Auto-brewery syndrome: ඔබව මත් කරවන අද්භූත රෝගය

Ray Lewis (left) with his wife, Sierra, and service dog Mia

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Ray Lewis

ඡායාරූප ශීර්ෂ වැකිය, රේ ලුවිස් (වමේ) හට ඔහුගේ ABS රෝග තත්ත්වය කළමනාකරණය කිරීමට මියා උදවු කරයි
    • Author, ෆර්නැන්ඩු ඩුටරාතේ
    • Role, බීබීසී ලෝක සේවය

බෙල්ජියම් ජාතිකයෙකු නීත්‍යනුකූල සීමාව ඉක්මවා තුන් ගුණයක් මත්වී රිය පැදවීමේ චෝදනාවකින් නිදහස් වීමේ සිද්ධියක් පසුගිය දා පුවත් සිරස්තල මැවීමට සමත් විය. 40 හැවිරිදි වියේ පසු වන ඔහුට, ශරීරයෙන් මත්පැන් නිපදවෙන ස්වයංක්‍රීය-මධ්‍යසාර සින්ඩ්‍රෝමය (auto-brewery syndrome) නම් දුර්ලභ තත්ත්වයක් ඇති බව වෛද්‍ය ප්‍රවීණයන්ගේ මැදිහත් වීමෙන් තහවුරු විය. එසේ නම්, ස්වයංක්‍රීය-මධ්‍යසාර සින්ඩ්‍රෝමය යනු කුමක් ද? බල්ලෙකු මිනිසෙකුට ඉන් ගැලවීමට උපකාර කරන්නේ කෙසේ ද?

ඇමෙරිකාවේ ඔරිගන්හි රෝහලේදී අවදි වූ පසු රේ ලුවිස්ට කරුණු දෙකක් තහවුරු විය. පළමුවැන්න, ඔහු කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළ මත්ස්‍ය හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ජීවී සැමන් මත්ස්‍යයන් 11,000ක් රැගෙන ගිය ට්‍රක් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් ඔහු ගැටලුවකට මුහුණ දී සිටීම ය.

දෙවැන්න වූයේ, ඔහුගේ රුධිරයේ අධික ඇල්කොහොල් මට්ටමක් පැවති බව පොලිසිය සටහන් කර තිබුණ ද, 2014 දෙසැම්බර් මාසයේ අනතුර සිදු වූ දින රාත්‍රියේ ඔහු මත්පැන් පානය කර නොතිබීම ය.

"මම මත්පැන් බින්දුවක්වත් බිව්වෙ නෑ, මොක ද, මම දැනගෙන හිටියා හිම වැටුණ පාරවල්වල පැය දෙකක විතර ගමනක් යන්න තියෙන බව," 54 හැවිරිදි ඔහු ආවර්ජනය කරයි.

අනතුර සිදු වීමෙන් මාස 8කට පසු ඔහු ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමයෙන් පෙළෙන බවත්, ඒ හරහා ඔහුගේ සිරුර මත් කරවන බවත් ජෛවතාක්ෂණික නිලධාරියා හඳුනාගෙන තිබිණි.

(2014 දී රේගේ අනතුරේ සුන්බුන් දක්වන ඇමෙරිකානු රූපවාහිනී නාලිකාවක් වන ෆොක්ස් 13 සියැටල්හි සමාජ මාධ්‍ය සටහනක්)

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය යනු කුමක් ද?

ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය හෙවත් බඩවැල් තුළ මධ්‍යසාර නිපදවීමේ සින්ඩ්‍රෝමය (GFS), රෝගියාට මත්පැන් ස්වල්පයක් හෝ පානය කර නොමැති අවස්ථාවකදී පවා, මත් වීමේ රෝග ලක්ෂණ ඇති කරන රුධිරයේ මධ්‍යසාර මට්ටම ඉහළ නංවන අද්භූත තත්ත්වයකි.

