පවුල සමග සතුටින් සංක්‍රමණය විය හැකි රටවල් පහක්

Kid walking

ඡායාරූප මූලාශ්‍රය, Westend61/Getty Images

විදේශයකට සංක්‍රමණයවීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට ලෝකයේ ජීවත්වීමට සුදුසුම රටවල් පිළිබඳ ශ්‍රේණිගතකිරීම ප්‍රයෝජනවත් විය හැකි ය. නමුත් දරුවන් ද රැගෙන යන විට, සාමාන්‍ය ආදායමක් ලැබීම හෝ ආර්ථික ස්ථාවරභාවයට වඩා බර තැබිය යුතු කරුණු රැසක් තිබේ. ඔබ යාමට බලාපොරොත්තු වන රට තුළ දරුවන්ගේ සෞඛ්‍යය හෝ ප්‍රීතිමත්භාවය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, පවුලේ නිවාඩු ප්‍රතිපත්ති - එසේම කොළපැහැ බිම් සහ සෙල්ලම් පිටි තිබෙන්නේ මොන රටවල්වලදැ යි යන්න පවා ඔබට දැනගැනීමට අවශ්‍ය වී තිබෙනවා විය හැකිය.

UNICEF ආයතනය දරුවන්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන් ඔවුන්ගේ "ප්‍රගති වාර්තා" තුළ අවධානය යොමු කරන්නේ මෙවැනි කරුණුවලට යි. ඔවුන්ගේ ශ්‍රේණිගතකිරීම් සඳහා ලොව ධනවත් ම රටවල් පමණක් සලකා ඇති බව මතක තබාගත යුතු අතර, විදෙස්ගත ව සිටින පවුල්වලට එහි සියළු ම දත්ත පිළිබඳ ව සමාන උනන්දුවක් නොතිබිය හැකි ය. කෙසේ වෙතත්, ඇත්ත වශයෙන් ම ලොව පුරා රටවල දී දරුවෙකු හදාවඩා ගැනීම කුමන ආකාරදැ යි විචක්ෂණශීලී පින්තූරයක් ඇඳගැනීමට ඔවුන්ගේ සොයාගැනීම් උදවු වේ.

සෑම සංක්‍රමණික පවුලක ම ප්‍රධාන ම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට අපි එම අධ්‍යයනයෙන් ඇතැම් කොටස් උපුටාගත්තෙමු: දරුවෙකු උස්මහත් කිරීමට හොඳම තැන හෝ, එසේත් නැතිනම් දරුවෙකු (ලෙස ජීවත්) වීමට හොඳම තැන කොහේද?

Japanese kid

ඡායාරූප මූලාශ්‍රය, Monzenmachi/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානය යනු පවුල්වලට ජීවත්වීමට ආරක්ෂිත ම රටක් වන අතර, එරට දරුවෝ තනිව ම පාසල් වෙත පයින් යති

ජපානය

UNICEFහි 2020 දරුවන්ගේ යහපැවැත්ම පිළිබඳ විශ්ලේෂණයට අනුව ළදරු මරණ සහ (දරුවන්ගේ) ස්ථුලතාව සම්බන්ධයෙන් බලන විට, දරුවන්ගේ බාහිර සෞඛ්‍යසම්පන්න බව අතින් ජපානය ශ්‍රේණිගතකිරීම්වල අංක එකේ පසුවිය. එමෙන් ම මෑතක දී (ඉදිරිපත් කළ) දරුවා හැදී වැඩෙන පරිසරය පිළිබඳ විශේෂයෙන් ම සොයා බලන UNICEF 2022 ප්‍රගති වාර්තාවේ, මහාමාර්ගයේ ආරක්ෂාව සහ නාගරික හරිත අවකාශයන් වැනි අංශ ඇතුළත් "දරුවා වටා ඇති ලෝකය" අංශයේ ශ්‍රේණිගතකිරීම්වලින් (ජපානය) දෙවන ස්ථානයේ පසුවිය. ජපානයේ ළමා ස්ථුලතාව අඩු මට්ටමක පවතින අතර, අඩු ළදරු මරණ ප්‍රමාණයක් හා දරුවන්ට බලපාන වායු හා ජල දූෂණය ඉතා අවම මට්ටමක පවතියි.

