ඇමෙරිකාව මදුරෝ ග්‍රහණයට ගැනීම: රුසියාවේ සහ චීනයේ ප්‍රතිචාරය කෙබඳු විය හැකිද?

    • Author, ෂෝන් යුවාන් - ගෝලීය චීන ඒකකය, ලීසා ෆොක්ට් සහ සර්ජි ගෝර්යාෂ්කෝ - බීබීසී රුසියානු සේවය

නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් නිව්යෝර්ක්හිදී මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනාවලට එරෙහිව සටන් කිරීම ආරම්භ කරන විට, එක්සත් ජනපදය වෙනිසියුලානු නායකයා අල්ලා ගැනීම ජාත්‍යන්තර සම්මතයන් සඳහා කුමන අරුතක් ලබා දෙන්නේ ද සහ එය අනෙකුත් රටවල් ධෛර්යමත් කළ හැකිද යන්න පිළිබඳව විශේෂඥයින් ප්‍රශ්න කරමින් සිටියි.

"ආරක්ෂිත, සුදුසු සහ විචක්ෂණශීලී බලය පැවරීමක්" සහතික කළ හැකි වන තෙක් එක්සත් ජනපදය වෙනිසියුලාව "පාලනය කරන" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඔහු ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම සඳහා වන ප්‍රකාශ ද අලුත් කර ඇති අතර බටහිර අර්ධගෝලයේ එක්සත් ජනපද ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිඥා ලබා දුන් 1823 මොන්රෝ මූලධර්මය ද උපුටා දක්වා ඇත.

වෙනිසියුලාවේ අසල්වැසියන් සහ දිගුකාලීන මිතුරන් වන රුසියාව සහ චීනය එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ග හෙළා දැක ඇති අතර, ඒවා ජාත්‍යන්තර නීතියට හානි කර පූර්වාදර්ශයක් සපයනු ඇතැයි බිය විය. කෙසේ වෙතත්, වොෂින්ටනයේ මිත්‍ර පාර්ශවයන් ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීම් වලදී ප්‍රවේශම් සහගත වී ඇති අතර, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය කිසිදු හෙළා දැකීමකින් වැළකී සිටියි.

ඉතින් චීනය සහ රුසියාව මෙම තත්ත්වය දෙස බලන්නේ කෙසේද සහ එය ඔවුන්ගේ ක්‍රියාකලාපයට බලපෑම් කළ හැකිද?

චීනයට මෙයින් අදහස් කෙරෙන්නේ කුමක්ද?

"සාපරාධී ක්‍රියා කර ඇතැයි චෝදනා කරමින් විදේශීය නායකයන් අල්ලා ගැනීමට හා ආක්‍රමණය කිරීමට සන්නද්ධ බලය භාවිතා කිරීම තමන්ට ඇති අයිතියක් ලෙස එක්සත් ජනපදය ප්‍රකාශ කරන්නේ නම්, එම අයිතිය තායිවානයේ නායකත්වය සම්බන්ධයෙන් චීනය විසින් ද එලෙසින්ම ප්‍රකාශ කිරීම වළක්වාලන්නේ කෙසේ ද?" එක්සත් ජනපද ඩිමොක්‍රටික් සෙනෙට් සභික මාර්ක් වෝනර් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය."මෙම සීමාව ඉක්මවා ගිය පසු, ගෝලීය අවුල් සහගත තත්ත්වය වළක්වන නීති බිඳ වැටීමට පටන් ගන්නා අතර, එය මුලින්ම සූරාකන්නේ අධිකාරීවාදී පාලන තන්ත්‍රයන් විසින් වනු ඇත."

ඉතිං ඔහු නිවැරදි ද? චීනය විසින් තමන්ගේ භූමියක් යැයි දකින සහ අවශ්‍ය නම් බලහත්කාරයෙන් නැවත අත්පත් කර ගැනීමට ප්‍රතිඥා දී ඇති, ප්‍රජාතන්ත්‍රවාදී ස්වයං පාලනයක් ඇති දූපතක් වන තායිවානයට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹීම සලකා බැලීම සඳහා වොෂින්ටනයේ ක්‍රියාමාර්ග මගින් චීනය දිරිමත් කළ හැකිද?

සිංගප්පූරුවේ නැන්යැං තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය හූ ටියැං බූන් පවසන්නේ එලෙස සිදු නොවන බවයි.