එය සිදු වන්නේ බඩවැල්වල, මුත්‍රා පද්ධතියේ හෝ මුඛයේ ඇති බැක්ටීරියා විසින් කාබෝහයිඩ්‍රේට් සහ සීනි ඇල්කොහොල් බවට පත් කරනු ලැබූ විට ය. එය අන්තරාසර්ග මධ්‍යසාර නිෂ්පාදනය ලෙස හැඳින්වේ.

එය, අපැහැදිලි කතාබහ, අස්ථාවර ඇවිදීම සහ මත්වීමෙන් පසු ඇති වන අසනීප ස්වභාවය ඇති වීමට හේතු වෙයි.

මුලින් ම මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ, 1940 ගණන්වලදී උගන්ඩාවේ රෝහලක වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක ප්‍රතිඵල බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්හි ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමග ය. රෝගියා වූයේ කවරෙකු ද? සැත්කම් අතරතුර උදරය සහ ආහාර ජීර්ණ පද්ධතිය පුපුරා යාම හේතුවෙන් මිය ගිය පස් හැවිරිදි පිරිමි දරුවෙකි. ඔහුගෙන් "ඉතා තද සුවඳක් දැනුණා… ඒ පැහැදිලිව ම මත්පැන් සුවඳක්".

Microscope picture of the fungus Saccharomyces cerevisiae

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ෂුද්‍ර ජීවීන් අපගේ ශරීරය තුළ ඉතා කුඩා ප්‍රමාණයකින් මධ්‍යසාර නිපදවිය හැකි නමුත් බොහෝ මිනිසුන් තුළ එය කලාතුරකින් කරදර ඇති කරයි

එය බලපාන්නේ කාට ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ස්වංයක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය අතිශයින් දුර්ලභ රෝගී තත්ත්වයකි. American Journal of Gastroenterology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද, 2021 වසරේ සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වූයේ, ඇමෙරිකාවේ එවැනි රෝගීන්ගේ ලියාපදිංචි වීම 100කට වඩා අඩු සංඛ්‍යාවක් ඇති බව ය. එහෙත්, ඇතැම් විශේෂඥයින් පවසන්නේ, එවැනි සිද්ධි අඩුවෙන් වාර්තා වී ඇති බවට සැක කරන බව ය.

ඇතැමුන්ට එය බලපාන්නේ මන්දැයි වෛද්‍යවරු තවමත් නොදනිති.

ආහාර ජීර්ණ ක්‍රියාවලියේ කොටසක් ලෙස බඩවැල් තුළ කුඩා ප්‍රමාණයෙන් ඇල්කොහොල් නිපදවන බව දන්නා කරුණකි. බොහෝ පුද්ගලයන් තුළ, මෙය first-pass metabolism ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් මගින් රුධිරයට මිශ්‍ර වීමට පෙර ඉවත් කරනු ලැබේ.

"අපි හැමෝම ස්වභාවිකව මධ්‍යසාර ස්වල්පයක් නිපදවනවා, ඒත් ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය ඇති අයගේ ශරීරය ඇතුළේ රුධිර ප්‍රවාහයට මිශ්‍ර වන ආකාරයට වැඩි ප්‍රමාණවලින් නිෂ්පාදනය වෙනවා," මෙම තත්ත්වය පිළිබඳව විද්‍යාත්මක ලිපි කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇති පෘතුගාලයේ ජෛව වෛද්‍ය උපදේශක සහ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වන වෛද්‍ය රිකාර්ඩෝ ජෝර්ජ් ඩිනිස් ඔලිවේරා පැහැදිලි කරයි.

A young woman preparing to do a breathalyser text

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ABS රෝගීන් බොහෝ විට ඔවුන්ගේ තත්ත්වය ගැන සොයා ගන්නේ මද්‍යසාර පරීක්ෂණයෙන් අසමත් වීමෙන් පසුවය

"කනගාටුවට කරුණක් වෙන්නේ, සාමාන්‍යයෙන් මිනිස්සු මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව දැන ගන්න පවා අපරාධ චෝදනාවක් වැනි බරපතළ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වීම යි."