මාර්ග අනතුරු (අවම වීම) යන කරුණ මත පමණක් නොව එය පවුල් සඳහා ආරක්ෂිත ම රටකි. UNICEF විසින් නිරීක්ෂණය කර ඇති අන් සියලු රටවල්වලට වඩා ජපානයේ සමස්ත අපරාධ අනුපාතිකය අඩු ය: එය 100 000ට 0.2කි. එය එක්සත් ජනපදයේ (5.3), කැනඩාවේ (1.8) සහ ඕස්ට්‍රේලියාවේ (0.8) අපරාධ අනුපාතිකයෙන් කුඩා කොටසකි.

ටෝකියෝ නගරය මධ්‍යයේ පවා දරුවන් ඇවිද යන අතර ඔවුන් විසින් ම පාසල්වලට යයි. එරට ඉතා ආරක්ෂිත නිසා එය සම්පූර්ණයෙන් ම සාමාන්‍ය දෙයකි.

ආරක්ෂාව පිළිබඳ සාධකයෙන්, පවුල්වලට විවේකීව සිටිය හැකි බව හඟවන්නේ නැත. ටෝකියෝවේ ඉපිද වර්තමානයේ ලන්ඩනයේ ජීවත් වන මැමී මැක්කැග්ට අනුව දරුවන්ට විනෝදවීම සඳහා ඇති නිදහසට එය විශාල බලපෑමක් ඇති කරයි. "වයස අවුරුදු හයේ හෝ ඊට වැඩි දරුවන් තනියෙන් ම ඉස්කෝලෙට යනවා. පාසල තිබෙන්නේ පයින් යන දුරින් නොවෙයි නම් එයාලා කෝච්චියේ හෝ බස් එකේ පාසල් යනවා," ඇය පැවසුවා ය. "ටෝකියෝව මැදින් ළමයි තනියෙන් ම පයින් ඉස්කෝලෙට යනවා. ඒක (පාසල් ගමන) හරිම ආරක්ෂිත නිසා හරිම සාමාන්‍යයි. අපට කිසි කරදරයක් නැති නිසා කවුරුවත් දරුවන් ගැන කනස්සල්ලෙන් ඉන්නෙ නෑ."

සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධ ඉහළ ම අගයන්ගෙන් එපිටට ගිය විට, ජපානයට ලොව ඉහළ ම මට්ටමේ අධ්‍යාපන පද්ධතියක් ඇති අතර, UNICEF විසින් (අධ්‍යාපනය පිළිබඳව) දත්‍තවලට ලබාගත් OECD තක්සේරුවට අනුව කලාප සහ රටවල් 76ක් අතරින් එය 12 වන ස්ථානයේ පසුවෙයි. එමෙන් ම, එක දෙමවුපියෙකුට මාස 12ක් පමණ ලැබෙන වැටුප් සහිත දෙමාපිය නිවාඩු ද එරට විසින් නිර්ලෝභී ව අයිතියක් ලෙස ලබා දී ඇති අතර, එය ලබා ගැනීමට පියවරුන් දිරිමත් කිරීමට ද ජපානය විශේෂයෙන් කටයුතු කරමින් සිටියි.

නමුත් සිත්ගන්නාසුළු ලෙස, ජපානය සතුව පවුල්වලට ලබාදීමට බොහෝ දේවල් තිබියදීත්, රටවාසීන් ඔවුන් ගැනම කරන විවේචන ගැන අසා පුදුම නොවන්නැ යි මැක්කැග් පවසයි. "අපි නිතරම අනිත් රටවල්වල හැම හොඳ දෙයක් ගැනම අහලා ඒවා ජපානයත් සමග සංසන්දනය කරන නිසා ඔබට බොහෝ අශුභවාදී කතා ඇසෙන්නට පුළුවන්," ඇය පැහැදිලි කළා ය. "ඔබ නිහතමානීයැ යි පෙනෙන්නට ඕනෑ නිසා,ඔබට අදාළ කුමන හෝ දෙයක් පිළිබඳව "යටහත් ව" කතා කිරීමත් සංස්කෘතිකමය දෙයක්. නමුත් ජපානය දරුවන් හදාවඩා ගන්න ඉතාම හොඳ තැනක් බව මම කියන්න ඕනෑ."

