'ණය උගුල්' සහ වෙළෙඳාම් තුළින් චීනය අප්‍රිකානු රටවල් 'සහය නළුවන්' කර ගත්තේ කෙසේද?

    • Author, ජෙරමි හවෙල්
    • Role, බීබීසී ලෝක සේවය

පසුගිය දශක දෙකක කාලය පුරා, චීනය අප්‍රිකාව සමග කරන වෙළෙඳ කටයුතු දැවැන්ත ලෙස ඉහළ නංවා ඇති අතර මහද්වීපය හරහා මාර්ග, දුම්රිය මාර්ග සහ වරායන් ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන ගණන් යොදවා තිබේ.

මෙය සිදු කර ඇත්තේ, චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සම්මේලනය හරහා ය. එය, අප්‍රිකානු රටවල් සහ චීනය එකට වැඩ කළ හැකි ආකාරය තීරණය කිරීම සඳහා සෑම වසර තුනකට වරක් පවත්වනු ලබන සමුළුවකි. මෙම වසරේ රැස්වීම බදාදා බීජිංහිදී ආරම්භ වන අතර, චීන අගමැති ෂී ජින්පිං සමුළුව අමතන්නේ අවසන් දිනය වන සිකුරාදා දිනයේදී ය.

මෑතකදී, චීනය සිය උපාය මාර්ග වෙනස් කර ඇති අතර අප්‍රිකාවට චීනයේ අධිතාක්‍ෂණික සහ “හරිත ආර්ථික” නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් සපයයි.

චීනය අප්‍රිකාව සමඟ කොපමණ ව්‍යාපාර කරමින් තිබේද?

පසුගිය වසර 20ක කාලය තුළ අප්‍රිකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා, අප්‍රිකානු රටවල තනි විශාලතම ආයෝජකයා සහ ඔවුන්ගේ තනි විශාලතම ණයහිමියා බවට චීනය පත්ව තිබේ.

චීනය 2022 වසරේදී අප්‍රිකානු රටවල් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 250කට අධික වෙළඳාමක් සිදු කළේ ය. (දත්ත වාර්තා සහිත නවතම සම්පූර්ණ වසර) එරට තෙල් සහ ඛනිජ වැනි බොහෝ අමුද්‍රව්‍ය ආනයනය කළ අතර බොහෝ දුරට නිෂ්පාදිත භාණ්ඩ අපනයනය කළේ ය.

2022 වසරේදී චීනය අප්‍රිකානු ආර්ථිකයන් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් ආයෝජනය කළේ ය. ප්‍රධාන වශයෙන් නව ප්‍රවාහන සම්බන්ධතා සහ බලශක්ති පහසුකම් ගොඩනැගීම සහ පතල් සංවර්ධනය කිරීම එම ආයෝජන යොදා ගැනිණි. මෙම ව්‍යාපෘතිවලින් එම වසරේදී චීන සමාගම් ඇමෙරිකානු ඩොලර් බිලියන 40කට ආසන්න මුදලක් උපයා ඇත. ලෝක ආර්ථික සංසදයට අනුව මේ වන විට අප්‍රිකාවේ චීන ව්‍යාපාර 3,000ක් ක්‍රියාත්මක වේ.

චීනයට අප්‍රිකානු රටවල් සමග ඩොලර් බිලියන 134ක හිඟ ණය ද තිබේ. ඒ මුදල් ණය වශයෙන් ලබා දුන්නේ, සංවර්ධන කටයුතු වෙනුවෙනි. එය ප්‍රමාණාත්මකව 20% ක් හෙවත්, අප්‍රිකානු ජාතීන් සෙසු ලෝකයෙන් ගෙන ඇති ණය ප්‍රමාණයට සමාන ය.

කෙසේ වෙතත්, අප්‍රිකානු රටවලට ණය දීමේදී සහ අප්‍රිකාවේ ආයෝජනය කිරීමේදී මෑත කාලීනව චීනය මන්දගාමී වී ඇති බවක් දක්නට ලැබේ.

