ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC කාර්ය මණ්ඩලයේ සෑම 10 දෙනෙකුගෙන් ම එක් අයෙකු ඉවත් කිරීමට සැරසෙයි
- Author, පෝල් ග්ලින් සහ ඉයන් යංග්ස්
- Role, සංස්කෘති වාර්තාකරුවන්
- කියවීමේ කාලය: මිනිත්තු 4
"සැලකිය යුතු මූල්‍ය පීඩනයන්ට" මුහුණ දීමේ උත්සහයක් ලෙස බීබීසීය රැකියා 1,800ත් 2,000ත් අතර ගණනක් - නැතහොත් රැකියා 10න් එකක් පමණ - කපා හරින බව නිවේදනය කර තිබේ.
ඉදිරි වසර දෙක තුළ බීබීසී ආයතනයට ස්ටර්ලිං පවුම් මිලියන 500ක ඉතිරියක් කිරීමට අවශ්‍ය වන අතර, එහි නාලිකා හෝ සේවා පූර්ණ වශයෙන් වසා දමන බව අන්තර්වාර අධ්‍යක්ෂ ජනරාල් රොඩ්‍රි ටැල්ෆන් ඩේවිස් ප්‍රතික්ෂේප නොකළේ ය.
"අපි හැම දෙයක් ගැන ම බලන්න ඕනේ, සහ පවුම් මිලියන 500ක් කියන්නේ අනිවාර්යයෙන් ම විශාල වගේ ම සමහර අමාරු තීරණ ගන්න වේවි, එත් අපි මෙය සැලකිලිමත්ව පියවරෙන් පියවර කළ යුතු දෙයක්," යැයි ඔහු BBC Radio 4හි Media Show වැඩසටහනේදී පැවසීය.
මෙම තීරණය එහි සේවාවලට කෙසේ බලපානු ඇත් ද යන්න පිළිබඳ වැඩි විස්තර මෙම වසර වසර අගදී ලබා දෙන බව ඔහු පැවසීය.
"ග්‍රාහකයින් සඳහා, අපි ඉදිරි මස තුන හතර ඇතුළේ කරන්න ඕනේ දේ තමයි අපි දන්න රේඩියෝ, රූපවාහිනී සහ ඔන්ලයින් හරහා විසිරී තිබෙන බීසීසීයට වැදගත් සේවාවන්ට හානි නොකර ඒ වෙනස්කම් සිදු කරන ආකාරය ගැන බලන එක," ඔහු පැවසීය.
මෙම රැකියා කප්පාදු කාර්ය මණ්ඩලයට "ඉතා දුෂ්කර පුවතක්" වනු ඇති බව ද ඔහු පිළිගත්තේ ය.
Bectu වෘත්තීය සමිතියේ ප්‍රධානී ෆිලිප්පා චයිල්ඩ්ස් "මෙම ප්‍රමාණයේ කප්පාදු" කාර්ය මණ්ඩලයටත් බීබීසී ආයතනයටත් "දැවැන්ත හානියක්" ඇති කරනු බවට අනතුරු ඇඟවීය.
බීබීසීයේ මේ වන විට සමස්තයක් වශයෙන් පූර්ණ කාලීන සේවකයින් 21,500ක් පමණ සේවය කරති.
බදාදා කාර්ය මණ්ඩලය වෙත යැවූ ඊමේල් පණිවිඩයකදී ටැල්ෆන් ඩේවිස් පැවසුවේ: "ඔබ දන්නවා, බීබීසීය සැලකිය යුතු මූල්‍ය පීඩනකට මුහුණ දෙමින් සිටින බව, අප ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු යි.
"සරලව කිවහොත්, අපගේ වියදම් සහ ආදායම් අතර පරතරය වැඩි වෙමින් පවතිනවා. මෙයට කරුණු කිහිපයක් හේතු වෙනවා: නිෂ්පාදන සඳහා වැය වන වියදම ඉහළ මට්ටමක පැවතීම, අපගේ බලපත්‍ර ගාස්තුව හා වාණිජ ආදායම පීඩනයට ලක්ව තිබීම; ගෝලීය ආර්ථිකය අස්ථාවර වීම."
බඳවා ගැනීම්, ගමන්, කළමනාකරණ උපදේශන සේවා, සහ සම්මන්ත්‍රණ, සම්මාන හා වැඩසටහන්වලට සහභාගි වීම සම්බන්ධ වියදම් මත ද දැඩි සීමා පනවා වන බව ඔහු පැවසීය.
'දුෂ්කර තීරණ'
2027 අවසානයේ රාජකීය ප්‍රඥප්තිය අලුත් කිරීමට පෙර, බීබීසීය තම අනාගතය සහ බලපත්‍ර ගාස්තුව පිළිබඳව රජය සමග සංවාද මේ වන විට සිදුවෙමින් පවතී.