Estonia kids

ඡායාරූප මූලාශ්‍රය, Visualspace/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එස්තෝනියාව පවුල්වලට ලබා දී ඇති විශාල ම ආකර්ෂණයන්ගෙන් එකක් වන්නේ එහි අධ්‍යාපන පද්ධතිය යි

එස්තෝනියාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

UNICEFහි සමස්ත ශ්‍රේණිගතකිරීම්වල එස්තෝනියාව ඉහළින් නැතිවුවත්, වැදගත් අංශ ගණනාවක් ම ඉහළ වටිනාකමක් සහිත ඒවා යි. අනෙකුත් ධනවත් රටවල්වලට සාපේක්ෂ ව, එරට දරුවන් නිරාවරණය වන්නේ අඩු වායු දූෂණයකට, අඩු ශබ්ද දූෂණයකට සහ අඩු පළිබෝධනාශක ප්‍රමාණයකට යි. එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල්වලට වඩා එහි නාගරික හරිත අවකාශයන් ඇති අතර, දරුවන් විශේෂයෙන් ම පවසන්නේ සෙල්ලම් පිටි වැනි ඔවුන්ගේ නිවෙස් ආසන්නයේ ඉදිකර ඇති විනෝදාස්වාද පහසුකම් සතුටින් භුක්ති විඳින බව යි. පූර්ව ප්‍රසව රැකවරණය පිළිබඳ යහපත් දර්ශකයක් වන අඩුබර දරු උපත් අවමවීම අතින් අනෙකුත් සියලුම ධනවත් රටවල් අතරින් දෙවැනි අඩුම අගයක් තිබෙන්නේ එස්තෝනියාවට යි.

කෙසේ වෙතත්, එස්තෝනියාවේ විශාලත ම ජයග්‍රහණය එහි ඇති අධ්‍යාපන ක්‍රමය විය හැකි ය: ආසියාවෙන් පිටත පිහිටි ඕනෑම රටකට වඩා ගණිත, විද්‍යා හැකියාවන් හා සාක්ෂරතාවය (එස්තෝනියාවේ) දරුවන්ට තිබේ. ඩිජිටල් හැකියාවන් ද ඉතා හොඳින් ඔවුන්ට තිබේ. "සෙල්ලම් කිරීම මගින් ඉගෙනගැනීමේ කොටසක් විදිහට දැනටමත් බාලාංශ පන්තිවල රොබෝලා, ස්මාර්ට් ටැබ් තිබෙනවා," එමරටේ මුල්කාලීන අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ව පර්යේෂණ කරන, එස්තෝනියාවේ අධ්‍යාපන සහ තරුණ මණ්ඩලයේ ව්‍යාපෘති කළමනාකරුවෙකු වන ඈන්-මේ මීසාක් පැවසුවා ය.

නමුත් (අධ්‍යාපන) ක්‍රමයේ ප්‍රතිලාභ, කියවීමෙන් සහ රොබෝ තාක්ෂණයෙන් ඔබ්බට යයි. ආසන්නත ම OECD වාර්තාවකින් සොයාගෙන තිබෙන්නේ, එක්සත් ජනපදයේ හා එංගලන්තයේ සිටින දරුවන්ට වඩා එස්තෝනියාවේ අවුරුදු පහක් පමණ වයස දරුවන්, අනෙකුත් දරුවන් සමග සහයෝගීව වැඩ කිරීම ඇතුළු සමාජ-භාවාත්මක හා හැඟීම් හඳුනාගැනීම අතින් හොඳ තත්ත්වයක සිටිනබව යි. ඔවුහු මානසික නම්‍යශිලීතාව, වැඩකිරීමේ මතකය සහ ආවේගය වළක්වාගැනීම වැනි ආත්ම විශ්වාසය පිළිබඳ හැකියා පිළිබඳ OECD (ඉල්ලා සිටින) සාමාන්‍යට වඩා ඉහළ මට්ටමක සිටිති.