ඔහු ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය හඳුන්වන්නේ, "පූර්ණ පරිවර්තීය කුණාටුවක්" යනුවෙනි. එහි අදහස එකවර සිද්ධි කිහිපයක් ආරම්භ වීම ය. පළමුවැන්න නම්, බොහෝවිට දියවැඩියාව, ස්ථුලභාවය හෝ ආහාර ජීර්ණ පද්ධතියේ මාංශ පේෂි ඉදිමීම (Crohn's disease) වැනි අඛණ්ඩ රෝගී තත්ත්වයන් පැවතීම බවට ඔහු තර්ක කරයි.

දෙවැන්න, මෙම රෝගීන් බොහෝවිට ගන්නා ප්‍රතිජීවක සහ ප්‍රතිශක්තිකරණ ඖෂධවලට සම්බන්ධ වන අතර ඒවා බඩවැල්වල ජීවත් වන බැක්ටීරියා සහ අනෙකුත් ජීවීන්ට බලපෑම් කිරීම ය.

ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය සමග ජීවත්වීම

ඇමෙරිකාවේ හෙද නිලධාරියෙකු වූ ජෝ කෝඩෙල්, පවුලේ 'තැන්ක්ස් ගිවින්' රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී පිටත්ව යාමට පෙර ඔහුගේ වචන අපැහැදිලි වීමට පටන් ගත් විට, ඔහු සිතුවේ, තමන් පමණට වඩා කළුකුම් මස් අනුභව කිරීම නිසා එය සිදුවූ බව ය.

එහෙත්, පසුව ඔහු සේවය කළ ටෙක්සාස් රෝහලේ සගයෙකු ඔහුට චෝදනා කළේ, සේවා මුරය තුළ බීමත්ව සිටි බවට ය. - එය සේවයෙන් පහ කළ හැකි වරදකි.

"ඒගොල්ලො කිව්වා මගේ හුස්ම ඇල්කොහොල් සුවඳයි කියලා," 75 හැවිරිදි කෝර්ඩෙල් ආවර්ජනය කරයි. "මිනිස්සු හිතුවේ මම බේබද්දෙක් කියලා."

"මම ලැජ්ජාවටත් අපහසුතාවටත් පත්වුණා. මොක ද, මම වැඩ කරන්න කැමති, කිසි ම දවසක රස්සාව මග නොහැරපු කෙනෙක්."

Joe Cordell (l) and Barbara Cordell (r)

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Barbara Cordell

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇගේ සැමියා වන ජෝට රෝගය වැළඳී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව බාබරා කෝඩෙල් මෙම රෝගය සම්බන්ධ සමාජයේ අවධානය ලබාදීමට හඬ නැගීමට පටන් ගත්තාය.

කෙටි කාලයකට හෝ ඔහුගේ බිරිඳ වන බාබරා පවා, ඔහු මත්පැන් පානයට ලොල් වූවෙකු බවට සැක කළා ය.

තවත් හෙදියක වූ ඇය සිය සැමියා විශ්වාස කිරීමට පසුබට වූවා ය. ඇය ඔවුන්ගේ නිවසෙහි සැඟවූ බෝතල් ඇත්දැයි සෙවූ අතර, නිවස තුළ මත්පැන් ස්වල්පයක් හෝ තිබේ දැයි සොයා බැලුවා ය.

"මුලින් ම මම ජෝව සැක කළා," ඇය පිළිගත්තා ය. "මම ගෙදර තිබුණ බෝතල් ලකුණු කරලා ඒවා තනුක කරල නැති බව තහවුරු කර ගන්න පරීක්ෂා කළා."

චෝදනා සහ පරීක්ෂා කිරීම් පමණක් නොව, හදිසියේ සිදුවූ බීමත් බව කී සිද්ධි හේතුවෙන් තමන් බියට පත් වූ බව ජෝ පවසයි.

"ඒක ගොඩක් අවුල්සහගත තත්ත්වයක් වුණා. ඒ සිද්ධි නිසා මට මානසිකව වගේ ම ශාරීරිකවත් අමිහිරි හැඟීමක් ඇති වුණා," ඔහු පවසයි.

