රූපවාහිනීයට කඩා වැඳුණු අරගලකරු ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගැනීම නිත්‍යනුකූලද?

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පසුගිය ජූලි 13 වැනිදා බලහත්කාරයෙන් ඇතුළු වී විකාශන කටයුතු අඩපන කිරීමට කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෙකු ගුවන් යානයකට ගොඩ වී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූලි 26 අත්අඩංගුවට ලැබීය.

ඔහු ඩුබායි බලා පිටත්ව යාමට තැත් කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ධනීෂ් අලී නැමැති පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගුවන් යානය තුළට ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල හුවමාරු වු අතර එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැඩි කතාබහකට ලක්විය. එම අවස්ථාවේ අදාළ ගුවන් යානයේ සිටි ගුවන් මඟීන්ද ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීන් වෙත තම විරෝධය පළ කරනු සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇති වීඩියෝ වල දැක්වේ.

ඒ එම අත්අඩංගුවට ගැනීම නිතිවිරෝධි යැයි පවසමිනි. එහෙත් පොලීසිය පැවසුවේ එම සැකකරුව අත්අඩංගුවට ගත්තේ උසාවි වරෙන්තුවක් ඇතිව බවයි.

ගුවන් යානයක් තුළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිද?

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසා බැලීමකදී නීතිවේදීන් අවධාරණය කළේ, ගුවන් යානයක් තුළදී මෙලෙස සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවකට අමතරව අධිකරණය පනවන ලද ගමන් තහනමක් ද තිබිය යුතු බවයි.

නීතිඥ හරින්ද්‍රිනි කොරයාගෙන් කළ විමසීමකදී ඇය ප්‍රශ්න කළේ, වරෙන්තුකරුවෙකු නම් සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුවේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයිදැයි ද යන්න පිළිබඳවයි.

"අත්අඩංගුවට ගන්නවා නම්, පුද්ගලයෙක් පැහැර ගන්නවා වගේ බලය යොදලා, ප්‍රචණ්ඩත්වය යොදලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න බැහැ. අත්අඩංගුවට ගන්න හේතුව කියන්න ඕනේ පැහැදිලිව. වරෙන්තුව පෙන්වන්න ඕනේ." ඇය පැවසුවාය.

"වරෙන්තුවක් තියෙන්න පුළුවන්. නමුත් ගමන් තහනමක් තියෙන්න ඕනේ මේවගේ කටයුතු කරන්න." මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ලහිරු අබේරත්න කියා සිටියේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ විදේශ රටකට පලා යාමට උත්සාහ කළ වරෙන්තු කරුවෙකු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බවයි.

ඔහු කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම සැකකරු පසුගිය මස 20 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යෝජිත පිරිසක් මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් පිරිසක් හමුවීමට පැමිණි අවස්ථාවේදී මුදල් අමාත්‍යංශය ගේට්ටු අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වීම සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

එහිදී සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණ.

මීට අමතරව පසුගිය මාස 9 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර දී පොදු දේපලවලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරකරණය මඟින් ඇප මත මුදාහැර ඇත.

තවදුරටත් පොලිසිය පැවසුවේ ඉකුත් මස 12 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානයේ දී යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට පහර දී ඔවුන් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකු බවටද මොහු හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙන බවයි.

ජූලි 20 වන දින ගාලු මෝදර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට අනර්ථයක් සිදුකරන බවට ලද තොරතුරු මත එම ස්ථානයට ගිය කොටුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදාල සිද්ධියට අවශ්‍ය කරන සැකකරුවෙකු වශයෙන් ද මොහු හඳුනාගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල මීටර් 50ක සීමාවක් තුළට කිසිවකුටත් ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 20 වැනිදා නියෝගයක් නිකුත් කරන තිබුණි.

අදාළ අධිකරණ නියෝග කඩ කරමින් බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටියදී කොටුව පොලිසිය විසින් ජූලි 26 උදෑසන සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

ද්වේශ සහගත හා වෛරී ප්‍රකාශ කළ බවට තවත් තරුණයෙකු අත්අඩංගුවට

මේ අතර, සමාජ මාධ්‍ය හරහා ද්වේශ සහගත සහ වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීම් වලට සහාය පළකර ප්‍රතිචාර දැක්වූ බවට ද තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ජූලි 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරකට අනුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ වී තිබූ දැන්වීමකට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කර මහජන සාමයට බාධා ඇති කිරීමේ අරමුණින් අදහස් පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් විමර්ශනයක් කර ජූලි 24 වෙනි දින දහවල් කාලයේදී ගාල්ල කොටුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ "ඊළඟ 9 වැනිදාට රටපුරා කැරැල්ලක් මෙහෙය වනවා. පොලිස්, ආමි, පවුල් පිටින් තැන් තැන් වල, පාරවල්වල, බල්ලො වගේ ඉවර කරල දාන තැනට. යාපනේ උන්ට මං දන්න දෙමළෙන් ටෝක් කරල කෝච්චි 02ක් පිරෙන්න මිනිස්සු ගෙන්නුවා. තනි මං එහෙම කළා නම් රටේම මිනිස්සු එකතු වුනානම් මොනව කරන්න බැරිද? හා කාකි බල්ලොයි, කැමා පිංපියොයි රනිල්ට කියලා කපාගෙන ෆයර් වෙලා." යනුවෙන් ද්වේෂ සහගත සහ වෛරී සහගත ලෙස හෙතෙම අදහස් දක්වා ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ජූලි 18 වැනි දින ප්‍රකාශයට පත් කළ අංක 2289/07 දරණ හදිසි නීති රෙගුලාසි ඇතුලත් අති විශේෂ ගැසට් පත්‍රයේ 15 වැනි වගන්තිය ප්‍රකාරව සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ජූලි 25 වන දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 8 වන දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මෙම ප්‍රකාශයෙන් මුලින් පළ කරන ලද ප්‍රධාන සැකකරු ඇතුළු ඊට සහාය පළ කළ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අධිකරණ නියෝග කඩ කර ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල මීටර් පනහේ සීමාව තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා ද ජූලි 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

ඒ අනුව රෝහන කුමාර, චානක මධුසංඛ ,චන්ද්‍රදාස ඩික්සන් සහ මොහොමඩ් ෆාරුක් සුම්රි සහ යන සැකකරුවන් සිව්දෙනා එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.