''චීනය මෙම කරුණු දෙක අතර කිසිදු සෘජු සම්බන්ධයක් හිතාමතාම නිර්මාණය කිරීමට උත්සාහ කරන එකක් නැහැ… ට්‍රම්ප්ගේ ක්‍රියාවක් නිසා චීනය හදිසි හෝ ආවේගාත්මක ලෙස ක්‍රියා කිරීමට තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි''

වොෂින්ටනයේ බලය යෙදවීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් සහ වෙනිසියුලාවේ ස්වෛරීභාවයට සිදු කළ අපහාසයක් ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හෙළා දැක ඇති බව සඳහන් කළ යුතුය: "කිසිම රටකට ජාත්‍යන්තර පොලිසිය වගේ ක්‍රියා කරන්න පුළුවන් කියා අපි කිසිවිටෙකත් විශ්වාස කර නැහැ."

අනෙකුත් විශේෂඥයින් පෙන්වා දෙන්නේ කලාප දෙක අතර ප්‍රධාන වෙනසක් පවතින බවයි. බීජිං සඳහා තායිවානය පළාතක් වන නමුත් වෙනිසියුලාව ස්වෛරී රාජ්‍යයක් වන බැවින් තායිවානයට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක් අභ්‍යන්තර කටයුත්තක් ලෙස ඔවුන් සලකනු ඇත. එබැවින් විශ්ලේෂකයින් යෝජනා කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස, තායිවානය ආක්‍රමණය කිරීම චීනයට සාධාරණීකරණය කිරීමක් නොව හැකියාවක් වනු ඇති බවයි.

තායිවාන රජයේ ප්‍රධානියා අල්ලා ගැනීම බීජිං හි උපාය මාර්ගයේ කොටසක් නොවන බව තායිවාන පාර්ලිමේන්තුවේ සාමාජිකයින් ද විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ.

"චීනයට අවශ්‍ය වන්නේ තායිවාන රජයේ ප්‍රධානියා බලහත්කාරයෙන් ඉවත් කිරීම හෝ මුළු දිවයිනම බෝම්බ හෙළා විනාශ කර එයින් පසු ඉවත්ව යාම නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ නැවත එක්කර ගැනීම සහ බීජිං විසින් පාලනය කිරීමයි,'' තායිවාන මන්ත්‍රී හූ හැන්-ටිං CTi පුවත් සේවය වෙත පැවසීය. "එබැවින්, එම දෘෂ්ටිකෝණයෙන් පමණක් බලන විට, වෙනිසියුලාව තුළ එක්සත් ජනපදය දැන් කරන දේ නැවත සිදු කිරීම බීජිං තායිවානය නැවත අත්පත් කර ගැනීමට අදහස් කරන ආකාරය නොවෙයි"

කෙසේ වෙතත්, ඇතැම් නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය කැරිබියන් දූපත් වලට සැලකිය යුතු ලෙස නාවික වත්කම් යෙදවීම වොෂින්ටනයේ ගෝලීය අවධානයෙහි තාවකාලික වෙනසක් ලෙස බීජිං අර්ථකතනය කළ හැකි බව සහ එමඟින් අනෙකුත් කලාපවල ප්‍රතිචාර දැක්වීමේ කාලයට වක්‍ර බලපෑමක් ඇති විය හැකි බවයි.

නමුත් බීබීසී ය සමග අදහස් දැක්වූ විශේෂඥයින් ද පවසන්නේ මෙම කරුණ පමණක් බීජිං හි තායිවානය සම්බන්ධ ගණනය කිරිම වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. තායිවානය තවමත් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පුළුල් ගිවිසුම් රැසක් පවත්වාගෙන යන අතර, වොෂින්ටනයෙන් මහා පරිමාණයෙන් ආයුධ මිලදී ගනී.

කෙසේ වෙතත්, චීනයට ප්‍රතිලාභ ලැබිය හැකි වන්නේ එක්සත් ජනපද හැසිරීම පිළිබඳ ගෝලීය අදහස් හැඩගැස්වීම තුළ ය.