එහි පවුල් (වෙනුවෙන් ලබාදෙන) නිවාඩු තිබේ: දින සියයක මාතෲ නිවාඩු සහ දින තිහක පීතෲ නිවාඩු, දරුවාට අවුරුදු තුනක් වනතෙක් වරින් වර හෝ කොටස් වශයෙන් ලබාගත හැකි වැටුප් සහිත දින 475ක දෙමාපිය නිවාඩු සමග ලෝකයේ හොඳ ම ප්‍රතිපත්තිවලින් එකක් එස්තෝනියාවට ඇත. එයින්, දින හැටක් දක්වා දෙමවුපියන් දෙදෙනාට ම එකවර නිවසේ සිටිය හැකි වැටුප් සහිත නිවාඩු හිමිවේ. දෙමවුපියන්ගෙන් එක් එක් අයට එක් එක් දරුවාට වයස අවුරුදු 14ක් වන තෙක් වැටුප් සහිත වැඩ දින 14ක නිවාඩුවක් ද ලැබේ (මෙම නිවාඩුව විදෙශිකයන් ද ඇතුළුව එස්තෝනියාවේ ස්ථීර පදිංචිය හිමි හා තාවකාලික ව පදිංචි වී සිටින සියළු දෙනාට ම ලැබේ).

Spain kids

ඡායාරූප මූලාශ්‍රය, Sol de Zuasnabar Brebbia/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්පාඤ්ඤය දරුවා වටා ඇති පරිසරය හා දරුවන්ගේ මානසික යහපැවැත්ම අතින් ඉහළ ශ්‍රේණිගතකිරීම්වල සිටියි

ස්පාඤ්ඤය

වායු හෝ ජල දූෂණය නිසා ඇතිවන ළමා රෝගී තත්ත්වයන් අවමවීමත් සමග ස්පාඤ්ඤය දරුවා වටා ඇති පරිසරය පිළිබඳ UNICEF ශ්‍රේණිගතකිරීම්වල ඉහළින් පසුවේ. සමාජීය, සෞඛ්‍ය හා අධ්‍යාපන කොන්දේසි සමස්තයක් වශයෙන් අවම මට්ටමකින් ලබා දී තිබියදීත්, UNICEF ආයතනයට අනුව ස්පාඤ්ඤයේ දරුවන්ගේ සැලකියයුතු යහපැවැත්මක් තිබේ: දරුවන්ගේ මානසික යහපැවැත්ම අතින් තුන්වන ස්ථානය සහ මූලික අධ්‍යාපන හා සමාජීය හැකියාවන් අතින් හතරවන තැනට එරට පැමිණ තිබේ. විශේෂයෙන් ම, තමන්ට පහසුවෙන් මිතුරන් ඇතිකරගත හැකි බව පවසන දරුවන් ප්‍රමාණය නෙදර්ලන්තයට සමාන වන (81%) අතර, ධනවත් ම රටවල් අතරින් නවයොවුන් වියේ දරුවන්ගේ සියදිවිනසාගැනීමේ අගය අඩුම අගයක් වෙයි. එය එක්සත් ජනපදයේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ අගයෙන් තුනෙන් එකකි.

අවන්හල්, බීමශාලාවලට දරුවන් රැගෙන යාමට ඇත්ත වශයෙන්ම සමාජය එකඟ ය. මධ්‍යම රාත්‍රියේ කුඩා දරුවන් සමග ඇවිද යන පවුල්වල දර්ශනය ඉතා සාමාන්‍ය දෙයකි.