මෙයට හේතුව බොහෝ අප්‍රිකානු රාජ්‍යයන්ට චීනය තම රටවල ගොඩනගා ඇති යටිතල පහසුකම් වෙනුවෙන් ණය ආපසු ගෙවීමේ ගැටලු මතු වී තිබීම බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන විද්‍යායතනයේ මහාචාර්ය ස්ටීව් සාං පවසයි.

"බටහිර රටවල් සහ ලෝක බැංකුව අරමුදල් නොසපයන දුම්රිය මාර්ග වැනි අප්‍රිකාවේ ව්‍යාපෘති සඳහා මුදල් ණයට දීමට චීනය සතුටු වුණේ එම රටවලට වාණිජමය අවබෝධයක් නොතිබූ නිසා යි,” ඔහු පවසයි.

"දැන් ගොඩක් අප්‍රිකානු රටවල් අවබෝධ කරගෙන තියෙනවා, ඒ ව්‍යාපෘතිවලින් ණය ගෙවන්න තරම් ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නෙ නෑ කියලා."

"දැන්, අප්‍රිකාවට ණය දෙන චීන ආයෝජකයින් වඩාත් විචක්ෂණශීලී යි,” ලන්ඩනයේ විදේශ කටයුතු පිළිබඳ බුද්ධි මණ්ඩපයක් වන චැතම් හවුස්හි ආචාර්ය ඇලෙක්ස් වයින්ස් පවසයි. "ඔවුන් වඩාත් බැංකුගත කළ හැකි ව්‍යාපෘති සොයමින් සිටිනවා."

මාර්ග, දුම්රිය මාර්ග සහ වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති අප්‍රිකාවට ලබා දීම වෙනුවට 4G සහ 5G ටෙලිකොම් ජාල, අභ්‍යවකාශ චන්ද්‍රිකා, සූර්ය පැනල සහ විද්‍යුත් වාහන (EVs) වැනි අධිතාක්‍ෂණික උපකරණ සැපයීම කෙරෙහි චීනය ද සිය අවධානය යොමු කර ඇත.

"විද්‍යුත් වාහන අප්‍රිකානු වෙළෙඳපොළට දැමීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල වී ඇතැයි" ආචාර්ය වයින්ස් පවසයි. "මෙය චීනය සිය නව, අතිනවීන හරිත තාක්ෂණයන් අපනයනය කරන එක් මාර්ගයක්."

චීනය සමග කරන වෙළෙඳාම අප්‍රිකාවට සහයක් ද? හානියක් ද?

චීනය අප්‍රිකානු රටවල් සමග ප්‍රධාන ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීම ආරම්භ කළේ, 1999 වසරේ සිට, චීන කොමියුනිස්ට් පක්ෂය සිය “බැහැරට යාමේ” උපායමාර්ගය දියත් කළ අවස්ථාවේදී ය. චීන අප්‍රිකානු සහයෝගීතාව පිළිබඳ සංසදය (FOCAC) 2003 වසරේදී එහි පළමු රැස්වීම පැවැත්වූ අතර එය දැන් චීනය සහ අප්‍රිකානු ප්‍රාන්ත 53ක් සඳහා හවුල්කාරිත්ව වේදිකාවකි.

මුලදී, චීනයේ අවධානය යොමු වූයේ, අප්‍රිකාවෙන් හැකි තරම් අමුද්‍රව්‍ය ආනයනය කිරීම කෙරෙහි ය. එබැවින් එය ලොව පුරා අපනයන භාණ්ඩයක් බවට පත් කළ හැකි බව ආචාර්ය වයින්ස් පවසයි.