A pizza topped with french fries

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාබෝහයිඩ්රේට් අඩු කිරීම ABS පාලනය කිරීමට උපකාරී වේ

ජෝ ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමයෙන් පෙළෙන බව හඳුනා ගැනුණේ, පළමු වරට රෝග ලක්ෂණ මතුවීමෙන් වසර 4කට පසු, එනම්, 2010 වසරේදී ය. ඔහුට යළිත් සේවය කිරීමට හැකි වුව ද, දිනපතා රුධිර ඇල්කොහොල් පරීක්ෂාවන්ට ලක්වීමට සිදුවිය.

මෙම අත්දැකීම බාබරාට සාමාජිකයින් 850කට ආසන්න සංඛ්‍යාවක් සිටින Auto-Brewery Syndrome Advocacy and Research නම් සහන කණ්ඩායම සොයා ගැනීමට සහය විය.

"වෛද්‍යවරුන් රෝගීන් ආපසු හරවා යවන බව රෝගීන්ගෙන් අපට දිනපතා අහන්න ලැබෙනවා," ඇය පවසයි.

"නරක ම තත්ත්වයකදී, ඔවුන්ට නින්දා කරනවා, ලැජ්ජාවට පත් කරනවා, බොරුකාරයන් ලෙස හඳුන්වනවා, ව්‍යාජ රෝගයක් කියලා චෝදනා කරනවා, එහෙමත් නැත්නම් ඉතා පහත් විදිහට සලකනවා."

ඇය සමග වැඩ කළ බොහෝ සාමාජිකයින් ප්‍රතිකාර සැලැස්මක් ආරම්භ කළ පසු මත්පැන් ඉවත් කිරීමේ රෝග ලක්ෂණ ගැන කරුණු නොදැන කතා කළ බව ද ඇය පවසයි.

"කාලයත් සමග ඔවුන් මත්බවට පුරුදු වෙලා නිසා ඒකෙන් ඉවත් විය යුතුයි කියන හැඟීම් වළක්වා ගන්න මත්පැන් පානයට ගොදුරු වෙනවා."

ජෝ පවසන්නේ, ඔහුගේ ආශාව වැඩි වූ බව ය. "මට උදව් ඉල්ලන්න වුණා. කොහොම වුණත් දැන් මම අවුරුදු දහයක් තිස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා," ඔහු පවසයි.

ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය හඳුනාගෙන ඊට ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?

වෛද්‍යවරු පළමුවෙන් ම රෝග ලක්ෂණ ඇති විය හැකි වෙනත් හේතු ඉවත දමති. ඉන්පසුව, මත්පැන් නිපදවන බව දන්නා ක්ෂුද්‍ර ජීවීන්ගේ අසාමාන්‍ය පැවැත්මක් තිබේ ද, යන්න විශ්ලේෂණය කිරීම සඳහා රෝගියාගේ ආහාර ජීර්ණ පද්ධතියේ බැක්ටීරියා විශ්ලේෂණය කිරීමට රසායනාගාර පරීක්ෂණ සිදු කරයි.

ඔවුන් බොහෝ විට ග්ලූකෝස් අභියෝග පරීක්ෂණයක් සිදු කරනු ඇත. එහිදී රෝගියාට කාබෝහයිඩ්‍රේට් අධික ආහාර වේලක් අනුභව කිරීමට හෝ හිස් බඩ ග්ලූකෝස් කෑමට දෙනු ඇත. පැය කිහිපයකට පසු, සින්ඩ්‍රෝමය නොමැති පුද්ගලයින්ගේ හඳුනාගත නොහැකි තරම් අඩු රුධිර මධ්‍යසාර මට්ටමක් දක්නට ලැබෙන අතර සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින්ගේ මට්ටම ඉහළ යනු ඇත.

Ray and Mia shopping at a garden centre

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Ray Lewis

ඡායාරූප ශීර්ෂ වැකිය, මියා නැමති සුනඛයා රේගේ ශරීරයේ රසායනික වෙනස්කම් ගඳ සුවඳ දැනීමට පුහුණු කර ඇත, එබැවින් ඔහු මියාව සෑම තැනකම රැගෙන යයි

වෛද්‍ය ඩිනිස් ඔලිවේරා පවසන්නේ, සාමාන්‍යයෙන් ආන්ත්‍රික බැක්ටීරියා නියාමනය කරන අතිරේක ආහාර ලබා ගැනීමෙන් මෙන් ම, ඖෂධ සහ කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර වේල් අතර සංකලනයකින් ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය පාලනය කළ හැකි බව ය.

