ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුරුණෑගල දරුවෙකුගේ උදරයෙන් සෙන්ටි මීටර් 70ක් දිග පටිපණුවෙක් සොයා ගැනේ
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පරීක්ෂණයකදී කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 10ක දරුවෙකුගේ උදරයේ සිටි සෙන්ටිමීටර් 70ක් දිග පටි පණුවෙකු සොයාගෙන තිබේ.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල පැවසුවේ, මෙතෙක් හමුවූ දිගින් වැඩි ම පටිපණුවා මෙය බව ය.
මීට පෙර ලෝකයෙන් සොයා ගෙන තිබුණේ, සෙන්ටි මීටර් 40ක් පමණ දිග පටිපණුවෙකු බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
මෙම පටි පණුවන් වඳුරු පටිපණුවන් ලෙස ද හඳුන්වනු ලබයි.
වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් මෙම පටිපණුවන් ව්‍යාප්ත වන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
අදාළ දරුවාගෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම පටිපණුවා සොයා ගත් බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම පටිපණුවන් විශේෂය බර්ටියෙල්ලා (Bertiella ) නැමති විශේෂයට අයත් යැයි හඳුනාගෙන තිබේ.
මෙම පටිපණුවන්ගේ තවත් ප්‍රභේද ඇති අතර, දැනට සොයා ගෙන ඇති පටි පණුවා ශ්‍රී ලංකාවට අවේණික දැයි පරීක්ෂා කිරීම සඳහා ජාන පරීක්ෂණයක් කරන බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂී විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල පැවසුවේ, ප්‍රතිකාර මගින් මෙවැනි පණුවන් සිරුරෙන් ඉවත් කළ හැකි බව ය.
මොවුන් මිනිස් සිරුරට ඇතුළු විය හැකි ආකාරය ද විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
"රිලව් වඳුරෝ ඉන්න තැන්වල පස් එක්ක තමා මේක යන්නේ. පොඩි ළමයි සෙල්ලම් කරනවා පස් එක්ක. පස් එක්ක සෙල්ලම් කළා ම නියපොතු අස්සට පස් යනවා නේ. ඊට පස්සේ අත් හෝදන්නේ නැතිව කෑම කෑවොත් පණු බිත්තර ඇඟ ඇතුළට යනවා. බිම වැටුණු පළතුරු ආහාරයට ගැනීමෙන්, පස් ගැවිච්ච පළා කෑමෙන් ඒක වෙන්න පුළුවන්."
මීට නිශ්චිත රෝග ලක්ෂණයක් නොමැති බව ද විශේෂඥවරයා පැවසීය.
"බඩේ අමාරුවක්, මළපහ වතුර වගේ යනවා. ඇගට පණ නැති ගතියක් එන්න පුළුවන්."
මෙවැනි පණුවන් අවුරුදු 5ක් - 10ක් විතර කාලයක් මිනිස් සිරුර තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
මෙය සම්පූර්ණයෙන් සුව කළ හැකි රෝගයක් බවත් ප්‍රතිකාර ගැනීමත් සමග මළපහ සමග පණුවා හැලී යන බවත් විශේෂඥ වෛද්‍යවරවයා පෙන්වා දුන්නේ ය.
පණුවෙකු ශරීරය තුළ සිටින්නේ ද යන්න සැක කිරීම සඳහා සැලකිය හැකි ලක්ෂණ කිහිපයක් ද වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
"පණුවගේ කෑලි ගැලෙවනවා. සුදුපාට පොඩි කෑලි වගේ යනවා," ඔහු පැවසීය.
මෙවැනි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් ළමා රෝග සායනයකට ගොස් මලපහ සාම්පල පරීක්ෂාවක් කර ගන්නා ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙයි.
මෙම පණු විශේෂය මිනිස් ශරීරය තුළ සිටියදී බෝවීමක් සිද්ධ නොවන බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
"පණුවගේ කෑලි කැඩි කැඩි වැටෙනවා. මළපහ එක්ක යනවා. මේක සුව කර ගන්න පුළුවන්. බෙහෙත් ගත්ත ම හැලිලා යනවා. කෑලි වැටෙනවා."
මෙවැනි පරපෝෂිත ආසාදන වළක්වා ගැනීම සඳහා බිම වැටුණු පළතුරු සෝදා ආහාරයට ගැනීම සහ පළා වර්ග සෝදා ආහාරයට ගැනීම මෙන් ම කුඩා දරුවන් පස් සමග සෙල්ලම් කිරීමෙන් පසු, දෑත් සේදීම ද කළ යුතු බව බව විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල ප්‍රකාශ කළේ ය.