එය චීන රාජ්‍යතාන්ත්‍රිකයින්ට සහ මාධ්‍යයට එක්සත් ජනපදය ජාත්‍යන්තර නීති හා සම්මතයන් කඩ කරන අස්ථාවර බලයක් ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ සලසන අතර ඒ සමගම චීනය ස්වෛරීභාවය රකින්නා ලෙස පෙන්වයි. එසේවුවද දකුණු චීන මුහුද වැනි විවාදිත ප්‍රදේශවල චීනය විසින් කෘත්‍රිම දූපත් ඉදිකර ඒවා හමුදාකරණය කරමින්, විවාදිත මුහුදු හිමිකම් බලපැවැත්වීමට වෙරළ ආරක්ෂක හා නාවික යාත්‍රා භාවිතා කර ඇති බව විචාරකයින් පෙන්වා දෙයි.

චීනයට වෙන්සුවෙලා සමඟ ඇති තමන්ගේම සම්බන්ධතාවය පිළිබඳව බලන විට, එය දශක දෙකකට වඩා වැඩි කාලයක් තුළ සංවර්ධනය වී ඇති අතර, ගැඹුරු සමානකම්වලට වඩා අවස්ථා මත වැඩි වශයෙන් පදනම් වී ඇත.

පළමුව හියුගෝ චාවේස් යටතේද, පසුව නිකොලස් මදුරෝ යටතේද, වොෂින්ටන් සමඟ ඇති සම්බන්ධතා දුර්වල වීමත් සමඟ කැරකස් බීජිං සමඟ වඩා සමීප සබඳතා අත්පත් කරගත්තේය. චීනය වෙනිසියුලාවේ විශාලතම ණයහිමියා බවට පත්විය; ණයවලින් බොහෝමයක් තෙල් මගින් ආපසු ගෙවූ අතර, ඒ වෙනුවට බීජිං වෙත බලශක්ති සැපයුම් සහ දේශපාලන සහය හිමිවිය.

කාලයත් සමඟ, වෙනිසුවෙලාව තුළ චීනයේ පැවැත්ම ලතින් ඇමෙරිකාව පුරා ඇති එහි විශාල සම්බන්ධතාවය නිරූපණය කරන සංකේතයක් බවට පත්විය. එහිදී චීනය වෙළඳපොළ, ස්වාභාවික සම්පත් සහ රාජ්‍යතාන්ත්‍රික සහාය සොයමින් සිටි අතරතුර ස්වෛරීත්වයට සහ අතපෙවීම් නොමැති වීම යන්නට ගරු කරන හවුල්කරුවෙකු ලෙස තමන්වම හඳුන්වා දෙමින් කටයුතු කළේය.

කෙසේ වෙතත්, ලතින් ඇමෙරිකාව වෙත චීනයේ ව්‍යාප්තියට වැඩි වැඩියෙන් බාධා එල්ල වෙමින් පවතී. පැනමාව මෑතකදී චීනයේ සංකේතාත්මක Belt and Road යටිතල පහසුකම් ව්‍යාපෘතියෙන් ඉවත් වූ අතර, ට්‍රම්ප්ගේ සහාය ලබන අපේක්ෂකයෙකු වූ නස්රි අස්ෆුරා හොන්ඩුරාස් හි මෑත මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත. ඔහු 2023 දී තායිපේ වෙතින් බීජිං වෙත රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා මාරු කළ හොන්ඩුරාස් රටට, නැවත තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීමේ අවදානමක් ඇති කරයි.

මෙය රුසියාවට බලපාන්නේ කෙසේද?

චීනය මේ තත්ත්වය කෙසේ අර්ථකථනය කරයිද යන්න ගැන ප්‍රශ්න කිරීමත් සමඟ, ඇමෙරිකානු සෙනෙට් සභික මාර්ක් වෝනර්, එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ග මොස්කව් වෙත තමන්ගේම උපායමාර්ගික අරමුණු රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවලට වඩා හමුදා බලය භාවිතා කරමින් ඉදිරියට ගෙන යාමට ඇති ආශාව වැඩි කරන්නේදැයිද ප්‍රශ්න කළේය.

"ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ ජනාධිපතිවරයා පැහැර ගැනීමට සමාන සාධාරණීකරණයක් ප්‍රකාශ කිරීමෙන් ඔහුව වළක්වන්නේ කෙසේද?" ඔහු පැවසීය.