"චීනය ඇන්ගෝලාවට යටිතල පහසුකම් ඉදිකිරීමට විශාල මුදල් ප්‍රමාණයක් ණයට දුන්නේ, ඒ වෙනුවට ඉන්ධන සැපයුම් ලබා ගැනීමේ අදහසින්," ඔහු පවසයි. "මෙම ව්‍යාපෘති හරහා චීන වැසියන්ට රැකියාත් ලැබුණා. එක් අවස්ථාවක, ඇන්ගෝලාවේ චීන කම්කරුවන් 170,000කට වඩා සිටියා."

චීනය අප්‍රිකාව තුළ කළ ආයෝජන හඳුන්වන්නේ, "දෙපාර්ශවයට ම ජය" ලැබෙන ක්‍රියාවක් ලෙස ය.

කෙසේ වෙතත්, චීනය අප්‍රිකාවේ නිම කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති දේශීය ජනතාවට ලබා දී ඇත්තේ ඉතා සුළු ප්‍රතිලාභයක් බව මහාචාර්ය සාං පවසයි. එය අප්‍රිකානු වැසියන් අතර කෝපයට තුඩු දී තිබේ.

"චීන සමාගම් ඔවුන්ගේ ව්‍යාපෘතිවලය බොහෝ දුරට තමන්ගේ ම සේවකයින් ගෙන්වා ගන්නා අතර දේශීය ශ්‍රමිකයින්ට රැකියා ලබා දෙන්නෙ නෑ," ඔහු පවසයි. "ඔවුන් දැඩි සේවා කොන්දේසි ඉදිරිපත් කරමින් රැකියා සඳහා දේශීය ශ්‍රමිකයින් යොදා ගන්නා බවටත් හැඟීමක් තිබෙනවා."

අප්‍රිකාව සහ ආසියාව පුරා වෙළෙඳ ජාල වැඩිදියුණු කිරීම සඳහා චීනය සිය තීරය සහ මාර්ග ක්‍රියාන්විතය දියත් කළ 2013 වසරෙන් පසු වසරවලදී අප්‍රිකානු රටවලට දෙන ණය ප්‍රමාණය ඉහළ ගියේ ය. ඔවුහු 2016 දී දුන් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 28කට වඩා ඉහළ දැමූහ.

විශාල මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමට රජයන් පොළඹවාගෙන ඒවා ආපසු ගෙවීමේ ගැටලු ඇති වූ විට ඔවුන්ගෙන් සහන ඉල්ලා කොල්ලකාරී ආකාරයෙන් අප්‍රිකාවට ණය දෙන බවට චීනයට චෝදනා එල්ල වී තිබේ.

චැතම් හවුස්හි සංඛ්‍යා ලේඛනවලට අනුව ඇන්ගෝලාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක වැඩි ම ණය ප්‍රමාණය ලබාගෙන ඇති අතර, සැම්බියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් සහ කෙන්යාව ඩොලර් බිලියන 6ක් ණය වී තිබේ. මේ සියලු රටවලට එම ණය මුදල් ආපසු ගෙවීම දුෂ්කර වී තිබේ.

බොහෝ විට, චීනය අප්‍රිකානු රාජ්‍යයන්ට මුදල් ණයට දී ඇති අතර ඒවා ආපසු ගෙවීම අමුද්‍රව්‍ය අපනයනය හරහා ලබන ඉපැයීම් සමග සම්බන්ධ කර ඇත. කොංගෝව වැනි රටවල ඛනිජ ආකර කිහිපයක පාලනය චීනයට ලබා ගැනීමට මෙම ගනුදෙනු උපකාරී වී තිබේ.

අප්‍රිකානු සංවර්ධන බැංකුවේ ප්‍රධානී අකින්වූමි ඇඩසිනා, ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ රජයන් මෙවැනි ණය ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ය.

"ඒවා ඉතා ම නරක යි. ප්‍රධාන වශයෙන්, වත්කම් නිසි ලෙස මිල කළ නොහැකි නිසා," ඔහු පැවසීය.

