ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති කොමිෂන් සභාවලට ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන නඩු පැවරිය හැකි ද?
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කමිටු වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කිරීම මේ වන විට ආන්දෝලනයට තුඩුදී තිබේ.
මෙරට ඉතිහාසය පිරික්සීමේදී කිසියම් ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වූ වහා ම ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරුන් විසින් පරීක්ෂණ කොමිෂන් සභා පත් කිරීම සුලභව දක්නට ලැබේ.
මෙරට ස්ථාපනය කෙරුණු පරීක්ෂණ කොමිෂන් සභා තුළින් ඵලදායී කාර්යභාරයක් ඉටු වී තිබේ ද? යන්න ප්‍රශ්නසහගත ය.
ඇතැම් අවස්ථාවල මතු වී තිබෙන ප්‍රශ්නය යට ගසා මහ ජනතාව සන්සුන් කිරීමේ අරමුණින් මෙම පරීක්‍ෂණ කොමිෂන් සභා පත් කරන බවට ද ඇතැම් පිරිස් චෝදනා කරති.
මෙවැනි කොමිෂන් සභා තුළින් අනාවරණය කර ගන්නා තොරතුරුවලින් නීති කෘත්‍යයන් පවත්වාගෙන යාම ගැටලුසහගත බවටත් ඒවා හුදෙක් කාලය හා මහජන මුදල් කා දමන උත්සාහයන් බවටත් තවත් චෝදනා පවතී.
ඒ අනුව, මෙරට ස්ථාපනය කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විසින් නිකුත් කරන ලද නිගමන හා නිර්දේශ අධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ අවස්ථා රැසක් ඇති අතර එම කොමිෂන් සභා හමුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් නඩු පැවරීම් කළ හැකි ද? මේ විමසා බැලීම ඒ පිළිබඳව ය.
පාස්කරලිංගම්ට එරෙහි නිර්දේශ අහෝසි කිරීම
1994 වසරේ බලයට පත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජය විසින් කලින් පැවති එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා ය.
එම කොමිසම විසින් අදාළ වකවානුවේ බරපතළ දූෂණ හා අක්‍රමිකතාවන්හි නිරත වූ බව කියන එක්සත් ජාතික පක්ෂ රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරුන් සහ නිලධාරීන්ට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව විමර්ශනය කරන ලදී.
ඒ යටතේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ආර්. පාස්කරලිංගම්ට එරෙහිව අදාළ කොමිසම විමර්ශනයක් කළේ ය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් බස් රථ මිලදී ගැනීමේ සිද්ධියකදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහිදී පාස්කරලිංගම්ට එරෙහිව විමර්ශන සිදුවිය.
විමර්ශන අවසානයේදී අදාළ ජනාධිපති කොමිසම සිය වාර්තාව තුළින් එම චෝදනාවලට පාස්කරලිංගම් වරදකරු කරන බවත් ඒ අනුව ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කරන බවත් ජනාධිපතිවරිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබිණි.
තමන්ට එරෙහිව අදාළ ජනාධිපති විමර්ශන කොමිසම නිකුත් කළ නිර්දේශ නීතියට පටහැනි බවත් ඒවා අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පාස්කරලිංගම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ ය.
ඒ පිළිබඳ දීර්ඝ විභාගයක් කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, පාස්කරලිංගම්ට එරෙහිව ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිකුත් කරන ලද නිර්දේශ සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව ය.
අදාළ කොමිසම කොමසාරිස්වරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වුව ද පාස්කරලිංගම්ට එරෙහි නිර්දේශය සඳහා අත්සන් කර තිබෙන්නේ කොමසාරිස්වරුන් දෙදෙනෙකු පමණක් යැයි පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව අදාළ නිර්දේශ බලශූණ්‍ය බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව, ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් පාස්කරලිංගම්ට එරෙහිව නිකුත් කරන ලද නිර්දේශ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේදී තීන්දු කළේ ය.
විජයපාල මෙන්ඩිස්ට එරෙහි නිර්දේශය අහෝසි කිරීම
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේ කලින් පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ විජයපාල මෙන්ඩිස්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා විභාග කිරීම සඳහා ද ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරනු ලැබීය.
විජේපාල මෙන්ඩිස් කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස ක්‍රියාවේ යොදවමින් නීති විරෝධී ලෙස ඉඩම් අක්කර 76ක් අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින් එම විමර්ශනය සිදුකෙරිණි.
අදාළ විමර්ශනවලින් අනතුරුව සිය නිර්දේශ ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම මෙම ක්‍රියාව තුළින් විජයපාල මෙන්ඩිස් හිටපු අමාත්‍යවරයා වරදක් කර ඇතැයි තීන්දු කළේ ය.
ඒ අනුව, ඔහු අදාළ චෝදනාවට වරදකරු කරන බවත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස නිර්දේශ කරන බවත් එම කොමිසම ජනාධිපතිවරිය වෙත ඉදිරිපත් කළ වාර්තාවෙන් දැනුම් දී තිබිණි.
