මහනුවර, නුවරඑළිය ඇතුළු ප්‍රධාන නගර වෙත ගොඩබිම් මාර්ග සබඳතා යථා තත්ත්වයට

රථ වාහන ධාවනය කරන අයුරු
    • Author, බීබීසී සිංහල

මහනුවර, නුවරඑළිය ඇතුළු ප්‍රධාන නගර වෙත එක් මාර්ගයකින් හෝ ගොඩබිම් සම්බන්ධතාව නැවත ලබා දී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි කියා සිටියේ, කුරුණෑගල - ගලගෙදර මාර්ගය සහ පෑලියගොඩ - පුත්තලම මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග ද රථවාහන ධාවනයට විවෘත කර ඇති බව ය.

"පෑලියගොඩ - පුත්තලම මාර්ගයට හානි සිද්ධ වුණා, දැන් හානි ඉවත් කරලා ප්‍රධාන මාර්ගය වාහන ධාවනයට යොදවා තිබෙනවා," ඔහු සඳහන් කළේ ය.

පළාත් 8ක මාර්ග 106ක අවහිරතා

'දිට්වා' සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාවත් සමග කඳු කඩා වැටීම්, ගස් පෙරළීම්, නායයාම්, පාලම් හානි, ජලයෙන් යටවීම් නිසා පසුගිය දිනවල මාර්ග ගණනාවක රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබිණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පාලම් 15කට හානි සිදුව ඇති බව ය.

නායයාමට ලක්වූ ස්ථානවල පස් ක්‍රමානුකූලව ඉවත් කරමින් මාර්ගවල අවහිරතා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු කියා සිටියේ ය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි සඳහන් කළේ, පළාත් 8ක තවත් මාර්ග 106ක බාධා ඉවත් කිරීමට නියමිතව ඇති බව ය.

ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ සෑම නගරයකට ම එක් මාර්ගයකින් හෝ ළඟා වීමට තිබූ අවහිරතා ඉවත් කර ඇති බව ය.

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් හානිවූ පාලමක ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පාලම් 15කට හානි සිදුව ඇති බව ය.

මහනුවර

මහනුවරට දක්වා ගමන් කිරීම සඳහා කුරුණෑගල - ගලගෙදර - කටුගස්තොට හරහා මහනුවර දක්වා මාර්ගය විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කුරුණෑගල - ගලගෙදර දක්වා මාර්ගයේ නායයාම් ගණනාවක් සිදුව තිබුණ ද, නායයාම් ස්ථානවල පස් ඉවත් කර එක් මංතීරුවකින් හෝ මාර්ග සම්බන්ධතාව ලබා දීමට පියවර ගෙන ඇතැයි එම අධිකාරිය පවසයි.

"සම්පූර්ණයෙන් පස් ඉවත් කරලා නෑ. නාය ගිය කොටස්වලින් කොටසක් ඉවත් කරලා එක් මං තීරුවක් විවෘත කරලා තිබෙනවා," අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

දින කිහිපයක් අවහිර වී තිබූ A1 කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ආශ්‍රිතව පැවති අවහිරතා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

නුවරඑළිය

නුවරඑළිය නගරය දක්වා ගමන් ගැනීමට - අවිස්සාවේල්ල - කිතුල්ගල - ගිනිගත්හේන - හැටන් හරහා නුවරඑළිය දක්වා මාර්ගය දෙසැම්බර් 01 වන දා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව, නායයාම් හේතුවෙන් මාර්ගයට වැටී තිබූ බාධක ඉවත් කරමින් රථවාහන ධාවනයට පහසුකම් සලසා ඇති බවත් නුවරඑළිය දක්වා ප්‍රවාහන පහසුකම් විවෘත බවත් එම අධිකාරිය සඳහන් කළේ ය

පුත්තලම - ත්‍රිකුණාමලය - පාලමක් කඩා වැටීමෙන් අවහිර වී ඇති අතර, ඒ සඳහා බේලි පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මාර්ග අවහිරතා ආරක්ෂිතව ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරගෙන යන අතර, එම කටයුතු නැරඹීමට යාමෙන් වළකින ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"අපි මුලින් ම කරන්නේ මේ මාර්ග සියල්ල ගමනාගමනය සඳහා විවෘත කිරීම, මාර්ග සියල්ල විවෘත කරලා අනතුරුව ස්ථීරව ඉදිකරන්න කටයුතු කරනවා. ඊට සැලකිය යුතු මුදලක් හා කාලයක් අවශ්‍ය වෙනවා," අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග පද්ධතිය

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග පද්ධතිය A සහ B යනුවෙන් කාණ්ඩ දෙකකට අයත් වේ.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගවල දුර ප්‍රමාණය කිලෝ මීටර් 12000kmක් පමණ වෙයි.

එම අධිකාරිය සතු අධිවේගී මාර්ගවල දිග ප්‍රමාණය කිලෝ මීටර් 313ක් වේ.

මාර්ගයට පෙරළුණු ගල් ඉවත් කරන කම්කරුවන්ගේ ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි සඳහන් කළේ, තවත් මාර්ග 106ක බාධා ඉවත් කිරීමට නියමිතව ඇති බව ය.

හානි තක්සේරු කිරීම දෙසැම්බර් 20ට පෙර

"අපේ සැලැස්ම තියෙන්නේ දැනට රථ වාහන ගමනාගමනයට සියලු පාරවල් විවෘත කිරීම, එසේ විවෘත නොකළොත් ආර්ථික වශයෙන් හානි වෙනවා, ජන ජීවිතයට අපහසුකාරී තත්ත්වයක් ඇති වෙනවා, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා." යැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව, තම ප්‍රධාන කාර්ය ලෙස පළමු දින 10 තුළ සියලු මාර්ග විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධික වැසි සහිත කලගුණයෙන් ශ්‍රී ලංකාවේ සියලු මාර්ගවලට බලපෑම් එල්ල වී තිබේ. "එම මාර්ගවලට කොච්චර හානියක් වෙලා තියනෙව ද කියලා, පාලම්වලට කොච්චර හානියක් වෙලා ද කියලා, හානි ප්‍රමාණය ගණනය කිරීම ඊළඟ දින 10 තුළ සිද්ධ කරලා, මේ මාසේ 20 වැනිදාට ජලගැලීම් හේතුවෙන් මාර්ග පද්ධතියට සිදුවූ හානි ඉදිරිපත් කරනවා," අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.