වසර 15කට පෙර මැඩ්‍රිඩ් සිට චිකාගෝ වෙත ගිය ලෝරි සයිනෝ එයින් පුදුමයට පත් නොවේ. දැන් සිඟිත්තෙකුගේ මව වන ඇය පවසන්නේ ස්පාඤ්ඤ ජීවිතයේ ඇති එක් ප්‍රබෝධමත් දෙයක් වන්නේ (එහි) සංස්කෘතිය දරුවන් ව කොපමණ ප්‍රමාණයකට වැළඳගන්නවා ද යන්නයි. "අනිත් අයට කරදරයක් නොවන විදිහට දරුවන් ව නිශ්ශබ්ද ව තබා ගැනීමට හා සන්සුන් ව තබාගැනීමට ඔබට තිබෙන පීඩනය එය ඉතා අවම කරනවා. ස්පාඤ්ඤයේ කවුරුවත් ඒ ගැන වදවෙන්නෙ නෑ. හැමෝම පවුලේ අය එකට ගත කරන වෙලාව සතුටින් හා ශබ්ද නගමින් විඳිනවා."

එහි දෙමවුපිය නිවාඩු තිබේ: මව සහ පියා දෙදෙනාට ම 100%ක වැටුප ගෙවන සති 16ක නිවාඩු ලබා ගත හැකි අතර (නිදහස් සේවකයන්ට ද සුදුසුකම ඇත), මවට වසර තුනක් දක්වා වැටුප් රහිත නිවාඩු හෝ වැඩ කරන පැය ගණන අඩු කරගත හැකි ය. පසුගිය වසර හත තුක දී අවම වශයෙන් දින 180ක් ස්පාඤ්ඤ සමාජ ආරක්ෂණ පද්ධතියට දායකත්වය සපයා ඇති ස්පාඤ්ඤයේ නීත්‍යානුකූල පදිංචිකරුවන් වන ඕනෑම අයෙකුට මෙම අවස්ථා ලබාගත හැකියි. ලැයිස්තුවේ ඇති අනෙක් රටවල්වල මෙන්, එය සර්ව සම්පූර්ණ නොවන අතර ළමා රැකවරණය අඩු අතර ඕනෑ ම ධනවත් රටවල් අතරින් ඉහළ ම අගය වන 33%ක් දෙමවුපියන් තව වැඩි ළමා රැකවරණයක් ඉල්ලා සිටියි. නමුත් එම රටට පවුල්වලට ලබා දීමට බොහෝ තිබෙන බව පැහැදිලි ය.

Finland kid

ඡායාරූප මූලාශ්‍රය, Tiina & Geir/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, භූමි ප්‍රමාණයෙන් 70%කටත් වඩා වනාන්තරයෙන් වැසී ඇති නිසා පින්ලන්තයේ පවුල්වලට පහසුවෙන් ම වනාන්තර වෙත යාමට හැකියි

පින්ලන්තය

UNICEFහි ඉතාම මෑතක දී පැමිණි ප්‍රගති වාර්තාවේ සමස්තයක් වශයෙන් පස්වන ස්ථානයට පැමිණ සිටින පින්ලන්තය, ඛාණ්ඩ තුනකින් පළමුවැන්න වන "දරුවාගේ ලෝකය" (වාතයේ ගුණාත්මකභාවය වැනි දරුවාට සෘජුවම බලපෑමක් ඇති කරන දේ), සහ දෙවැන්න වන "දරුවා වටා ඇති ලෝකය" (පාසල්, මහාමාර්ග අනතුරු සහ හරිත අවකාශ වැනි දරුවා අන්තර්ක්‍රියා සිදු කරන පරිසරයේ මූලිකාංග) යන අංශ දෙක සඳහා විශේෂයෙන් ම ඉහළ ම ලකුණු ලබාගෙන තිබේ.