තමන්ට එරෙහිව ජනාධිපති පරීක්ෂණ කොමිසම නිකුත් කර තිබෙන නිර්දේශ නීතියට පටහැනි බවත් ඒවා බල ශූණ්‍ය කරන ලෙසත් ඉල්ලා විජයපාල මෙන්ඩිස් ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ ය.
එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විජයපාල මෙන්ඩිස්ට අදාළ විමර්ශනවලදී ජනාධිපති පරීක්ෂණ කොමිසම වැදගත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගෙන නොමැති බව පෙන්වා දුන්නේ ය.
විධිමත් ලෙස සාක්ෂි ඇගයීමකින් තොරව ජනාධිපති පරීක්ෂණ කොමිසම එම නිර්දේශ නිකුත් කර ඇති බවත් එවැනි ක්‍රියාවක නිරත වීමට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට නීත්‍යනුකූල බලයක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේ ය.
ඒ අනුව, විජේපාල මෙන්ඩිස් වරදකරු කිරීමට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසම ගත් තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව ඔහුට අදාළ නිර්දේශ බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේ ය.
සිරිසේන කුරේට එරෙහි නිර්දේශ අහෝසි කිරීම
එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කෙරිණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේ මෙම කොමිසම පත් කෙරුණු අතර ලලිත් ඇතුලත්මුදලි ඝාතනයට කුමන්ත්‍රණය කළ පුද්ගලයින් අනාවරණය කර ගැනීම එහි අරමුණ විය.
ඒ අනුව, අදාළ කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු මෙන් ම ප්‍රබල අමාත්‍යවරයෙකු වූ සිරිසේන කුරේට කොමිසම හමුවේ පෙනී සිටි ලෙස දන්වා සිතාසි නිකුත් කෙරිණි.
එහෙත්, එම වකවානුවේ සිරසේන කුරේ විදේශගතව සිටීම නිසා ඔහු කොමිසම හමුවේ පෙනී නොසිටියේ ය.
අවස්ථා කීපයකදී ඔහු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටීමට උත්සාහ කළ ද කොමිසම ඊට අනුමැතිය දුන්නේ නැත.
ඒ අනුව, කොමිසම විසින් නිකුත් කරන ලද සිතාසියට අවනත වී සාක්ෂි දීම සඳහා එම කොමිසම ඉදිරියේ පෙනී නොසිටීම තුළින් සිරිසේන කුරේ අදාළ කොමිසමට අපහාසයක් කර ඇති බවත් එම චෝදනාවට ඔහු වරදකරු කරන බවත් අවසානයේදී ජනාධිපති පරීක්ෂණ කොමිසම තීන්දු කළේ ය.
ඒ අනුව, සිරිසේන කුරේගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසත් එම කොමිසම විසින් ජනාධිපතිවරිය වෙත භාර දෙන ලද නිර්දේශවල සඳහන් කර තිබිණි.
තමන්ට එරෙහිව අදාළ ජනාධිපති කොමිසම වරෙන්තු නිකුත් කිරීම සහ වරදකරු කිරීමට ගනු ලැබූ තීරණ අභියෝගයට ලක් කරමින් සිරිසේන කුරේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
එම පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිරිසේන කුරේ කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අධිකරණයට අපහාස කළේ යැයි එම කොමිසම විසින් නිකුත් කළ නිර්දේශය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේ ය.
එවැනි කාරණාවක් සම්බන්ධයෙන් වරදකරු කිරීමට අදාළ කොමිසමට අධිකරණ බලයක් නොමැති බවත් ඒ අනුව සිරිසේන කුරේට එරෙහිව එම කොමිසම විසින් නිකුත් කරනු ලැබූ නිර්දේශ සම්පූර්ණයෙන් ම බල ශූණ්‍ය කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ය.
රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහි නිර්දේශ අහෝසි කිරීම
2015 වසරේ බලයට පත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් යහපාලන රජය සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රජයේ නිලධාරීන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2019 වසරේ බලයට පත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලදී.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් එම ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසම වෙත දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන රජයේ නිලධාරීන් රැසක් පැමිණිලි ඉදිරිපත් කළහ.
යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය යටතේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් ස්ථාපනය කර දේශපාලන පළිගැනීම් කළ බවට චෝදනා කරමින් ඔවුන් විසින් පැමිණිලි ඉදිරිපත් කරන ලදී.
එම පැමිණිලි විභාග කළ අදාළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසම යහපාලන රජයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනාධිපති නීතිඥවරුන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජේ.සී. වැලිඅමුණ යන පිරිස් සිය බලය අතනෝමතික ආකාරයෙන් පරිහරණය කරමින් කටයුතු කර ඇතැයි තීන්දු කළේ ය.
ඒ අනුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාළ කොමිසම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ සිය නිර්දේශවල සඳහන් කර තිබිණි.
ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශ සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් ඒවා බලරහිත කිරීමේ තීන්දු ලබා දෙන ලෙසත් ඉල්ලා රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් ගොනු කළහ.
මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන අතරවාරයේ නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ පෙත්සම්කරුවන්ට එරෙහිව අදාළ පරීක්ෂණ කොමිසම නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ය.
එහෙත්, එම දැනුම් දීම කෙරෙහි සෑහීමකට පත් නොවූ පෙත්සම්කරුවෝ තම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉන්පසුව අදාළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට එරෙහිව අදාළ කොමිසම විසින් නිර්දේශ නිකුත් කරනු ලැබූ ආකාරය නීතියට පටහැනි බව සඳහන් කළේ ය.
ඒ අනුව, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසකට එරෙහිව එම කොමිසම නිකුත් කළ නිර්දේශ බලශුණ්‍ය කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් අභියාචනාධිකරණය සඳහන් කළේ ය.
ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ඇතුළු පිරිසකට අදාළ නිර්දේශ අහෝසි කිරීම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිකුත් කර තිබෙන නිර්දේශ බලශූණ්‍ය කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.
එම පෙත්සම් විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පරීක්ෂණ කොමිසම නිකුත් කර ඇති නිර්දේශවලින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළේ ය.
ඒ අනුව අදාළ පරීක්ෂණ කොමිසම විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරන ලද සියලු නිර්දේශ බලරහිත කරන බවත් එක් එක් පෙත්සම්කරුට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කරන ලදී.
කොමිෂන් සභාවලට ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන අධිකරණවල නඩු පැවරිය හැකි ද?
ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන පරීක්‍ෂණ කොමිෂන් සභාවලට ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන අධිකරණවල අපරාධ නඩු ගොනු කළ හැකි දැයි නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හා අපරාධ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.
"පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වන සාක්ෂි සෘජුව ම යොදාගෙන අධිකරණවල නඩු පවරන්න බැහැ. 2008 වසරේ කොමිෂන් සභා පනතට සංශෝධනයක් ඉදිරිපත් කළා. ඒ තුළින් කොමිෂන් සභාවලට ඉදිරිපත් වන යම් සාක්ෂියක් සලකා බලන්න නීතිපතිවරයාට හැකියාව ලැබෙනවා. ඒත් ඒකෙන් අදහස් වන්නේ නැහැ ඒ සාක්ෂි පදනම් කරගෙන අධිකරණවල නඩු දාන්න පුළුවන් කියලා."
"මොක ද පරීක්ෂණ කොමිෂන් සභාවලින් කරන්නේ කරුණු සොයා බැලීම පමණ යි. එහි සැකකාරයෝ නැහැ. නඩු පැවරීමට නම් කොමිෂන් සභාවල ඉදිරිපත් වන කරුණු පිළිබඳව පොලිසිය යොදවා නව විමර්ශනයක් කළ යුතු යි. එම නව විමර්ශනයේදී සටහන් කර ගන්නා ප්‍රකාශ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු යි. නීතිපතිවරයා ඒවා අධ්‍යයනය කර ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවට තීරණය කරන්නේ නම් නඩු පැවරීමට හැකියාව තිබෙනවා. එසේ නොමැතිව කොමිෂන් සභාවක් ඉදිරිපිට ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන සෘජුව ම නඩු පැවරීමට හැකියාවක් නැහැ. මේ දක්වා කොමිෂන් සභාවල ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කරගෙන කිසිදු අධිකරණයක නඩු පවරලත් නෑ," යනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සඳහන් කළේ ය.
මෙරට පත් කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවල ඵලදායීතාව පිළිබඳව ද මෙහිදී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පැහැදිලි කළේ ය.
"ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා කියන්නේ මායාවක් විතරයි. මේවා නිකන් ඇස්බැන්දුමක් විතරයි. මොක ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කොමිෂන් සභා ගණනාවක් මේ වන විට පවත්වා තිබෙනවා. ඒවායේ අනාවරණය වූ සාක්ෂි පදනම් කරගෙන කිසිදු නඩු පැවරීමක් සිදුවෙලා නැහැ. මේ කොමිෂන් සභාවලට විනිසුරුවරු පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. එහෙත් සමාජයේ ඇතැම් අවස්ථාවල මෙම විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීභාවය ගැන කරුණු මතු කළ අවස්ථා වාර්තා වී තිබෙනවා. මේ කොමිෂන් සභා හරහා සිදුවන්නේ ජනාධිපතිවරයාගේ දැන ගැනීම සඳහා තොරතුරු ඉදිරිපත් කිරීම යි. එහිදී කොමිසමක් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ පදනම් කරගෙන අනාගතයේදී යම් යම් ක්‍රියා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. ඒ හැරුණු විට අපරාධ නඩු කටයුතු සඳහා මේවා යොදාගන්න බෑ," යනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන වැඩිදුරටත් සඳහන් කළේ ය.