ඇමෙරිකාව වෙනිසියුලාව තුළ සිදුකළ මෙහෙයුම සම්බන්ධයෙන් රුසියාව පිළිතුරු දීම, නව වසරේ දිගු නිවාඩු සමය මධ්‍යයේ මෙතෙක් සීමාසහිතව පවතී. කෙසේවෙතත් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි ලෙස විවේචනය කර ඇති අතර ජනාධිපති මදුරෝ නිදහස් කරන ලෙස ඉල්ලා සිටියද, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තවමත් ප්‍රසිද්ධියේ කිසිදු අදහසක් පළ කර නොමැත.

තවමත් ක්‍රෙම්ලිනය මෙම සිදුවීම් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවට සැකයක් නොමැත.

මෙම තත්ත්වය පුටින්ව අසීරු තත්ත්වයකට ඇද දමා තිබේ. ඔහු තමන්ගේ යුක්රේන ආක්‍රමණය සාධාරණීකරණය කිරීමට ඇමෙරිකාව වෙනිසියුලාවේ සිදු කළ මෙහෙයුම භාවිතා කිරීමට ඉඩ තිබේ — ඔහු බටහිර රටවල් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට නැවත නැවතත් චෝදනා කර ඇති අතර ඒ සඳහා උදාහරණ ලෙස ඉරාක යුද්ධය සහ නේටෝ සංවිධානය විසින් යුගෝස්ලාවියාවට කළ බෝම්බ හෙළීම සඳහන් කරයි.

පුටින් දිගු කාලයක් පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදය පිළිබඳ විශ්වාසයක් තබා නොමැති අතර, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම ගැන වොෂින්ටනයට නැවත නැවතත් විවේචන එල්ල කර ඇත. මෙම උපාය මාර්ගය රුසියාව සහ බටහිර ලෝකය අතර සබඳතා දුර්වල වීමට හේතු වූ කරුණු වලින් එකක් ලෙස ඔහු විස්තර කර ඇත.

සිය නිදන කාමරය තුළදීම මදුරෝ අල්ලා ගැනීම, පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමේ ඇමෙරිකානු උත්සාහයන් පිළිබඳ ක්‍රෙම්ලින්ගේ බිය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉඩ ඇති බව පෙනෙන්නට ඇත.

නමුත් "තමන්ගේම අර්ධගෝලයේ" නායකත්වයට ඇති අයිතිය පිළිබඳ ඇමෙරිකානු දැඩි ප්‍රකාශ ක්‍රෙම්ලිනයේ ලෝක දැක්ම සමඟ ගැලපෙන අතර, රුසියාවට තම දේශසීමා ඔස්සේ තම අවශ්‍යතා ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ගෙන යාමට අයිතියක් ඇති බව පවසයි.

ක්‍රෙම්ලිනය වරක් යුක්රේනය තුළ ඉක්මන් ජයග්‍රහණයක් අපේක්ෂා කළේය. නමුත් එහි පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් වසර හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, රුසියාව නැගෙනහිර යුක්රේනය තුළ සිරවී සිටී. එය වෙනිසියුලාව තුළ ට්‍රම්ප් ක්‍රියාත්මක කළ මෙහෙයුමේ වේගවත්භාවයට හාත්පසින්ම වෙනස් වේ.

පසුගිය වසර පුරාවට වොෂින්ටනය මොස්කව්හි පක්ෂපාතීත්වයට නැඹුරු කර කිව් සඳහා හිමිවන ජාත්‍යන්තර සහයෝගීතාව දුර්වල කිරීමට පුටින් බලාපොරොත්තු විය. මෙය කතා විලාශයේ කැපී පෙනෙන වෙනසක් සමඟ සිදු වී ඇත. පුටින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු නිලධාරීන් සාමාන්‍යයෙන් ජනාධිපති ට්‍රම්ප් සෘජුවම විවේචනය කිරීමෙන් වැළකී සිටියහ.

එමෙන්ම යුක්රේන සාම සාකච්ඡා තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති මොහොතක, එක්සත් ජනපදය සමඟ පවතින සබඳතා තවදුරටත් සංකීර්ණ කර ගැනීමට රුසියාවට අවශ්‍ය නොවන බව පෙනෙන්නට තිබේ.

වෙනිසියුලාව සමඟ ඇති සම්බන්ධතාවය සලකා බලන විට, රුසියාව යනු බලශක්ති සහයෝගීතාව, තෙල් ව්‍යාපෘති සහ අවි සැපයුම් දක්වා විහිදෙන දිගුකාලීන සබඳතා සමඟ වෙනිසියුලාවේ ප්‍රධාන සහයෙකු බවට පත්ව තිබේ.