එය දරුවන්ගේ ගණිත හා සාක්ෂරතා හැකියාවන් අතින් ලෝකයේ හොඳ ම කාර්යය සාධනයක් ඇති රටක් වන අතර, දෙමවුපියන් විශේෂයෙන් ම ඔවුන්ගේ දරුවන්ගේ පාසලේ කාර්යය මණ්ඩලය හා ඔවුන් අතර ඇති සම්බන්ධතාව පිළිබඳව ව ඉහළින් සිතයි. අවුරුදු 5-14 අතර ළමුන්ගේ මරණ අනුපාතිකය අතින් ලෝකයේ අඩුම අනුපාතිකයක් ඇති එක් රටක් වන (පින්ලන්තයේ) එම අගය එක්සත් ජනපදයේ අගයෙන් බාගයකත් වඩා අඩු ය. වැටුප් සහිත සති අටක මාතෘ නිවාඩු, දෙමවුපියන් දෙදෙනා අතර බෙදා ගතහැකි තවත් වැටුප් සහිත මාස 14ක නිවාඩු සහ දරුවාගේ වයස අවුරුදු 3 වන තෙක් අයදුම් කළ හැකි ළමා රැකවරණය පිළිබඳව අමතර නිවාඩු ද ඇතුළත් දෙමාපිය නිවාඩු පින්ලන්තය විසින් පිරිනමයි (දරුවාගේ උපතට අවම වශයෙන් දින 180කට පෙර සිට පින්ලන්තයේ, නෝර්ඩික් රටවල, යුරෝපා සංගමයේ හෝ යුරෝපා ආර්ථික කලාපයේ රටක සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා ඇති පින්ලන්තයේ නීත්‍යානුකූල පදිංචිකරුවෝ මේ සඳහා සුදුසුකම් ලබති).

සිය පවුල සමග පෝලන්තයේ, චෙක් ජනරජයේ හා පින්ලන්තයේ වාසය කර ඇති බ්‍රිතාන්‍ය ජාතික හැඩ්ලි ඩීන් පස්දරු පියෙකි. ඔහුගේ පවුල මේ වන විට දෙවන වරටත් පින්ලන්තයේ ජීවත්වීමට උත්සාහ කරන අතර ඔහු පවසන්නෙ ඔවුන් එයට ඉතා කැමති බවයි. අගනගරය වන හෙල්සින්කිවල පවා තිබෙන හරිත අවකාශ ප්‍රමාණය එක් ප්‍රතිලාභයකි (ඕනෑ ම ධනවත් රටකට වඩා එක් පුද්ගලයෙකුට තිබියයුතු හරිත අවකාශයන් වැඩි ප්‍රමාණයක් තිබේ.) එනමුත් ඔහුගේ පවුල භුක්ති විඳින එක ම දෙය උද්‍යාන තිබීම පමණක් නොවේ. "හෙල්සින්කි හෝ පින්ලන්තයේ තිබෙන වෙනස මොකක් ද කිව්වොත් ඒ උද්‍යාන ඇත්තෙන් ම ඉතාම ස්වභාවික සහ අමුවෙන් ම තිබෙන ඒවා. ඒක හරියට නගරය මැද්දට වනාන්තරයක් ඇවිලා වගේ," ඩීන් පැවසුවේ ය. "සොබාදහම තුළ සිටීම හා කාංසාවෙන් හෝ මානසික පීඩනයෙන් පෙළෙන්නේ නැතිව සිටීම අතර තිබෙන හොඳින් දන්නා සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා එය හරි ම ධනාත්මකයි."

අඳුරු සහ සීතල ෆින්ලන්තයේ සීතකාලය ගැන කිව හැකි කුමක්ද? එහි ගෙවීමට වටිනා මිලක් තිබේ යැයි ඩීන් පවසයි. "ඔබ නිකන් ම එයට පුරුදු වෙන්න. ඔබට සීතකාලයට අනුව උල් තිබෙන සපත්තු පැළඳගෙන එළියට යන්න වෙනවා වගේම එයින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. පැය 22ක හිරු එළියක් තිබෙන නිසා ගිම්හානය හරිම අපූරු යි".