සංස්කෘති අමාත්‍ය ලීසා නැන්ඩි පැවසුවේ, "සියලු ආයතන මෙන් ම" බීබීසීයට ද "දුෂ්කර තීරණ" ගැනීමට සිදුවන බව ය.
"ඒක බීබීසී නායකත්වය ඉතා බැරෑරුම් ලෙස සලකන දෙයක් කියලා මම දන්නවා, වාණිජ විකල්ප සහ බීබීසීයේ මූල්‍ය තත්ත්වය පවත්වා ගැනීමට උපකාරී වන ආදායම් වැඩි කරන අනෙක් මාර්ග දීස බලනවා වගේ ම," සේවක කප්පාදුව පිළිබඳ නිවේදනයට මද වේලාවකට පෙර ඇය Radio 4හි World at One වැඩසටහනේදී පැවසුවා ය.
මෙම කප්පාදුව පිළිබඳ පුවත ලැබෙන්නේ, මෑතකදී ආයතනයෙන් ඉවත් වූ ටිම් ඩේවිගේ අනුප්‍රාප්තිකයා ලෙස බීබීසීයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මැයි 18 වන දින නිල වශයෙන් රාජකාරි භාර ගන්නා, ගූගල් සමාගමේ හිටපු විධායක නිලධාරී මැට් බ්‍රිටින්ගේ පැමිණීමට පෙර ය.
'කප්පාදු දහසකින් සිදුවන මරණය'
"මීට පෙර ද සිදුවූ සේවක කාප්පාදුවලින් පසුව දැනටමත් සැලකිය යුතු පීඩනයකට ලක්ව ඇති" බීබීසී කාර්ය මණ්ඩලය, තවදුරටත් කප්පාදු කිරීම "එහි මහජන මෙහෙවර ඉටු කිරීමේ හැකියාවට අනිවාර්යයෙන් ම හානි කරනු ඇත," යනුවෙන් චයිල්ඩ්ස් පැවසීය.
ඇය මෙසේ ද පැවසුවා ය: "ව්‍යාජ ප්‍රවෘත්ති සහ බහුජාතික සමාගම් කිහිපයක් අතට බලය පත්වෙමින් පවතින කර්මාන්තයක, එක්සත් රාජධානියට කවරදාටත් වඩා විශ්වාසදායක, අභිලාෂකාමී සහ තිරසර අරමුදල් සහිත බීබීසීයක් අවශ්‍යය යි."
"ප්‍රඥප්තිය අලුත් කිරීම මගින් බීබීසීහි අරමුදල් වඩාත් ආරක්ෂිත, දිගුකාලීන මාවතකට යොමු කරන බවටත්, අපගේ ජාතික විකාශකයා දහසක් කප්පාදුවලින් මරණයට පත්වීම වැළැක්වීමටත් රජය සහතික විය යුතු යි."
ජාතික වාර්තාකරුවන්ගේ සංගමයේ (National Union of Journalists) මහ ලේකම් ලෝරා ඩේවිසෝ පැවසුවේ, "මෙම දරුණු සේවක කප්පාදු" පිළිබඳ සැලසුම් වැරදි සහ හානිදායක බවත් බීබීසී සේවකයින්ට කම්කරුවන්ට අවිනිශ්චිතතාවක් සහ පීඩාවක් ඇති කරන" බවත් ය.
ඇය මෙසේ ද පැවසීය: "මේ කප්පාදු හරහා තොරතුරු ලබා දෙන, අධ්‍යාපනය ලබා දෙන සහ විනෝදාස්වාදය ලබා දෙන ගුණාත්මක ප්‍රවෘත්ති කලාව සහ වැඩසටහන් ලබා දීම වැනි බීබීසීයේ අරමුණු ඉටු කිරීමේ හැකියාව දැඩි ලෙස දුර්වල කරනවා.
"තවත් කප්පාදු කිරීම් සඳහා මෙම සැලසුම් පැමිණෙන්නේ සංස්ථාවේ මූලික කොටස් කෙරෙහි බලපා ඇති, වසර ගණනාවක සැබෑ කාලීන අයවැය අඩු කිරීම් සහ අඛණ්ඩ පිරිවැය ඉතිරි කිරීමේ පියවරයන්ගෙන් පසුව යි. මෙය දිගට ම කරගෙන යා නොහැකි යි. දක්ෂ හා පළපුරුදු සේවකයින් නොමැතිව බීබීසීයට ගුණාත්මක පුවත් සේවාවක් සපයන්න බැහැ."