ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අවුරුදු 7ක දරුවෙකුට රුසියානු මෘදුකාංග සමාගමකින් රැකියා ඇරයුමක්
- Author, වික්ටෝරියා හොලන්ඩ්
- Role, බීබීසී ලෝක සේවය
- Author, ලුසී හූකර්
- Role, බීබීසී ව්‍යාපාරික පුවත්
මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ කෝඩිං (coding) සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත 7 හැවිරිදි දරුවෙකුට වැටුප් සහිත රැකියාවක් කිරීමට තරම් වයසට පත්වූ වහා ම එහි කළමනාකරණ කණ්ඩායමට එක්වන ලෙස රුසියානු මෘදුකාංග සමාගමකින් ඇරයුමක් ලැබී තිබේ.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පදංචි සර්ගෙයි, වයස අවුරුදු පහේ සිට මෘදුකාංග සකසන ආකාරය විස්තර කරන වීඩියෝ පළ කරමින් කීර්ති නාමයක් ගොඩනගා ගෙන සිටී.
එම වීඩියෝවල ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින්, තොරතුරු ආරක්ෂණ ආයතනයක් වන Pro32 සමාගම ඔහුට ආයතනික පුහුණු ප්‍රධානී තනතුර සඳහා ලිඛිත රැකියා ඇරයුමක් යවා ඇත.
රුසියානු නීතිය අනුව, වයස අවුරුදු 14 වන තුරු සර්ගෙයිට වැටුපක් සහිත කිසිදු රැකියාවක් භාර ගත නොහැක.
කෙසේ වෙතත්, Pro32 සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉගෝර් මැන්ඩික් බීබීසී ලෝක සේවයට පැවසුවේ, ඔහු නිසි වයසට පත්වන තුරු ඒ අතරතුර කාලයේ සහයෝගීතාව පවත්වාගෙන යාම සඳහා ක්‍රම සොයා ගැනීම සම්බන්ධයෙන් සර්ගෙයිගේ දෙමාපියන් සමග සාකච්ඡා කර ඇති බව ය.
"ඔහුගේ තාත්තා කිරිල් මේ ආරාධනාව ගැන පුදුමයට පත්වුණා. ඔහු ගොඩක් සතුටට පත්වුණා ඒ ගැන. සර්ගෙයි සමාගමට සම්බන්ධ කර ගන්න හැකි වේවි," මැන්ඩික් පැවසීය.
'කෝඩිං මොසාර්ට් කෙනෙක්'
ඔහුගේ වීඩියෝවල, සර්ගෙයි නැවුම් මුහුණකින් හා උද්යෝගිමත් ලෙස සිනාසෙයි. රුසියානු භාෂාවෙන් සහ සමහර විට මඳක් කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කරන ඔහු පියවරෙන් පියවර කේතකරණයේ අභියෝග පැහැදිලි කරයි.
ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ Python සහ Unity ප්‍රෝග්‍රැමිං භාෂා ඉගෙනීමට සහ කෘත්‍රිම බුද්ධි මෙවලම් යටතේ ඇති ජාල පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීමට කැමැත්ත පළ කරන ග්‍රාහකයින් 3,500කට අධික පිරිසක් සිටිති.
මැන්ඩික් පැවසුවේ, සර්ගෙයි කැපී පෙනෙන මෘදුකාංග නිර්මාණ කුසලතා පමණක් නොව, ඉගැන්වීමට ද "සමාන ලෙස විශිෂ්ට" කුසලතා පෙන්නුම් කරන බව ය.
"මට නම් ඔහු, මොසාර්ට් කෙනෙක්."
"වයස අවුරුදු 14ට ළඟා වුණා ම, ඔහු ඉගැන්වීමේ විශිෂ්ටයෙකු සහ මෘදුකාංග නිර්මාණයේ විශිෂ්ටයෙකු වනු ඇති බව මට අනිවාර්යයෙන් ම විශ්වාස යි. ඒ නිසා අපි ඇත්තට ම මේ කාලය එනතුරු බලා ඉන්නවා," ඔහු පැවසීය.
Pro32 ආයතනයේ කේතකරණයේ යෙදෙන්නන්ට පමණක් නොව, අලෙවිකරුවන්, ගණකාධිකාරීන් ඇතුළු සෙසු සේවකයින්ට ද සර්ගෙයිගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇතැයි මැන්ඩික් පවසයි.
වැටුප් අනුපාත සැලකිය යුතු ලෙස වෙනස් වීමට ඉඩ ඇති බැවින්, තවමත් සර්ගෙයිට ගෙවන වැටුප් සම්බන්ධයෙන් කිසිදු පොරොන්දුවක් ලබා දී නොමැත.
"අපිට තව අවුරුදු හතක් බලාගෙන ඉන්න වෙනවා," මැන්ඩික් පැවසීය. "ඊට පස්සේ අපි අනිවාර්යයෙන් ම වැටුප ගැන සාකච්ඡා ආරම්භ කරනවා."