Aliexpress ශ්‍රී ලංකාවට භාණ්ඩ බෙදාහැරීම නතර කරලා ද? සැබවින් ම සිදුව ඇත්තේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
අඩු මුදලට භාණ්ඩ ආනයනය කළ හැකි විදේශීය ඔන්ලයින් සේවාවක් වන Aliexpress ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය සේවාවක් වන අතර, දින කිහිපයක සිට එම සේවාව මෙරටට භාණ්ඩ ආනයනය කිරීම නවතා දමා ඇතැයි සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ.
එම සේවාව ඔස්සේ භාණ්ඩ ඇණවුම් කරන ලද බොහෝ දෙනෙකු තම ඇණවුම් නොලැබුණු බවට මැසිවිලි නගන අතර, ඒ හරහා ඇණවුම් කරන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමක් මෙන් ම නැව් ගාස්තුවල ඉතා විශාල වැඩි වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමූහවල අදහස් දක්වා ඇත.
මේ පිළිබඳව බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලූ අතර එහිදී පෙනී ගියේ Aliexpress සේවාව තවමත් මෙරටට ක්‍රියාත්මක බව ය.
එහෙත්, නොමිලේ නැව්ගත කිරීම (Free Shipping) නවතා ඇති බවත් භාණ්ඩ මෙරටට එවීමට අය කරනු ලබන නැව් ගාස්තු ඉහළ දමා ඇති බවත් නිරීක්ෂණය විය.
ඇතැම් භාණ්ඩ සඳහා අය කරනු ලබන නැව් ගාස්තුව එම භාණ්ඩයේ මිල මෙන් කිහිප ගුණයකින් වැඩි බව ද අප කළ සොයා බැලිමේදී අනාවරණය විය.
කෙසේ නමුත්, ඇතැම් පුද්ගලයන්ට තවමත් නොමිලේ නැව්ගත කිරීම හරහා මෙරටට භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව ඇති බව ද ෆේස්බුක් සමූහවල සටහන් කරන තිබේ.
'මම මෙච්චර කල් ගොඩක් ම ෆ්‍රී ෂිපින් තමයි ගෙන්නුවේ'
මීගමුවේ පදිංචි සේනාධීර අබේසිංහ වසර 8කට ආසන්න කාලයක් තිස්සේ Aliexpress ඔස්සේ පරිගණක උපාංග සහ අමතර කොටස් ගෙන්වාගෙන තිබේ. ඔහු පවසන්නේ, මැයි මාසයේ සිට භාණ්ඩවල හෝ නැව් ගාස්තුවල මිල ඉතා විශාල වශයෙන් ඉහළ යාමක් සිදුවූ බව ය.
ඔහු පරිගණක අලුත්වැඩියා කිරීමේ නිරතවන්නෙකු වන අතර ලංකාවේ සොයාගත නොහැකි හෝ මිල වැඩි අමතර කොටස් එලෙස ගෙන්වා ගනු ලැබූ බව බීබීසී සිංහල සේවයට පැවසීය.
"මම මෙච්චර කල් ගොඩක් ම ෆ්‍රී ෂිපින් තමයි ගෙන්නුවේ. සමහර ඒවාගේ ෂිපින් අඩු යි, නැත්නම් කොස්ට්, ෂිපින් මෙහෙට වඩා ගොඩක් අඩු යි. නමුත් මම දැන් හොයාලා බැලුවා එක්කෝ ෆ්‍රී ෂිපින් හරි අඩු ෂිපින් තියෙන අයිටම්වල එක්කෝ ප්‍රයිස් එක වැඩි යි, නැත්නම් ප්‍රයිස් ප්ලස් ෂිපින් ගොඩක් වැඩි යි."
මැයි මාසයේ සිට භාණ්ඩවල මිල හෝ නැව් ගාස්තු වැඩි වීම සිදුවනු නිරීක්ෂණය වූ බව ද පැවසූ සේනාධීර අබේසිංහ පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය හමුවේ අමතර කොටස් ලබා ගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් ව්‍යාපාරයට බලපෑම් එල්ල වී ඇති බව ය.
රේගුව භාණ්ඩ නතර කරලා ද? බදු වැඩි කරලා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ, ශ්‍රී ලංකා රේගුව විසින් ඔන්ලයින් වෙළෙඳ අවකාශ ඔස්සේ ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා වන බදු ඉහළ දැමීම බව මේ සම්බන්ධව අදහස් පළ කරන සමූහවල සඳහන් වේ.
එසේ ශ්‍රී ලංකා රේගුව පෙර පැවති ක්‍රමවේදයේ සිදුකර ඇති වෙනස්කම් සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළේ ය.
එසේ ගෙන්වන භාණ්ඩ රේගුව නතර කර නොමැති බවත් සිදුව ඇත්තේ, ගාස්තු වැඩි කිරීමක් නොව නිවැරදි ගාස්තුව අය කිරීම බවත් අතිරේක රේගු අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය.
"අපි හරි ගාණ දැන් අය කරනවා, ගාණ වැඩි කරලා නැහැ. හරි ගාණ අය කරලා අරන් යන්න පුළුවන්. ඊයෙත් කීපදෙනෙක් අරන් ගියා. වැඩි යි කියලා කලින් කියාගෙන හිටියා. වැඩි කියන්නේ ඉතින් පාර්ලිමේන්තුව තීරණය කරන ටැක්ස් එකනේ අපි අය කරන්නේ. ඒක ගෙවන්න ඕනේ. ගෙවන කට්ටිය අරගෙන යනවා."
"ටැක්ස් අය කිරීම කලින් සිද්ධ වුණා නමුත් ඒක වැලිව් එකට ම ගිහිල්ලා කළේ නැහැ. මොක ද වොලියුම් එක වැඩි නිසා. නමුත් අපි දැක්කා මේක වැරදි විදියට පාවිච්චි කරනවා. අපි ඒගොල්ලො එක්ක කතා කරලා, මාස එක හමාරක නෝටිස් දීලා සති දෙකකට කලින් ඉඳන් හරියට ම ක්‍රමයක් හඳලා දුන්නා ගෙවන්න. ඕනෑ ම කෙනෙකුට, ඕනෑ ම වෙලාවක අරන් යන්න පුළුවන් කස්ටම් එකෙන් කිසිඩම නැවැත්වීමක් නැහැ. ඩියුට් වැඩි කිරීමක් මුකුත් කරලා නැහැ හරි ඩියුටි එක අපි අය කරනවා."
භාණ්ඩ ඇණවුම් කරන ලද පුද්ගලයා රේගුවට පැමිණ ඒවා ලබා ගත යුතු නැති බවත් අදාළ ආයතන විසින් රේගු නිෂ්කාෂණය කර භාණ්ඩ බෙදා හැරීම සිදුකරනු ලබන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ ප්‍රතිචාරය
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම සම්බන්ධ ඇතිව තිබෙන දැඩි කතාබහ හමුවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබා තිබේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post














