ද්විත්ව පුරවැසි නියෝජ්‍ය අගමැතිට පාර්ලිමේන්තුව අහිමි වෙයි

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් (Barnaby Joyce) සහ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙක් ද්විත්ව පුරවැසිභාවය ලැබූවන් වන හෙයින් ඔවුන් පස් දෙනා පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනු ලැබීම නීතියට පටහැණි බව එරට මහාධිකරණය විසින් තීන්දු කරනු ලැබ ඇත.
එම තීන්දුව අනුව නියෝජ්‍ය අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සිදු වේ.
ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිබව ලැබූවකුට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැක.
නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් (Barnaby Joyce) ඇතුළු අදාළ මන්ත්‍රීවරුන් ඔස්ට්‍රේලියාවට අමතරව නවසීලන්තයේ හෝ කැනඩාවේ හෝ එක්සත් රාජධානියේ පුරවැසියෝ වෙති.
වත්මන් ඔස්ට්‍රේලියානු ආණ්ඩුව බලයේ රැඳී සිටින්නේ එක් පාර්ලිමේන්තු ඡන්දයකිනි.
මන්ත්‍රීවරුන් ඉවත් වීමත් සමඟ ලබන දෙසැම්බර් මාසයේ අතුරු මැතිවරණ පැවැත්වීමට සිදු වෙන අතර ආණ්ඩු පක්ෂය එම අතුරු මැතිවරණ පරාජය වුනොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වේ.
කෙසේවුවද, ආණ්ඩුව සුපුරුදු පරිදි දිගටම පෙරට යනු ඇතැයි අගමැති මැල්කම් ටර්න්බුල් (Malcolm Turnbull) මේ අතර පවසයි.
එහෙත් නියෝජ්‍ය අගමැතිවරයාට පාර්ලිමේන්තු අසුන අහිමි වීමත් සමඟ අගමැති ටර්න්බුල් ගේ ආණ්ඩුවට සහයෝගය දක්වන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හැත්තෑ පහක් බවට පත් වේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 150 කි.
ඒ අනුව අගමැතිවරයාට පාර්ලිමේන්තුව තුළ නිශ්චිත බහුතර බලය අහිමි වෙයි.
එවැනි තත්ත්වයක් යටතේ පනත් කෙටුම්පත් අනුමත කර ගැනීමට නම් ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහ කුඩා දේශපාලන පක්ෂවල සහයෝගය මත යැපීමට අගමැතිවරයාට සිදුවනු ඇත.
මෙහිදී ඔස්ට්‍රේලියානු ආණ්ඩුවට ඇති විකල්පය ඉදිරි අතුරු මැතිවරණය ජයග්‍රහණය කරමින් නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් යළිත් පාර්ලිමේන්තුව තුළට ගැනීමය.
මන්ත්‍රී පදවියට තෝරා පත්කර ගන්නා අවස්ථාව වන විට නවසීලන්තයේ ද පුරවැසියකු වූ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් පසුගිය අගෝස්තු මාසයේ සිය නවසීලන්ත පුරවැසිභාවය අත් හළ අතර ඒ අනුව ඔහුට ඉදිරි අතුරු මැතිවරණය සඳහා තරඟ කිරීමට නීතියෙන් බාධාවක් නොමැත.
අතුරු මැතිවරණය සඳහා තරඟ වදින බව නියෝජ්‍ය අගමැතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇත.
"මම අධිකරණ තීන්දුවට ගරු කරනවා" යැයි තීන්දුව ප්‍රකාශයට පත් වූ වහාම ඔහු කියා සිටියේය.
"අපි ඉතාම අනර්ඝ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විඳිනවා. සංවරණ සහ තුලන (checks and balances) රටාවක් තුළ අපි බලාපොරොත්තු වෙන සියලු නිදහස අපට ලැබෙනවා. අධිකරණය දුන් තීන්දුවට මම කෘතඥ වෙනවා" නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් (Barnaby Joyce) සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහෙත් ඔහු ඇමතිවරයෙක් වශයෙන් ගන්නා ලද සියලු තීන්දු යළි අධීක්ෂණයට ලක් කළ යුතුව ඇතැයි ඔස්ට්‍රේලියානු විපක්ෂයේ ලේබර් පක්ෂය කියා සිටී.
නියෝජ්‍ය අගමැතිවරයා සමඟ පාර්ලිමේන්තුව අහිමි වෙන සෙසු මන්ත්‍රීවරු ඔවුන්ගේ ද්විත්ව පුරවැසිභාවය මව් පිය උරුමයෙන් ලද දෙයක් වන අතර තමන් ඒ ගැන අවබෝධයකින් නොසිටි බව අධිකරණය ඉදිරියේ කියා සිටියහ.
එහෙත් ඔවුන්ගේ එම "අනවබෝධය ආරක්ෂාවට හේතුවක් නොවන" බව අධිකරණයේ තීන්දුව විය.
නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් සහ ෆියෝනා නෑෂ් (Fiona Nash )ඇමැතිවරිය පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමත් සමඟ කැබිනට් සංශෝධනයක් සිදු කිරීමටත් අගමැති මැල්කම් ටර්න්බුල්ට සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැක.
ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළ අතර මන්ත්‍රීවරිය එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
සබැඳි පුවත්;