දශකයකට ආසන්න කාලයක් කිසිදු ගැටලුවක් ඇති නොවූ ජෝ සම්බන්ධයෙන් එම ක්‍රමය සාර්ථක වී තිබේ.

එහෙත්, අඩු කාබෝහියිඩ්‍රේට් සහිත ආහාර රටාවක් අනුගමනය කරමින් අමද්‍යප තත්ත්වයට පත් වුව ද, 2020 සිට රේ තවමත් ඇතැම් අතුරු ආබාධ සමග අරගල කරයි.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට ඔහුට සහය වීම සඳහා තවත් ක්‍රමයක් සොයාගෙන තිබේ. ඒ, මියා නමැති නම් සේවා සුනඛයෙකි.

ශරීරය තුළ මධ්‍යසාර නිපදවීමේ මුල් පියවරේ සිට ම රේගේ ශරීරයෙහි සිදුවන රසායනික විපර්යාස ඉව කිරීම සඳහා එම සුනඛයා පුහුණු කර තිබේ. එම සුනඛයා වෙනසක් හඳුනාගත් විට ඔහු ඉදිරියට පැමිණ ඔහු දෙස එක එල්ලේ බලා සිටී.

"මියා ගේන්න කලින්, මට ගෙදරින් එළියට යන්න පුළුවන් වුණේ, ඉඳලා හිටලා. මොක ද, මම හැම තිස්සෙ ම බයෙන් හිටියා මට හරි අනික් අයට හරි කරදරයක් වෙයි කියලා," රේ පවසයි.

"මම අනතුරට පත්වුණා ම, සතුටු වෙන්න තිබුණ එක ම දේ තමයි, වෙන කිසි කෙනෙකුට අනතුරක් නොවී මට හානියක් වුණ එක."

People toasting with glasses of beer

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ABS සහිත පුද්ගලයින්, කරකැවිල්ල, නොපැහැදිලි කථනය සහ හැන්ගෝවර් වැනි මත්පැන් පානය කළ අයට සමාන රෝග ලක්ෂණ වාර්තා කරයි

තම සෞඛ්‍ය තත්ත්වය තහවුරු වීමෙන් පසු බීමතින් රිය පැදවීමේ චෝදනාවෙන් නිදහස් වූ සමහරුන් මෙන්, රේ වාසනාවන්ත නොවී ය.

"මගේ ශරීරයට මත්පැන් කෙසේ ලැබුණත් අවසානයේ අනතුරට මම වගකිව යුතු බව තමයි විනිසුරුවරයා තීන්දු කළේ," ඔහු පැහැදිලි කරයි.

"උසාවිය මොකක් තීරණය කළත් මට රෝගයක් තියෙනවා. මට ඉතිරි වෙලා තියෙන්නෙ හරි දේ වෙනුවෙන් සටන් කරන එක විතර යි."

ඔහු සහ ඔහුගේ බිරිඳ වන සියෙරා, තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. නඩුව පරාජයට පත්වීම සහ ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමයේ කොටසක් ලෙස රේට ඔහුගේ රැකියාව අහිමි විය.

එහෙත්, ඔහුගේ බලාපොරොත්තුව හෝ හාස්‍යමය ස්වභාවය අහිමි වී නැත.

"ගොඩක් අය හිතන්නේ ස්වයංක්‍රීය මධ්‍යසාර සින්ඩ්‍රෝමය සහිත රෝගීන්ට සමාජයීය සහ ශාරීරික ගැටලු නොමිලේ ම ලැබෙන බව. ඒත්, මම මත්පැනී බීමෙන් ඇති වන අසනීප තත්ත්වය පමණක් අත්විඳ ඇති බව කිව යුතු යි."