දරුවන් ලැබීමෙන් ඔබේ ආයු කාලය අඩු වනවා ද?

    • Author, කේට් බෝවී
    • Role, ගෝලීය සෞඛ්‍ය, බීබීසී ලෝක සේවය

දරුවන් හිතුවක්කාරී ලෙස හැසිරෙන විට, ආහාර ගැනීම හෝ නින්දට යාම ප්‍රතික්ෂේප කරන විට මව්වරු සරදමට මෙන් දරුවන් නිසා ඔවුන්ගේ ආයු කාලය කෙටි වන බව පවසති.

නමුත් නව පර්යේෂණවලින් පෙනී යන්නේ, කටුක තත්ත්වයන් යටතේ ජීවත් වන කාන්තාවන් සඳහා මෙය තවදුරටත් සත්‍යයෙන් එතරම් දුරස් නොවිය හැකි බවයි.

ඇතැම් මව්වරුන්ගේ ආයු කාලය ඔවුන් ලබන සෑම දරුවෙකු පාසා මාස හයක් දක්වා කාලයකින් අඩු වී ඇති බව සහ ඉතා දුෂ්කර පරිසරයක ජීවත් වන කාන්තාවන් මෙවැනි තත්ත්වයන් යටතේ වැඩි වශයෙන් පීඩාවට පත්වන බව ඓතිහාසික වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි.

පරිණාම පර්යේෂකයන් විසින් 1866 සහ 1868 අතර මහා ෆින්ලන්ත සාගතය පැවති කාලය තුළ ජීවත් වූ කාන්තාවන් 4,684 දෙනෙකුගේ පල්ලියේ වාර්තා (ජනගහනයක උපත් සහ මරණ ඇතුළත්) පරීක්ෂාවට ලක් කරන ලදී.

මෙය "මෑත කාලීන යුරෝපීය ඉතිහාසයේ ඇති වූ භයානක ම සාගතවලින් එකක්" වූ බව අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක, නෙදර්ලන්තයේ ග්‍රොනින්ගන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉවාන් යන්ග් පැහැදිලි කරයි.

සාගතය අතරතුර දරු උපත් සිදු කළ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව සෑම දරුවෙකුට ම මාස හය බැගින් අඩු වූ බව ආචාර්ය යන්ග් සහ ඔහුගේ කණ්ඩායම වූ මහාචාර්ය හැනා ඩග්ඩේල්, මහාචාර්ය විර්පි ලුම්මා සහ ආචාර්ය එරික් පෝස්ට්මා සොයා ගත්හ.

මෙයට හේතුව මව්වරුන් දරුවන් බිහි කිරීම සඳහා තම ශරීරයේ සෛල අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ශක්තිය යෙදවීම නිසා විය හැකි අතර, එය පසු කාලීනව ඔවුන්ට රෝග වැළඳීමේ අවදානම වැඩි කරන බව අනාවරණ වූ කරුණු අනුව පෙනී යයි.

නමුත් සාගතයට පෙර හෝ පසුව ජීවත් වූ කාන්තාවන් අතර කාන්තාවකගේ ආයු කාලය සහ දරු ප්‍රසූතිය අතර කිසිදු සම්බන්ධයක් නොතිබිණි.

"අපි මේ බලපෑම දැක්කේ සාගත කාලයේ තමන්ගේ ප්‍රජනන සමයේ හිටපු කාන්තාවන් තුළ පමණයි," ආචාර්ය යන්ග් පවසයි.

මෙයින් යෝජනා කෙරෙන්නේ, කාන්තාවන් තම දරු ගැබ දරා සිටි කාලය තුළ ජීවත් වූ පරිසරය ප්‍රධාන සාධකයක් වූ බවයි.

දරුවන් ලැබීම ආයු කාලයට බලපාන්නේ ඇයි?

මෙයට හේතු වූයේ කුමක් ද?

ඒ සඳහා පවතින එක් පැහැදිලි කිරීමක් වන්නේ, දරු ප්‍රසූතියකට පසු ඇති වන දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් දැඩි පාරිසරික තත්ත්වයන් නිසා තවත් නරක අතට හැරිය හැකි බවයි.

ශරීර ස්කන්ධය වැඩිවීම සහ කායික ආතතිය ඉහළ යාම හේතුවෙන් මව්වරුන්ට හෘද්වාහිනි සහ පරිවෘත්තීය සම්බන්ධ රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව කාලයක සිට දන්නා කරුණකි.

"මෙම කාලය තුළ දරුවන් ඇති දැඩි කිරීම, මව්කිරි දීම, ගැබ් ගැනීම යන ක්‍රියාවන් මව තුළ ඇති ශක්තිය ක්ෂය වීමට හේතු වන බවට තවත් පැහැදිලි කිරීමක් තියෙනවා," ආචාර්ය යන්ග් තවදුරටත් පවසයි.

