තිබේ.
සලාල් වේල්ල ව්‍යාපෘතිය ජල විදුලි ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙන් ජනනය වන විදුලිය ජම්මු සහ කාශ්මීරයට මෙන් ම උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, හර්යානා, දිල්ලි, හිමාචල් ප්‍රදේශ්, චන්දිගාර් සහ රාජස්ථාන් කරා බෙදා හැරේ.
ජම්මුහි රියාසි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සලාල් වේල්ල, දිස්ත්‍රික් මූලස්ථානයේ සිට කිලෝමීටර් 23ක් පමණ දුරින් පිහිටා ඇත.
සලාල් වේල්ලෙන් මෙගාවොට් 690ක් පමණ විදුලිය නිපදවනු ලැබේ. මෙය ඉන්දියානු රජය යටතේ ඇති NHPC (ජාතික ජල විදුලි බල සංස්ථා) ව්‍යාපෘතියක් වන අතර එම සංස්ථාව ජල විදුලිය නිපදවීම අතින් රටේ ප්‍රමුඛ ආයතනයකි.
චෙනාබ් ගඟේ ඉදිකර ඇති සලාල් වේල්ල පාෂාණ පිරවුම් වේල්ලකි.
මෙම ව්‍යාපෘතිය ජම්මුහි රම්බන් ප්‍රදේශයේ පිහිටි චෙනාබ් ගඟේ බග්ලිහාර් වේල්ලට පහළින් පිහිටා ඇත.
පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පකිස්ථානය සමග පැවති ඉන්දු ජල ගිවිසුම අත්හිටුවා ඇති අතර, ඉන් පසුව ඉන්දියාවට පැමිණෙන ජලය හරවා යැවිය හැකි බවට පකිස්ථානය බිය පළ කරයි.