"පොළව යට ඛනිජ හෝ ඉන්ධන තිබේ නම්, දිගුකාලීන ගිවිසුමක් සඳහා මිලක් ලබා ගන්නේ කොහොම ද? ඒක අභියෝගයක්."

කෙසේ වෙතත්, වෛද්‍ය වයින්ස් පවසන්නේ, "චීන ‘ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකත්වය’ ඇත්තට ම පවතින දෙයක් නෙවෙයි," යනුවෙනි.

"දුර්වල රාජ්‍යයක් සමග කටයුතු කිරීමේදී චීනය සමහර විට කොල්ලකාරී ආකාරයෙන් ක්‍රියා කරනවා, නමුත් ශක්තිමත් ආණ්ඩුවලට අධික ණය බරින් තොරව ඔවුන් එක්ක ව්‍යාපාර කරන්න පුළුවන්," යනුවෙන් ඔහු පවසයි.

අප්‍රිකාව සම්බන්ධයෙන් චීනයේ අනාගත සැලසුම් මොනවා ද?

ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යායතනයේ ආචාර්ය ෂර්ලි සේ යූ පවසන පරිදි, බදාදා බීජිංහි ආරම්භ වන චීන - අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සම්මේලනය, අප්‍රිකානු ජාතීන් සහ ඕනෑ ම ලෝක බලවතෙකු අතර වඩාත් පුළුල් සහ හොඳින් ස්ථාපිත හවුල්කාරිත්ව වේදිකාවකි.

සෑම අවුරුදු තුනකට වරක් ම, එය නව ඉලක්ක සහ ප්‍රමුඛතා හඳුනාගනී.

"එය අප්‍රිකාවේ බාහිර සහකරු ලෙස චීනය වඩාත් හොඳින් සහභාගි කරවා ගැනීමේ උපාය මාර්ගයක්,” ඇය පවසයි.

"ශත වර්ෂය අවසානයේ ලෝක ජනගහනයෙන් 40%ක් අප්‍රිකාවේ වාසය කරනු ඇති," ඇය පවසයි. "ගෝලීය ආර්ථිකයේ අනාගතය අප්‍රිකාව බව අමුතුවෙන් කිව යුතු නැහැ."

කෙසේ වෙතත්, චීනය අප්‍රිකාව සම්බන්ධයෙන් දරන කැමැත්ත හුදෙක් වාණිජමය එකක් නොවන අතර, එහි දේශපාලනමය කාරණාවක් ද පවතින බව ආචාර්ය වයින්ස් පවසයි.

"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රිකානු රටවල් 50කට වඩා සාමාජිකත්වය දරනවා," ඔහු පවසයි. "තායිවානය රාජ්‍යයක් ලෙස හඳුනා නොගැනීමට ඔවුන් සෑම කෙනෙකු ම පාහේ උත්සහ කරනවා."

“චීනයට අප්‍රිකාවෙන් අවශ්‍ය කුමක් ද කියන එක පිළිබඳව පැහැදිලි චිත්‍රයක් අපි දැන් දකිනවා,” මහාචාර්ය සාං පවසයි.

"චීනයට අවශ්‍ය දකුණු ගෝලීය රටවල වීරයා වෙන්න වගේ ම, එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවලට කළ හැකි බලපෑම වැඩි කර ගැනීමට එම තනතුර භාවිත කිරීම යි. චීනයට අවශ්‍ය වෙන්නේ, අප්‍රිකානු රටවල් තමන්ගේ ‘සහාය නළුවන්’ බවට පත් කර ගැනීම යි."

චීන - අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සම්මේලනය සමානාත්මතාවක් ඇති රැස්වීමක් නොවන බව ඇය පවසයි.

“බලයේ විශාල විෂමතාවක් තිබෙනවා. චීනය සමග එකඟ නම්, ඔබව සාදරයෙන් පිළිගන්නවා. චීනය කරන්න සැලසුම් කරන දෙයට ඔවුන් එකඟ නොවන බව කිසි ම රටක් කියන්නෙ නෑ."