දරු ගැබක් දරා සිටීම සහ මව්කිරි දීම සඳහා විශාල ශක්තියක් අවශ්‍ය වන අතර එයින් අදහස් වන්නේ සාගතයක් තුළ පළමු වරට මව් පදවිය ලබන කාන්තාවකට ජීවිතයේ පසුකාලීනව රෝග වැළඳීම වළක්වන ශාරීර කෘත්‍යයන් පවත්වා ගැනීමට පවතින්නේ අඩු ශක්ති ප්‍රමාණයක් බවයි.

"මේ ජනගහන අතර කාන්තාවන් ශරීරයට ප්‍රකෘතිමත් වෙන්න කාලය නොදී, ළඟ ළඟ දරුවන් බිහි කළොත් සෞඛ්‍ය බලපෑම් වඩාත් නරක අතට හැරෙන්න පුළුවන්," වෛද්‍ය යන්ග් පැහැදිලි කරයි.

නමුත් රසායනාගාර අත්හදා බැලීම් කරමින් නව දත්ත නිර්මාණය කිරීමකට වඩා මෙම අධ්‍යයනය මගින් ඉතිහාසගත දත්ත පරීක්ෂා කළ නිසා, ඔහුට නිශ්චිතව ම අදහස් දැක්විය නොහැකි බව ඔහු තවදුරටත් පවසයි.

දරුවන් සහ ආයු කාලය අතර තරගය

දරුවන් වැඩි ගණනක් සිටි කාන්තාවන් අතර ද මෙම සොයාගැනීම් වඩාත් කැපී පෙනිණි. නමුත් සියලු ම කාන්තාවන්ට එක හා සමානව බලපෑම් එල්ල වී නොමැති බව ආචාර්ය යන්ග්ගේ අධ්‍යයනයෙන් යෝජනා කෙරිණි.

"ඇත්තට ම මේ සංකල්ප දෙක තමයි අතිවිශාල පවුල් සහ මෙවැනි සාගත සිදුවීම්," ආචාර්ය යන්ග් පැහැදිලි කරයි.

කෙටි ආයු කාලයක් ඇති සහ පැටවුන් වැඩි ගණනක් බිහි කරන මීයන් සහ කෘමීන් වැනි සතුන් සහ දිගු කාලයක් ජීවත් වන සහ අඩු පැටවුන් හෝ දරුවන් ගණනක් බිහි කරන අලි ඇතුන්, තල්මසුන් සහ මිනිසුන් වැනි විශේෂ අතර පවතින වෙනස ගැන විද්‍යාඥයෝ දශක ගණනාවක් පුරා ව්‍යාකූලත්වයට පත්ව සිටිති.

ප්‍රමුඛ න්‍යායක් වන්නේ සෛල අලුත්වදියව සඳහා භාවිත කරනා ශක්තිය වර්ගයා බෝ කිරීමට භාවිත කිරීමයි. එය වයස්ගත වීමට බලපායි.

නූතන කාන්තාවන්ටත් ඒ ආකාරයෙන් ම බලපානවා ද?

නමුත් වසර 200කට පමණ පෙර කාන්තාවන් අධ්‍යයනයෙන් සොයා ගත් මෙම කරුණ 21 වන සියවසේ මව්වරුන්ටත් අදාළ විය හැකි ද?

"මතක තියාගන්න ඕනේ මේ කතා කරන්නේ ඉතිහාසය ගැන, ඒ කියන්නේ නවීන සෞඛ්‍ය සේවා තරම් දියුණු නැති කාලයක් ගැන," ආචාර්ය යන්ග් පවසයි.

"මෙම කාල පරිච්ඡේදය තුළ, කාන්තාවන්ට සාමාන්‍යයෙන් දරුවන් හතරක් හෝ පහක් පමණ හිටියා. ඒක අද තියෙන පවුල්වලට වඩා ලොකු පවුලක්."

1800 ගණන්වල සිට, ලොව පුරා පවුලක සිටින දරුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු වී ඇත.

2023 වසරේදී, සාමාන්‍යයක් ලෙස ගත් කල කාන්තාවකට දරුවන් දෙදෙනෙකුට වඩා සිටි අතර අධ්‍යාපනය, රැකියා සහ උපත් පාලන ක්‍රම සඳහා වැඩිවන ප්‍රවේශය මෙන් ම ළමා මරණ අනුපාත පහත වැටීම හේතුවෙන් මෙම වෙනස සිදු විය.

කෙසේ වෙතත් කාන්තාවන්ට තවමත් අවම වශයෙන් දරුවන් හතර දෙනෙකු පමණ සිටින නයිජර්, චැඩ්, සෝමාලියාව සහ දකුණු සුඩානය වැනි රටවල් තිබේ.

තව ද, පසුගිය වසරේදී, එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ආහාර සුරක්ෂිතතා මුලපිරීම වන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය මගින් සුඩානයේ සහ ගාසා යන ප්‍රදේශ දෙකෙහි ම සාගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි.

වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බව ආචාර්ය යන්ග් පවසන අතර, මෙයින් යෝජනා කෙරෙන්නේ ලෝකයේ ඇතැම් ප්‍රදේශවල දැනටමත් මෙම අධ්‍යනයේ සොයාගැනීම් අත්විඳින බව ය.