2005 සහ 2017 අතර කාලසීමාව තුළ මොස්කව් කැරකස් වෙත ඩොලර් බිලියන 11 කට වඩා වටිනාකමින් යුතු ආයුධ අලෙවි කර තිබේ. Su-30 වර්ගයේ ගුවන් යාන‍ා සහ S-300 වර්ගයේ ගුවන් ආරක්ෂක පද්ධති ද ඒ අතරට අයත් ය.

කෙසේ වෙතත්, "රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති ඒ තරම් හොඳට ක්‍රියාත්මක වුණේ නෑ වගේ පෙනුනා නේද? සඳුදා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමච්චලයට මෙන් පැවසුවේය.

රොයිටර් පුවත් සේවයේ ගණනය කිරීම් වලට අනුව, 2006 සිට මොස්කව් ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 17 ක ණය සහ ණය පහසුකම් දීර්ඝ කර තිබේ.

මේවා ආර්ථික ආයෝජනවලට වඩා දේශපාලනික විය. 2014 දී රුසියාව කළු මුහුදේ අර්ධද්වීපය ඈඳා ගත් විට සහ පුටින්ගේ යුක්රේන ආක්‍රමණයට සහාය දැක්වීම සඳහා ක්‍රිමියාව රුසියාවේ කොටසක් ලෙස පිළිගත් ලෝක නායකයින් කිහිපදෙනා අතරින් මදුරෝ ද අයෙකි.

වෙනිසියුලාව යනු රුසියාවේ කොන්දේසි විරහිත මිත්‍ර සන්ධානයේ අවසන් සගයින් අතර සිටි රටකි. එහි ඒකාධිපති නායකයා ඉවත් කිරීම, මොස්කව් යුක්රේනය යුද්ධය සඳහා ස්ථාවර වී සිටින අවස්ථාවක, රුසියාවට මිත්‍රශීලී පාලන තන්ත්‍රයන්ට තවදුරටත් පෙරලා එල්ල වූ පහරකි.

වෙනත් තැන්වල ද සමාන ගතිකතාවයන් ක්‍රියාත්මක වී ඇත. සිරියාවේදී, විපක්ෂ හමුදා 2024 වසරේදී රුසියාවේ සගයා වන බෂාර් අල්-අසාද් බලයෙන් පහ කළහ. මොස්කව්හි තවත් සමීප හවුල්කරුවෙකු වන ඉරානය, පසුගිය ගිම්හානයේදී එහි න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව එක්සත් ජනපද ප්‍රහාරවලට ලක් වූ අතර, රුසියාවෙන් සුළු විරෝධයක් පෙනෙන්නට තිබිණි.

එකට එක් කර ගත් කළ මෙම සිදුවීම් රුසියාව සමඟ පවතින මිත්‍රත්වයේ දේශපාලන හා මිලිටරි වටිනාකම පිළිබඳව අපහසු ප්‍රශ්න මතු කරයි. පසුගිය වසරේ මොස්කව් සහ කැරකස් උපායමාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමක් අත්සන් කළ නමුත්, එක්සත් ජනපදය මදුරෝ වෙත ළඟා වූ විට, මොස්කව් තම මිත්‍රයා ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් නොගත්තේය.

දිගුකාලීන සැලැස්ම පිළිබඳ විස්තර නොමැතිවීම සහ මෙවැනි ආකාරයේ සාර්ථක පාලන තන්ත්‍ර වෙනසක් සඳහා විශ්වාස කළ හැකි පූර්වාදර්ශ නොමැතිකම සැලකිල්ලට ගෙන, වෙනිසියුලාව තුළ එක්සත් ජනපදය දැරූ උත්සාහය පිළිබඳ අවසානයේ හෙළිදරව් වනු ඇතැයි මොස්කව් වෙත බලාපොරොත්තුවක් තිබිය හැකිය.

1979 දී වේගයෙන් මාලිගාවක් අත්පත් කර ගැනීමකින් ආරම්භ වූ නමුත් දශකයක් පුරා වර්ධනය වී බරපතල ප්‍රතිවිපාක අත්කර දී අසාර්ථක වූ සෝවියට්-ඇෆ්ගන් යුද්ධය රුසියාවට සිහිපත් කළ හැකිය.