ප්‍රතිත්‍රස්ත පනත: 'ත්‍රස්තවාදී ක්‍රියාවක් ඔප්පු වුණොත් අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ. නැතිනම් ආණ්ඩුවක් වැඩක් නැහැනේ'

වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි විවේචනවලට අධිකරණ අමාත්‍යවරයාගෙන් පිළිතුරු..

ප්‍රතිත්‍රස්ත පනත තමා හෝ ආණ්ඩුව වෙනුවෙන් ගෙනෙන පනතක් නොව රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙනඑන පනතක් බව අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට පක්ෂව හා විපක්ෂව ඇති කරුණූ මෙන්ම විවේචන සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දැක්වීය.

"යමෙකු ජනමාධ්‍ය හරි , සමාජ මාධ්‍ය හරි වෙන කුමන මාධ්‍යයක් හරි භාවිත කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවකට නම් ත්‍රස්තවාදී පනතට අහුවෙනවා. එක අපේ රටේ විතරක් නෙමේ ත්‍රස්තවාදය පිළිබඳ ලෝකයේ නීති පනවපු හැම රටේම තිබෙනවා" අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩු විරෝධී මත පළ කරන මාධ්‍ය ආයතන තහනම් කිරීමට හැකියාවක් ඇති බවට පළවන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ "ත්‍රස්තවාදී ක්‍රියාවක් ඔප්පු වුණොත් අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ.එහෙම නොකරන රටක් නැහැ.එහෙම නැතිනම් ආණ්ඩුවක් වැඩක් නැහැනේ"

මෙම පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ "මගේ ස්ථාවරය මම පක්ෂයක් වෙනුවෙන් හෝ නායකයෙක් වෙනුවෙන් කවදාවත් වෙනස් නොකරපු දේශපාලනඥයෙක්. මේක රටට ගැලපෙන හැමෝටම පිළිගන්න පුළුවන් සාධනීය පනත් කෙටුම්පතක්. අවසාන වශයෙන්, මගේ තීරණය ම නෙමේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ." ඔහු පෙන්වා දුන්නේය.

"මේක මේ මං වෙනුවෙන්වත් ආණ්ඩුව වෙනුවෙන්වත් ගේන එකක් නෙමේ.මේක තව දීර්ඝ කාලයක් තිස්සේ රටේ ජාතික ආරක්ෂාව බළලා ගේන එකක්."

අමාත්‍ය විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නේ "ඔය විවේචනය ඉදිරිපත් කරන අය ඔය ඔක්කොම ආපහු යම් අවස්ථාවක පාස්කු ප්‍රහාරයක් වගේ දෙයක් සිද්ධවුණොත් ආපහු වැඳගෙන ඇවිල්ලා කියනවා ත්‍රස්ත පනත කරුණාකරලා ක්‍රියාත්මක කරන්න කියලා, ඔය කණ්ඩායම ම . මේක විවේචනය කරන අයගේ ජීවිත ආරක්ෂා කරන්න යි මේක තියෙන්නේ."