Netherlands kids

ඡායාරූප මූලාශ්‍රය, Buena Vista Images/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නෙදර්ලන්තය අනිවාර්ය කරන ලද සති 16ක සම්පූර්ණ වැටුප් සහිත මාතෘ නිවාඩු සහ සති හයක් දක්වා වැටුප් සහිත දෙමාපිය නිවාඩු පිරිනමයි

නෙදර්ලන්තය

විශේෂයෙන් ම දරුවන්ගේ මානසික සෞඛ්‍යය (එයින් අංක එක) හා කුසලතා (ශ්‍රේණිගතකිරීමේ තුන්වන ස්ථානය) යන කොන්දේසි ඉතා හොඳින් සපුරන නෙදර්ලන්තය UNICEFහි දරුවන්ගේ යහපැවැත්ම පිළිබඳව සමස්ත ශ්‍රේණිගතකිරීමේ ඉහළට ම පැමිණ තිබේ. UNICEF විසින් පරීක්ෂා කළ සියලු රටවල් අතරින් ඉහළ ම අනුපාතිකය වන, වයස අවුරුදු 15ක දරුවන් දසදෙනෙකුගෙන් නවදෙනෙකුම ඔවුන්ට ජිවිතය ගැන ඉහළ තෘප්තියක් ඇති බව පවසන අතර පහසුවෙන් මිතුරන් ඇතිකරගත හැකි බව දසදෙනෙකුගෙන් අටදෙනෙකු ම පවසයි.

එහි ඇමෙරිකානුවන් හැමදෙනෙකුට ම විශේෂිතවීමට ඉගැන්වීමට උත්සහ කරන ආකාරය වටා මෙම සාකච්ඡාව තිබේ. "සාමාන්‍ය විදිහට ඉන්නවා කියන එක දැනටමත් අවුල් වෙලා තියෙන්නේ"

දහතුන් වසරක් නෙදර්ලන්තයේ ජීවත් වූ හා 'Niksen: Embracing the Dutch Art of Doing Nothing' ග්‍රන්ථය රචනා කළ පෝලන්ත ජාතික තිදරු මවක් වන ඔල්ගා මෙකින්ග්, මෙහි ඇතැම් ඒවා සංස්කෘතිකමය බව පැහැදිලි කරයි: "ඇමෙරිකානුවෝ හැමකෙනෙක්ට ම විශේෂ වෙන්න උගන්වන එක වටා මේ සාකච්ඡාව ගොඩ නැගිලා තිබෙනවා. මෙහෙම කතාවක් තියෙනවා: සාමාන්‍ය විදිහට ඉන්නවා කියන එක දැනටමත් අවුල් වෙලා තියෙන්නේ," ඇය සිතන ආකාරයට අඩු මානසික පීඩනයක් සහිත මානසිකත්වයක් ළමා කාලයට ඇති කරන නමුත් මීට පෙර ඇය ලියා ඇති ආකාරයට එය වෙනස්වීමට හැකියි. ඇය පවසන්නේ කණ්ඩායම්, සංගම් සහ සමාජීය ක්‍රියාකාරකම් සමග සමාජානුයෝජනය වීම ගැන එහි විශාල අවධානයක් යොමුකර ඇති බවයි.

නමුත් ඇය පවසන්නේ ලන්දේසි පවුල් හා දරුවන් සතුටින් නම් එය ද ව්‍යුහාත්මක හේතු නිසා ලැබිය යුතු දෙයක් බවයි. "ලන්දේසි සුබසාධන ක්‍රමයෙන් පරිබාහිර ව ඔබට ලන්දේසි දෙමවුපියන් වෙන්න බෑ," ඇය සටහන් කළා ය. "ඇත්ත වශයෙන් ම නෙදර්ලන්තය දෙමවුපියන්ට සෑහෙන්න උදවු කරනවා." එහි පවුලේ නිවාඩු එක් උදාහරණයකි. අනිවාර්‍යකරන ලද සම්පූර්ණ ගෙවීම් සහිත අවම සති 16ක මාතෘ නිවාඩු, සති හයක් දක්වා වැටුප් සහිත දෙමාපිය නිවාඩු, දරුවාට වයස අවුරුදු අටක් වනතෙක් ලබා ගතහැකි වැටුප් රහිත දෙමාපිය නිවාඩු එයට ඇතුළත් අතර නෙදර්ලන්තයේ නීත්‍යානුකූල ව ජීවත්වන සහ රැකියාවේ නිරත අයට එය ලබා ගත හැකියි.